ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලියට ක්‍රීඩාව යොදාගත හැක්කේ කෙසේ ද?

585

එකිනෙකට පරස්පර සමාජ ප්‍රජාවන් අතර පවතින සබඳතාවයන් ප්‍රතිසංධානය, සමාජ ඒකාබද්ධතාවය ඉහළ නැංවීම සහ සාමය ගොඩනැංවීම වැනි ක්‍රියාවලීන් කෙරෙහි ක්‍රීඩාවේ කාර්යභාරය සහ එය යොදාගත හැකි ආකාරය පිළිබඳ වැදගත් සාකච්ඡාවක් පසුගිය දා SamsPerspective Facebook පිටුව විසින් සංවිධානය කරනු ලැබීය. 

SamsPerspective Facebook පිටුව පවත්වා ගෙන යනු ලබන ක්‍රිකට් විශ්ලේෂකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන සමීර් යූනුස් විසින් මෙහෙය වූ මෙම වැඩසටහනේ විද්වත් මඩුල්ල ලෙස නීතිඥවරයෙකු, ක්‍රීඩා විස්තර විචාරකයෙකු සහ යෝගා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනු ලබන ශානක අමරසිංහ, ක්‍රීඩා මානව විද්‍යාඥයෙකු වන ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා මානවවිද්‍යා ශාස්ත්‍රීය පරීක්ෂණයක් සිදු කර ඇති Ben Hildred, ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදිනී එස්ටෙල් වාසුදේවන්, ESPNCricinfo වෙබ් අඩවිය වෙනුවෙන් ශ්‍රී ලංකා වාර්තාකරු සහ සම්මානනීය ලේඛක ඇන්ඩෘ ෆිඩෙල් ප්‍රනාන්දු සහ ක්‍රීඩක කළමනාකරුවෙකු වන ශ්‍යාම් ඉම්පෙට් යන අය එක්වූහ.  

සංවාදය ආරම්භ කරමින් ශානක අමරසිංහ විසින් ප්‍රතිසංධානයට අදාළව නිර්වචන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට එක්වූ Ben Hildred ඒ මත ගොඩනඟමින් ක්‍රීඩාව හා ප්‍රතිසංධානය මාතෘකාවට අදාළ පර්යේෂණාත්මක මෙන්ම ප්‍රායෝගික පැතිකඩ පිළිබඳව ද සිය අදහස් එක්කර සිටින්නට විය.  

“සංවර්ධනය සහ සාමය වෙනුවෙන් ක්‍රීඩාවට කරන්න පුළුවන් බලපෑම පිළිබඳව පර්යේෂණ ආරම්භ වෙන්නේ පසුගිය අවුරුදු 20 වගේ කාලය තුළ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය වගේම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ගොඩක් අද වෙද්දී මේ ‘SDP’, එහෙමත් නැත්නම් ‘සංවර්ධනය සහ සාමය වෙනුවෙන් ක්‍රීඩාව’ (Sport for Development and Peace) ගැන පර්යේෂණ වලට ලොකු මුදලක් වැය කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වුනත් වෙනසක් නැහැ, මොකද ඔවුන්ගේ ‘Cricket Aid’ වැඩසටහනත් ඒ වගේ එකක්. 

ඒත් සිදුකරලා තියෙන ගොඩක් පර්යේෂණවලින් හෙළිවෙලා තියෙන දෙයක් තමයි අපි අද මේ කතා කරන විදිහේ සමාජීය වෙනසක් ක්‍රීඩාව හරහා සිදු වෙලා ද කියන එක මැනලා බලන එක අමාරු කටයුත්තක් කියන එක. මිනිස්සු අතර ක්‍රිකට් තරග සංවිධානය කරන එක ඇත්ත වශයෙන් ම ඔවුන්ව ප්‍රතිසංධානය වගේ දේකට යොමුකරන්නේ කොහොමද කියන එක බලාගන්න අමාරු දෙයක්. මොකද අපි හිතලා බැලුවොත් ක්‍රීඩාව හැමවෙලේම හොඳ වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්න උත්සන්න වෙන්න පවා පුළුවන්. ඉතින් අපිට ගොඩක් ප්‍රවේසමෙන් හිතන්න වෙනවා ඒකෙන් වෙන්නේ මොකක්ද සහ එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන. 

