දකුණු අප්‍රිකාවෙන් සටන්කාමී ඉනිමක්

Sri Lanka A tour of South Africa

2
South Africa

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (08) Benoni හී Willowmoore Park ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

එහි දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 316ක් ලබා සිටියා.

දෙරට අතර පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ඔෂද ප්‍රනාන්දු, නිශාන් පීරිස් සහ චාමික ගුණසේකර වෙනුවට මෙම තරගයේ දී පවන් රත්නායක, වනුජ සහන්, සහ මොහොමඩ් ශිරාස් එක් කර තිබුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගයට එක් වූයේ වෙනස්කම් 4ක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගයට එක් වූ Matthew Breetzke, Sinethemba Qeshile, Patrick Kruger සහ Codi Yusuf වෙනුවට Jean du Plessis, Dewald Brevis, Mihlali Mpongwana සහ Lutho Sipamla මෙම කණ්ඩායමට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම

 

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, ජනිත් ලියනගේ, සොනාල් දිනූෂ, විශාද් රන්දික (කඩුලු රකින්නා), වනුජ සහන්, මොහොමඩ් ශිරාස්, ඉසිත විජේසුන්දර, එශාන් මාලිංග.

දකුණු අප්‍රිකා A කණ්ඩායම

 

Neil Brand (නායක), Tshepang Dithole, Jean du Plessis, Marques Ackerman, Dewald Brevis, Mihlali Mpongwana, Rivaldo Moonsamy (කඩුලු රකින්නා), Beyers Swanepoel, Migael Pretorius, Prenelan Subrayen, Lutho Sipamla.

දකුණු අප්‍රිකාව පළමු දිනයේ දී ම තරගයට තරගකාරී ලකුණු පුවරුවක් එක් කළා. ඔවුන් එම රිද්මය පළමු කඩුල්ලේ සිට ම රඳවා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් Tshepang Dithole (27) සහ නායක Neil Brand ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.

ඔවුන් එම ලකුණු පුවරුවේ දී යම් පසු බෑමකට ලක් වූවා නම් ඒ 2 වැනි කඩුල්ලට එක් වූ ලකුණ පමණයි.

අනතුරුව මෙම ඉනිමේ දී 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 62ක සබඳතාවක් ද සහ 4 වැනි කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් ද එක් කෙරෙනවා. එහි දී Marques Ackerman පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද සහ Dewald Brevis පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ද එක් කරනවා.

ඊට පසුව ඉනිමේ මැදි පෙළින් පිටියට පිවිසි Beyers Swanepoel ද පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.

මේ සියලු දෙනා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගත් නායක Neil Brand තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 243කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 122ක් ලබා සිටියා.

මෙම ශතකය ඔහුගේ තරග 55ක් වන පළමු පෙළ තරගවල 7 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ ලකුණු 48කට කඩුලු 3ක් ද සහ එශාන් මාලිංග කඩුලු 2ක් ද දවා ගත්තා. ඊට අමතර ව ජනිත් ලියනගේ සහ නුවනිඳු ප්‍රනාන්දු අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 316 (87.0) Tshepang Dithole 27, Neil Brand නොදැවී 122, Marques Ackerman 37, Dewald Brevis 49, Beyers Swanepoel 34, එශාන් මාලිංග 2/56, සොනාල් දිනූෂ 3/48

 

තරගය හෙට (16) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<