ඉසිත දකුණු අප්‍රිකා A කණ්ඩායම විනාශ කරයි

9
Isitha Wijesundara

ඉසිත විජේසුන්දර ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානුවන්ගේ 2 වැනි ඉනිම සම්පූර්ණයෙන් ම අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවු වැනි සහ අවසන් දිනය වූ අද (11) දවස ආරම්භ වෙන්නේ ජයග්‍රහණය සොයා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවත් ලකුණු 140ක් පිටුපස සිටිමිනුයි.

Kimberley හී Diamond Oval ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 372ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 323ක් ලබා ගත්තා.

අනතුරු ව තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම ලකුණු 124කට සීමා වෙනවා. ඒ අනුව ජයග්‍රහණ සඳහා ලකුණු 174ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.

තරගයේ දෙවැනි දිනය අවසන් වෙන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩයන්ට පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 140ක් අවශ්‍ය වෙමින් වන අතර තරගයේ තෙවැනි දිනය අවසන් වෙන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 140ක් අවශ්‍ය වෙමිනුයි.

ඔවුන්ට ඒ සඳහා තවත් කඩුලු 9ක අතැතිව තිබෙනවා.

තරගයේ තෙවැනි දිනය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 232ක් ව තිබිය දී යි. ඒ වෙද්දී ජනිත් ලියනගේ සහ සොනාල් දිනූෂ පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා ලකුණු 3ක් ඉනිමට එක් කරද්දී දිනයේ පළමු කඩුල්ල ලෙසින් ජනිත් ලියනගේ ලකුණු 13කට දැවී යනවා.

අනතුරු ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් එක් කිරීමට සොනාල් දිනූෂ සහ විශාද් රන්දික සමත් වෙනවා. ඔවුන් අතුරින් සොනාල් දිනූෂ පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත් අතර විශාද් රන්දික පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Beyers Swanepoel ලකුණු 52කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Prenelan Subrayen කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 49ක් ඉදිරියෙන් සිටිම තම දෙවැනි ඉනිම ඇරඹු සත්කාරක දකුණු අප්‍රිකානු A ඉනිම සම්පූර්ණයෙන් පාලනය කිරීමට දකුණතින් මඳ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර සමත් වුනා. ඔහු දකුණු අප්‍රිකානුවන්ගේ කඩුලු 7ක් දවා ගන්නේ ලකුණු 34ක් පමණක් ලබා දෙමිනුයි.

එය ඔහුගේ තරග 29ක් පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

දකුණු අප්‍රිකානු 2 වැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 9 ස්ථානයේ පිටියට පිවිසි Beyers Swanepoel. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 69ක් ව තිබිය දී Beyers Swanepoel, Migael Pretorius (7) සමඟ එක් වෙමින් ලකුණු 44ක සබඳතාවක් ගොඩ නගනවා. එය ඔවුන්ගේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාවයි.

දකුණු අප්‍රිකානු ඉනිමට ලකුණු එක් කරද්දී Marques Ackerman පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද සහ ආරම්භක පිතිකරු Tshepang Dithole පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉසිත විජේසුන්දර ට අමතර ව එශාන් මාලිංග කඩුලු 2ක් සහ නිශාන් පීරිස් කඩුල්ලක් බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා  අවශ්‍යතාව ලකුණු 174 හඹා යෑම වෙනුවෙන් සුපුරුදු ලෙසින් ම ඔෂද ප්‍රනාන්දු සහ ලහිරු උදාර පිටියට පිවිසිය ද පෙර ඉනිමේ දී සේ ම ලහිරු උදාර වේලාසනින් තම ඉනිම හමාර කර ගන්නවා. ඒ වෙද්දී ඔහු පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමත් සමඟින් තරගයේ 3 වැනි දිනය අවසන් වෙන අතර ඒ වෙද්දී ඔෂද ප්‍රනාන්දු පන්දු 27කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Codi Yusuf සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (108.2) Tshepang Dithole 52, Neil Brand 39, Matthew Breetzke 129, Marques Ackerman 69, Patrick Kruger 20, Rivaldo Moonsamy 34, චාමික ගුණසේකර 2/71, ඉසිත විජේසුන්දර 2/59, එශාන් මාලිංග 4/65, නිශාන් පීරිස් 2/98

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 323 (91.5) ඔෂද ප්‍රනාන්දු 122, පසිඳු සූරියබණ්ඩාර 61, සොනාල් දිනූෂ 36, විශාද් රන්දික 35, Beyers Swanepoel 4/52, Prenelan Subrayen 2/63

 

දකුණු අප්‍රිකා A කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 124 (31.0) Marques Ackerman 27, Beyers Swanepoel නොදැවී 38, ඉසිත විජේසුන්දර 7/34, එශාන් මාලිංග 2/28

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 34 (9.5) ලහිරු උදාර 26

අද (11) තරගයේ සිවු වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<