ඒ වගේම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ගත්තොත් මගේ අත්දැකීම්වලට අනුව වගේම අපි හොඳටම දන්නා දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පද්ධතිය ගොඩක් විධිමත් එකක් නෙමෙයි. ඒක ගොඩක් දුරට කොළඹ පදනම් වෙච්ච එකක් වගේම ගොඩක් අඩුපාඩු තියෙන එකක්. ඉතින් අපිට එක දේකට හොඳ නියෝජනයක් අවශ්‍යයි නම් අනිත් පැත්තෙන් අපිට කටයුතු කරන්න වෙනවා ඒ අවශ්‍ය පහසුකම් වගේම අවස්ථාවන් වැඩිදියුණු කරලා සාධාරණ ක්‍රීඩා මට්ටමක් සකස් කරන්න.

සමස්තයක් විදිහට මගේ අධ්‍යාපන පසුබිමත් එක්ක ක්‍රීඩාව වගේම ප්‍රතිසංධානය සමාජීය සංකල්ප දෙකක් විදිහට ගත්තොත් ඒ දෙක අතර ගොඩක් සමීප සම්බන්ධතාවයක් බලාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට හිතන්න බැහැ අපිට ක්‍රීඩාව තිබෙනවා නම් අනිත් අතට අපිට ප්‍රතිසංධානය ලැබෙනවා කියන එක.”

පසුගිය දා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දී යාපනය ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයෙකු වූ වියාස්කාන්ත් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වීම මෙරට ක්‍රිකට් ප්‍රජාව අතර දැඩිව කතාබහට ලක්වන්නට වූ අතර එවන් අවස්ථාවන් ප්‍රතිසංධානය කෙරෙහි උපයෝගී කරගැනීමේ ඉඩකඩ පිළිබඳව ඉදිරිපත් වූ පැනයකට පිළිතුරු ලබා දෙමින් එස්ටෙල් වාසුදේවන් පවසා සිටියේ;

“ප්‍රතිසංධානය සිදු වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා තමයි. ඒත් අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි වියාස්කාන්ත් LPL තරගාවලියේ ක්‍රීඩා කළා කියලා ඒකෙන් එකපාරට ලංකාවේ ජාතිවාදය නැති වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක අර මැජික් පෙත්තක් වගේ එකපාරට සිදුවෙන දෙයක් නෙමෙයි. මොකද අද දේශපාලන පසුබිම ගත්තොත් අපිට ගොඩක් ජනවර්ග අතර ගොඩක් ගැටලු පවතිනවා කියලා දැකගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිදුවීමක් නැත්නම් ඒ වගේ පුද්ගලයෙක් සංකේතාත්මකයි තමයි. ඒත් ඒකෙන් හැම ගැටලුවක්ම විසඳෙන්නේ නැහැ. 

මම සෘණාත්මක වෙනවා නෙමෙයි. මම පිළිගන්නවා ඒකෙන් යම්කිසි බලපෑමක් වෙනවා කියලා. ඒත් මම හිතනවා මේ ප්‍රතිසංධාන ක්‍රියාවලියට උදව් කරගන්න පුළුවන් තව ලොකු කාර්යභාරයක් බිම් මට්ටමෙන් වෙන්න ඕනේ කියලා. විශේෂයෙන් ම තරුණ පරම්පරාවට. මොකද අපි ඉපදෙන්නේ ම සමහර නැඹුරුකම් එක්ක. ඒවා ජනවාර්ගික, සමාජභාවය සහ වෙන ඕන දෙයක් මත වෙන්න පුළුවන්. පස්සේ අපි අපේ ජීවිතයේ අත්දැකීම් එක්ක අදහස් ගොඩනඟා ගන්නවා මේ කණ්ඩායම මෙන්න මේ වගේ, ඔවුන් හැසිරෙන්නේ මෙහෙම කියලා. ඉතින් අපි මේකෙ දී දරුවන් පිළිබඳව අවධානයක් යොමු කළොත් අපිට පුළුවන් වෙනවා ඔවුන් උපතින්ම ලබා ගත්ත ඒ නැඹුරුතාවන් සහ ඔවුන්ගේ අත්දැකීම් අතර කාලයට ඇතුළත් වෙලා ඔවුන්ට ධනාත්මක අත්දැකීම් ලබා දෙන්න. උදාහරණයක් විදිහට අපි මුරලි සමගි කුසලානය ගත්තොත් දරුවෝ වෙනත් පසුබිම්වලින් එන දරුවන්ට නිරාවරණය වුනාම ඔවුන්ට තනි තනිව හැකියාවක් තියෙනවා ඔවුන් දෙමාපියන්ගෙන්, පරිසරයෙන්, ගුරුවරුන්ගෙන් හෝ වෙනත් ඕනෑම විදිහකින් ලබාගත්ත ඒ නැඹුරුතාවයන් ප්‍රශ්න කරන්න.”

ඒ පිළිබඳවම තවදුරටත් අදහස් දැක්වූ ඇන්ඩෘ ෆිඩෙල් ප්‍රනාන්දු එහි දී සිය මතය ඉදිරිපත් කරමින් පවසා සිටියේ;

“එස්ටෙල් කිව්වා වගේ මේක ප්‍රතිසංධානයට දෙන්න පුළුවන් මැජික් පෙත්තක් නෙමෙයි. ඒත් ඒක බර්ගර් කාන්තාවකට වගේම මඩකලපුවේ ඉන්න මුස්ලිම් පුද්ගලයෙකුට පිටිපස්සේ එකට හිටගෙන ක්‍රිකට් ක්‍රීඩාව අගයන්න පුළුවන්, එහෙමත් නැත්නම් සමහර විට එකම කණ්ඩායමට සහයෝගය දක්වන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ ඉන්න හැමෝම හැමවෙලේම ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන්නේ නැහැ. ඉතින් අපි යථාර්ථවාදී වෙලා ඒක එහෙම වෙන්නේ ඇයි කියන එකට හේතුව තේරුම් ගන්න ඕනේ. 

ඒත් අඩුම තරමේ ඔබට කියන්න පුළුවන් මොහු හොඳ පන්දු යවන්නෙක්. ඔබට එකඟ වෙන්න පුළුවන් මොනවාම හරි දෙයක් තියෙනවා. ඉතින් ඒක එකම තලයකට ඇවිත් එකිනෙකා තේරුම් ගන්න පොඩිම පොඩි පළමු පියවරක්. 

ඉතින් මම හිතනවා ඒ පළමු පියවර හදන්න අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තැනක ඉන්නවා කියලා. කලින් කිව්වා වගේ මේකෙන් හැම දෙයක්ම විසඳෙන්නේ නැහැ. ඒත් අපි අද ඉන්නේ ඒ පළමු පියවර පවා ගොඩක් වැදගත් පියවරක් වෙලා තියෙන තත්වෙක. 

උදාහරණයක් විදිහට වනිඳු හසරංග LPL තරගාවලියේ දී වියාස්කාන්ත්ට සහයෝගය දැක්වීමේ සිදුවීම අපි ගත්තොත් ඔහු ඒ සම්බන්ධ වුනේ ඔහුට හාත්පසින් ම වෙනස් පසුබිමකින් එන, සම්පූර්ණයෙන් ම වෙනස් භාෂාවක් කතා කරන ක්‍රීඩකයෙක් එක්ක. ඒත් ඔවුන් එතැන දී සම්බන්ධ වුනේ පා දඟපන්දු යැවීමෙන්. 

මම හිතන විදිහට ක්‍රිකට් ක්‍රීඩාව තුළ තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම දේ තමයි ඒක. නමුත් වනිඳු එවේලේ සිදු කළේ තරුණ දක්ෂ ක්‍රීඩකයෙක් වෙච්ච වියාස්කාන්ත්ව තමන් යටතට අරන්, දේවල් ටිකක් ඔහුට උගන්වලා, අපහසු අවස්ථාවන් වලදී ඔහු එක්ක කතා කරලා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට ඔහු කළ යුතුව තිබුණ දේ. 

ඉතින් කණ්ඩායමක් තුළ නිතරම සිදුවෙන සාමාන්‍ය දෙයක්. ඒත් මෙතන වෙනස තමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට දැකගන්න පුළුවන් වුණා දකුණේ ක්‍රීඩකයෙක් උතුරේ දෙමළ ක්‍රීඩකයෙක් සමඟ එක්ව එක් ඉලක්කයක් වෙනුවෙන් කටයුතු කරන විදිහ. ඉතින් ඒකෙ මොකක්ම හරි බලපෑමක් තියෙනවා. අද අපේ රට අන්තර් වාර්ගික සම්බන්ධතා එක්ක ඉන්න තැනත් එක්ක ලෝකේ පුරා හැම ක්‍රිකට් කණ්ඩායමක ම සිදුවෙන ඒ වගේ පොඩි දේක වුනත් අපිට වටිනාකමක් තියෙනවා. ඉතින් ඒක හොඳ ආරම්භක ස්ථානයක්. ඉතින් ඒ ආරම්භක ස්ථානය ගැන තමයි අපි හිතන්න ඕනේ ප්‍රතිසංධානය වෙනුවෙන් ක්‍රීඩාවේ කාර්යභාරය ගැන කතා කරන කොට.”

අනතුරුව අදහස් දැක්වූ එක්වූ ශ්‍යාම් ඉම්පට් විසින් ඔහු මුරලි සමගි කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ප්‍රතිසංධානයට අදාළව අත්විඳි වටිනා අත්දැකීමක් සංවාදයට එක්කරනු ලැබීය.

“අපි මුරලි සමගි කුසලානය කරනකොට ඒකෙ දෙවැනි අදියර තිබ්බේ උතුරු පළාතේ. ඒකෙ කණ්ඩායම් 4ක් තිබ්බ එක කාණ්ඩයක් මම භාරව හිටියා. ඒකෙ එක කණ්ඩායමක් හිටියා, මට මතක විදිහට ඒ ධර්මාශෝක විද්‍යාලය. ඔවුන් කිලිනොච්චියේ කණ්ඩායම එක්ක හිටියේ. 

ඉතින් පළවෙනි දවසේ ඔවුන් කවුරුත් එකිනෙකා එක්ක කතාබහ කළේ නැහැ. ඔවුන් ක්‍රීඩා කරලා ආවා, එච්චරයි. ඒ එතැන භාෂාමය ගැටලුවක් වගේම තැතිගැන්වීම පිළිබඳ ගැටලුවක් තිබුණ නිසා. මොකද කිලිනොච්චි කණ්ඩායම ඒ අවස්ථාවේ එකට ක්‍රීඩා කරන්න එහෙන් මෙහෙන් එකතු කරගෙන තිබුණ කණ්ඩායමක්. ඉතින් ඔවුන් ධර්මාශෝක විද්‍යාලය හමුවේ ලොකු පරාජයකට මුහුණ දුන්නා. 

පස්සේ ඔවුන් කඳවුරට ඇවිත් ක්‍රීඩාංගණයේ නිකන් ක්‍රීඩා කර කර ඉන්නකොට මම දකිනවා ධර්මාශෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා කිලිනොච්චි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වගේම හොඳින් පන්දු යවපු අංචයන් අරුන් ක්‍රීඩකයා ළඟට ගිහින් ඔහුට කියනවා ‘ඔයා bat එක අල්ල ගෙන හිටපු විදිහ වැරදියි, bat එක අල්ලන්න ඕනේ මෙහෙමයි’ කියලා. ඉතින් ඔවුන් අතර එහෙම සංවාදයක් ඇති වුනා. 

මම මේක ඈත ඉඳන් බලාගෙන හිටියේ. පස්සේ ටික ටික කිලිනොච්චි කණ්ඩායමේ ක්‍රීඩකයින් එක එක්කෙනා මේ ධර්මාශෝක ක්‍රීඩකයා වටේට එකතු වෙන්න පටන් ගත්තා. ඒ ඔහු ඒ කියන දේවල් අහගෙන තේරුම් ගන්න. ඉතින් මට අනුව නම් හරියට ම ඒ අවස්ථාවේ දී තමයි ඒ සම්පූර්ණ තරගාවලිය තුළම තිබුණ ඒ බාධකය බිඳ වැටෙන්නේ. ඊට පස්සේ ඔවුන් ටික ටික එකිනෙකාට ගොඩක් සමීප වුනා. කොච්චර සමීප වුනා ද කියනවා නම් තරගාවලිය ඉවර වෙනකොට ඔවුන් ඔවුන්ගේ දුරකථන අංක, ගෙදර ලිපිනය වගේ දේවල් හුවමාරු කරගෙන, තමන්ගේ ගෙදරට ඇවිත් යන්න කියන තත්වයකට ඇවිත් තිබුණා. ඒ වගේම ඔවුන් තමන්ගේ ඇඳුම් කට්ටල පවා එතැන දී පරිත්‍යාග කළා. ඉතින් මම හිතනවා ඒක ප්‍රතිසංධානය වෙනුවෙන් තියපු පොඩි පියවරක් කියලා.” 

මේ වන විට මුරලි සමගි කුසලානය තවදුරටත් නොපැවැත්වීමට අදාළව හේතු ඉදිරිපත් කරමින් Ben පවසා සිටියේ ප්‍රතිසංධානය කෙරෙහි එවන් ව්‍යාපෘතීන් දිගින් දිගටම පවත්වා ගෙන යාම ඉතා වැදගත් දෙයක් වන බවයි. 

“මගේ ව්‍යාපෘති යෝජනාවේ කොටසක් වුනා මට ගිහින් මුරලි සමගි කුසලානය නරඹන්න ඕනේ කියන එක. මොකද ඒක ප්‍රතිසංධානය වෙනුවෙන් සංවිධානය වුන ලොකු දෙයක්. ඒත් මම ලංකාවේ ඉඳපු අවුරුදු දෙකේ තරගාවලිය පැවැත්වුණේ නැහැ. ඒකට හේතුව වුනේ තරගාවලිය කරන්න අවශ්‍ය මුදල් කපාහැරීම. ඉතින් සංවිධායකයින් පවා කියපු දෙයක් තමයි ඒකට අවශ්‍ය මුදල් හොයාගැනීම ඔවුන්ට ගොඩක් අමාරු වුනා කියන එක. මෙතන උපහාසයට හේතු වෙන තව දෙයක් තමයි පසුගිය අවුරුද්දේ රජයේ කවුරුහරි ඒ පදනම සම්බන්ධ කරගෙන අහලා තිබුණා ඇයි ඔවුන් දැන් තරගාවලිය පවත්වන්නේ නැත්තේ කියලා. ප්‍රතිසංධානය වෙනුවෙන් පොඩි හරි දායකත්වයක් දෙන මේ වගේ වැදගත් තරගාවලි පවත්වා ගෙන යන්න අවශ්‍ය මුදල් සහ සහයෝගය නොදෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ කොහොමද? ඉතින් මම හිතන විදිහට නම් මේ වගේ හොඳ දෙයක් පටන් ගත්තම ඒක දිගටම පවත්වා ගෙන යන්න කටයුතු කරන්න ඕනේ.”

නිසි බලධාරීන් යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම පසුගිය අවුරුදු ගණනාව පුරාවට ම පැහැරහැර ඇති ආකාරය පිළිබඳව අනතුරුව ඇන්ඩෘ විසින් අදහස් දක්වන්නට විය. 

“මුරලි සමගි කුසලානය ගැන කතා කරපු නිසා සහ පවත්වපු LPL තරගාවලිය Jaffna Stallions කණ්ඩායම ජයග්‍රහණය කරපු නිසා අපි යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරමු. හැම අවුරුදු දෙකකට සැරයක් ම වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යාපනයේ මොකක්හරි විශාල ආයෝජනයක් හරි එහෙමත් නැත්නම් යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්න පොරොන්දු වෙනවා.

2018 වසර ගත්තොත් එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යාපනයට ගිහින් කිව්වා ඔවුන් යාපනය අර්ධද්වීපයේ එක දූපතක විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා කියලා. ඒක දැනුම් දුන්නේ ලොකු මාධ්‍ය සංදර්ශනයක් එක්ක. ඒත් ගිය අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බටහිර කොළඹ ඩොලර් 40,000 ක්‍රීඩාංගණය ගැන පොරොන්දු දෙනකොට මම ඔවුන්ට කතා කරලා ඇහුවා ඔවුන් අවුරුදු 2 ½කට කලින් පොරොන්දු වුන යාපනයේ ක්‍රීඩාංගණයට මොකද වෙන්නේ කියලා. එතකොට ඔවුන්ගේ ඉහළ ම නිලධාරියෙක් මට කිව්වේ ‘මම එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒකට වුනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ,’ කියලා. ඇත්තට ම ඒකට සිදු වුනේ ඒක ගැන ඊට පස්සේ මොකුත් නොකරපු එක. ඉතින් යාපනයට අදාළව ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධන යොදාගැනෙන්නේ දේශපාලන උපක්‍රමයක් විදිහට විතරයි. 

ඒත් ඇත්තට ම යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ලංකාවේ අනිත් ප්‍රදේශ වල මහා ක්‍රිකට් තරග එකක් දෙකක් ඇරුනම උතුරේ යාපනයේ මධ්‍ය විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය මේ වෙනකොට අවුරුදු 100කටත් වැඩි කාලයක් පවත්ව ගෙන යනවා. ඉතින් ඒක ඔවුන්ට ලොකු දෙයක්. යුද්ධය තිබ්බ කාලය තුළත් ඔවුන් ඒ තරගය පැවැත්වුවා වගේම එක බලන්න ජනතාවත් දස දහස් ගණනින් ආවා. 

ඉතින් ඒක අද ලංකාවේ ම කොටසක් වෙලා. අපිට බදුල්ල, ගිනිගත්හේන, මහියංගණය හෝ වෙනත් මොකක්හරි ප්‍රදේශයකින් ක්‍රීඩකයෝ බිහි වෙලා නැති වෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රදේශවලට නා යාපනය සතුව තියෙන ක්‍රිකට් ඉතිහාසය. යුද්ධය ඉවර වෙලා අවුරුදු 10ටත් වඩා ගිහින් තියෙද්දිත් යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනත් නැති එකේ චෝදනාව මම පවරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට. ඒක ඇත්තට ම ලොකු අපරාධයක් වගේම කිසි සැලකිල්ලක් නොදැක්වීමක්. ඉතින් මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංධානය වෙනුවෙන් ඉවහල් කරගන්න අවස්ථාවන් ගොඩක් තියෙනවා කියලා. ඒත් ඒවා අද වෙනකන් යොදාගෙන නැහැ.”

තවත් විශේෂාංග ලිපි;

අභිනව LPL තරගාවලියේ ශූරතාවය දිනා ගත් Jaffna Stallions කණ්ඩායම උතුරු පළාත තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ පැහැදිලි දැක්මක් ඉදිරිපත් කර සිටින්නට වූ අතර මේ වන විට එය ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිබඳව ශ්‍යාම් විසින් දැනුවත් කරනු ලැබීය.

“LPL තරගාවලිය ගත්තොත් වියාස්කාන්ත්, කබිල්රාජ් සහ දිනෝෂන් කියන ක්‍රීඩකයින් තමයි Jaffna Stallions කණ්ඩායම ‘draft’ එකෙන් ගත්තේ. මඩකළපුවේ තෙනුරාදන් සහ ‘කිලිනොච්චි express’ කියලා හඳුන්වන විජයරාජ් යන ක්‍රීඩකයින්ව ඔවුන් ගත්තේ ‘draft’ එකට පිටින්. ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක් කළාම ඔවුන් එක අනුමත කරලා තිබුණා. මොකද Jaffna Stallions කළමනාකාරිත්වයට අවශ්‍ය වුනා ඔවුන්ට ඒ අත්දැකීම ලබා දෙන්න. 

ඒකෙ හොඳ දේ තමයි ඒ එක ක්‍රීඩකයෙක් උතුරෙන් වෙද්දී අනිත් ක්‍රීඩකයා නැගෙනහිරින්. ඉතින් එතැන දෙමළ කතා කරන ජනතාවගෙන් ආපු හොඳ නියෝජනයක් තිබුණා. ඒ වගේම මේ හැමදේටම පස්සේ ඔවුන්ට කොළඹ ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන්න අවස්ථාව සලසලා දුන්නා. මම හිතනවා එක ගොඩක් වැදගත් කියලා. මොකද එතැන තමයි ප්‍රතිසංධානය වගේම පිළිගැනීමත් පටන් ගන්නේ. මොකද එතකොට අපි පිළිගන්නවා මේ ක්‍රීඩකයින් දක්ෂයි වගේම ඔවුන් ඉහළ තලයේ ක්‍රීඩා කිරීමට සුදුසුයි කියලා. 

ඉතින් තිලිණ කණ්ඩම්බිට අවශ්‍ය වුනා දිනොෂන් SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරවන්න. විජයරාජ් Tamil Union කණ්ඩායමට ක්‍රීඩා කරාවි. තෙනුරාදන් ශ්‍රී ලංකා යුද හමුදාවට ක්‍රීඩා කරනවා. කබිල්රාජ් මේ වෙද්දී ක්‍රීඩා සමාජ දෙකක් සමඟ සාකච්ඡා කරමින් ඉන්න නිසා මට ඒ ගැන දැන්ම හෙළිකරන්න බැහැ. ඉතින් මේ ක්‍රීඩකයින් 5 දෙනා ම අද වෙද්දී ඉදිරියට යන්න පුළුවන් හරි තැන ඉන්නේ. මෙතැන ඉඳන් ඉතුරු ටික තියෙන්නේ ඔවුන්ගේ අතේ. 

ඒ වගේම උතුරු පළාත වෙනුවෙන් Jaffna Stallionsට තියෙන දැක්ම වුනත් ඉතා හොඳ එකක්. ඔවුන් මේ වෙද්දීත් ඇකඩමි එකක් හදන්න කටයුතු සූදානම් කරමින් ඉන්නේ. අපි ඇකඩමි ඒකට මිලියන 3ක විතර උපකරණ සහ අවශ්‍ය දේවල් යවලා තියෙන්නේ. ඉතින් ඒ දැක්ම අද වෙද්දී යථාර්ථයක් වෙමින් තියෙන්නේ.”

තවත් කියවන්න;

අනතුරුව සංවාදයට එක්වූ ශානක විසින් ප්‍රතිසංධානය කෙරෙහි ක්‍රීඩාව උපයෝගී කරගැනීමේ දී රජයේ මෙන්ම අනෙක් අදාළ බලධාරීන්ගේ ද කාර්යභාරය පිළිබඳව ඉතා වැදගත් අදහස් සහ යෝජනා කිහිපයක් එක්කර සිටින්නට විය. 

“ප්‍රතිසංධානය කියන එක ක්‍රීඩාංගණය මත සිදු වන්නේ නැහැ. ඇත්තට ම කිව්වොත් ඒක කවදාවත් ක්‍රීඩාංගණයක් මත සිදුවෙන දෙයක් නෙමෙයි. මොකද එතැන දී තමන් කොහෙන්ද එන්නේ, කරන්නේ මොනවද කියන එක වැදගත් නැහැ. හැමෝටම අවශ්‍ය අනිත් කෙනාව පරාජයට පත්කරන්න. ඒකෙන් තමයි ක්‍රීඩාවේ තරගකාරීත්වය ගොඩනැඟෙන්නේ. ඉතින් අපි අවධානය යොමුකරන්න ඕනේ ක්‍රීඩා පිටියෙන් පිටත වෙන්නේ මොනවාද කියන එකට. 

එතකොට රජයේ පැත්තෙන් ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් තමයි වැඩි වැඩියෙන් තරගාවලි පැවැත්වීම තහවුරු කරන එක. ඉතින් ක්‍රීඩකයින්ව තව ළාබාල වයසක දී ක්‍රීඩා කිරීම අවශ්‍ය යි. ඒ වගේම තව තවත් අඩු වයසෙන් වයස අවුරුදු 10 දී, 12 දී වගේ ඔවුන්ව සංචාර යැවීමත් ගොඩක් වැදගත්. එතැන දී ඔවුන් ඔවුන්ගේ ප්‍රදේශයේ ම ක්‍රීඩා කරවීම පමණක් නෙමෙයි, ඔවුන්ව මහනුවර, ගාල්ල, මඩකළපුව, අනුරාධපුර, මන්නාරම, යාපනය, කිළිනොච්චිය හෝ වෙනත් ප්‍රදේශ වල ක්‍රීඩා කරවීම සිදුවෙන්න ඕනේ. ඉතින් අපිට අවශ්‍යයි වයස අවුරුදු 12 සිට 18 දක්වා කාලය තුළ ක්‍රීඩාවේ හොඳින් නිරත වෙන ශිෂ්‍යයෙක් රට වටා සංචාරය කර තිබීම. ඒක සම්මානනීය ලේඛකයෝ පමණක් කරලා තියෙන්න දෙයක් නෙමෙයි. ඒක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිදු කරලා තියෙන දෙයක් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා එක අපි අපේ පද්ධතිය තුළ ස්ථාපිත කළ යුතු දෙයක් කියලා. එතැන අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් විය යුතු ස්ථානයක්. 

ඒ වගේම අද අපිට ඉන්නේ නිකන් ක්‍රීඩා ඇමති කෙනෙක් නෙමෙයි. ඔහු හදවතින් ම ක්‍රීඩාවට ආදරය කෙනෙක්. ඔහු ලංකාව තුළ ඉහළම තලයේ ක්‍රීඩාවේ නිරත වෙලා තියෙනවා. ඔහු දන්නවා ඒ වනිඳු හසරංග සහ වියාස්කාන්ත් සිදුවීම හරහා සියලුම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක. ඉතින් බලධාරීන් වගබලා ගන්න ඕනේ රටේ සෑම කොණක ම පුද්ගලයෙක්ට ළඟා වෙන්න පුළුවන් ක්‍රීඩාංගණ නියමිත පහසුකම් එක්ක අදාළ සෑම ස්ථානයක ම ස්ථාපිත කරන්න. 

ඒකෙන් කියන්නේ නැහැ හැම නගරයක ම ඉහළ තත්වයේ ක්‍රීඩාංගණ හදන්න ඕනේ කියලා. මම කියන්නේ මහනුවර, කුරුණෑගල, කිලිනොච්චි, ත්‍රිකුණාමලය හෝ යාපනය වගේ ප්‍රදේශ අවට ඉන්න ජනතාවට එක බස් රථයකින් ළඟා විය හැකි ක්‍රීඩාංගණ තියෙන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ පද්ධතිය ගැන ගැටලුකාරී තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සුදුසු පහසුකම් ලබාදීම සහ නිසි අවස්ථාවන් ලබා දීම වගේ දේවල් තහවුරු කරන්න ඕනේ. 

අපි දැන් යාපනය ගැන කතා කළා. සමහර විට යාපනය ප්‍රදේශයට මොනරාගල, අනුරාධපුර වගේ ප්‍රදේශවල ඉන්න සිංහල බෞද්ධ ජනතාවට වඩා වරප්‍රසාද තියෙන්න පුළුවන්. ඉතින් එහෙම එක ප්‍රදේශයක් නැත්නම් එක ක්‍රීඩාවල් විතරක් දියුණු කරලා අනෙක් ප්‍රදේශ, ක්‍රීඩා ගැන අවධානය යොමු නොකිරීමෙන් වෙන්නේ වෙන්නේ මේක තුළ තව තවත් පන්ති පරතරය වැඩිවෙන එක. 

ඉතින් තවත් ක්‍රීඩාවන් ඔවුන්ට හඳුන්වා දීම මෙතැන දී වැදගත්. ඒ හඳුන්වා දෙන්නේ එච්චර උපකරණ අවශ්‍ය වෙන්නේ නැති කබඩි වගේ ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. ක්‍රීඩාවට වඩා මෙතැන වැදගත් ජනතාව කුමන හෝ ක්‍රීඩාවක නිරත කරවීම. ඉතින් ක්‍රීඩා කරද්දී කවුරුහරි ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙද්දී අනිත් අයට තේරෙන්න පුළුවන් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගෙත් අත පය කැඩෙනවා, ඔවුන්ටත් අපිට විදිහට ම ඒ වේදනාව දැනෙනවා කියන එක. ඉතින් අපිට අවශ්‍ය වයස අවුරුදු 12, 14, 16 ළමයි ඒ තේරුම් ගැනීම ලබාගන්න පටන් ගැනීම, ක්‍රීඩා වල නිරත වීම සහ තමන්ට අවශ්‍ය තීරණ ලබාගැනීම. 

මේකට ඒ ළමයින් ඉහළ ම තලයේ ක්‍රීඩා කරවීම ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඕනෑම තලයක වෙන්න පුළුවන්. මොකද ක්‍රීඩාවේ නිරත වෙද්දී ඒ හරහා ඒකාබද්ධතාවය ඇතිවෙනවා. ඉතින් ප්‍රතිසංධානය වෙනුවෙන් කටයුතු කරන්න කලින් මම හිතනවා අපි ලොකු අවධානයක් දෙන්න ඕනේ කියලා එකබද්ධතාවය ගැන. අපිට ඒකාබද්ධතාවය ඇතිකරන්න පුළුවන් වුණොත් පස්සේ ඒකෙන් නිකන් ම ප්‍රතිසංධානය ඇතිවෙයි.”

පසුව එස්ටෙල් ක්‍රීඩාව හා ප්‍රතිසංධානයට අදාළව ඇයගේ අදහස් අවසාන වශයෙන් ඉදිරිපත් කරමින් පවසා සිටියේ; 

“පැහැදිලිව ම ක්‍රීඩාවට ප්‍රතිසංධානය කෙරෙහි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒත් අපි පිළිගන්න ඕන දෙයක් තමයි ඒකට අපි දකින දේට වඩා තව ගොඩක් ගැඹුරු පැතිකඩක් තියෙනවා කියන එක. අපි දකිනවා මිනිස්සු එකිනෙකා එක්ක කතාබහ කරනවා, එකට ඉන්නවා සහ අපිට එක එක වාර්ගික කොටස් වලින් මිතුරන් ඉන්නවා. ඒවා දකිද්දී සතුටක් ඇතිවෙනවා තමයි. ඒත් නිවැරදි සහ සත්‍ය ප්‍රතිසංධානයක් ඇති කරන්න නම් බිම් මට්ටමෙන් තව ලොකු කාර්යභාරයක් වගේම කරන්න අපහසු තව දේවල් ගොඩක් සිදු වෙන්න ඕනේ කියන එක අපි පිළිගන්න ඕන දෙයක්.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<