දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය 26 සිට

South Asian Youth Table Tennis Championships

122

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.   

මෙම තරගාවලිය වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් බාලක/ බාලිකා ඒකල, බාලක / බාලිකා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් සමන්විතව පැවැත්වේ.  

දකුණු ආසියානු මේස පන්දු සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල් සහභාගී වන බවට දැනුම් දී තිබුණ ද මේ වන විට ස්තීර වශයෙන් ම සහභාගී වන බවට දැනුම් දී ඇත්තේ ඉන්දියාව සහ මාලදිවයින කණ්ඩායම් පමණයි.  

අපි බලාපොරොත්තු වෙනවා අවසන් අවස්ථාවේ දී හෝ ඔවුන් මෙම තරගාවලිය හා එක් වෙයි කියලා. මෙම තරගාවලියේ සංවිධායක කමිටු සභාපති චන්දන පෙරේරා මහතා ThePapare.com සමඟ පැවැසුවා.  

තරගාවලියේ තරග කුසපත් ඇදීම මේ මස 25 වැනිදා පැවැත්වෙන බැවින් තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම් එදිනට පෙර මෙරට ට පැමිණිය යුතුයි. දකුණු ආසියානු කලාපයේ මේස පන්දු ක්‍රීඩාවේ තරගකාරී කණ්ඩායමක් වන භූතානය මෙම තරගාවලිය හා මෙවර එක්වෙන බවක් ස්තීර කර නැහැ.  

මෙම තරගාවලිය මෙරට දී සංවිධානය වන්නේ වසර 7කට පසුවයි. මීට පෙර මෙම තරගාවලිය 2017 වසරේ දී මෙරට දී පැවැති අතර එහි දී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම්වලට රිදී පදක්කම් කිහිපයකින් පමණක් සෑහීමකට පත් වීමට සිදු ව තිබෙනවා.  

මේස පන්දු ක්‍රීඩාවේ කලාපීය බලවතා වෙන්නේ ඉන්දියාව. පෙර වසරවල වගේ ම පසුගිය වසරේ දී ද ඔවුන් රන් පදක්කම් වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා. එහෙත් මෙවර අපිට රන් පදක්කම් කිහිපයකට යන්න හැකි වේවි. එහි දී අපේ ප්‍රමුඛ ප්‍රතිවාදීන් වෙන්නේ ඉන්දියාව. ඔවුන්ට හොඳ තරගයක් දෙන්න අපේ ක්‍රීඩකයන් හැකි වේවි. ඒ වෙනුවෙන් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වෙද්දී සංචිත ගත වෙමින් පුහුණුවිම්වල නිරත වෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ වන විට ජාතික පුහුණුකරු චතුර දුශාන් මහතා ගේ ප්‍රධානත්වයෙන් කේ. එස්. ටී. ලක්ෂාන් හර්ෂණ මහතා, හසිත සමරවීර මහතා, බී. ආර්. පී. දික්කුඹුර මහතා සහ සී. පී. ලියනගේ මහතා යන පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් යුතුව තරගාවලිය පැවැත්වෙන මහනුවර මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී ම පුහුණුවීම් නිරත වෙනවා.  

 “ජාතික පුහුණුකරුට අමතර ව අපි මේ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගත්තේ සංචිතයේ සිටින ක්‍රීඩකයන් වැඩි පිරිසකගේ පුහුණුකරුවන් ඔවුන් නිසයි. ඔවුන්ට තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන මනා වැටහීමක් තිබෙනවා. විදේශයක දී තිබෙන ජාත්‍යන්තර තරගයක් සඳහා අපිට මේ තරම් පුහුණුකරුවන් ප්‍රමාණයක් යොදවන්න වත්කමක් නැහැ. නමුත් මෙම තරගාවලිය මෙරට දී පැවැත් වෙන බැවින් අපිට ඔවුන්ගේ සේවය වැඩි වැඩියෙන් යොදා ගත්තා. ඔවුන් මේ වෙද්දී විශාල වගකීමකින් එම කටයුතුවල නිරත වෙමින් සිටිනවා. චන්දන පෙරේරා මහතා පැවැසුවා.  

තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ සංචිත 

  • වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම: යෝශිනි ජයවර්ධන (මහාමයා විද්‍යාලය, මහනුවර), මුතුලි සහන්‍යා (සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, ගාල්ල), සමින්දි වීරසූරිය (යහපත් එඬේරාගේ කන්‍යාරාමය, මහනුවර) සහ මෙකල්‍යා ප්‍රනාන්දු (Elizabeth Moir ජාත්‍යන්තර පාසල)
  • වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම: අකේන් බෝජිත් (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), නවිරු නෙත්සිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), අගස්ත්‍ය ආනන්දිත (Bond ජාත්‍යන්තර පාසල), සෙනුල් රත්නායක (ධර්මරාජ විද්‍යාලය, මහනුවර).
  • වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම: බිමන්දි බණ්ඩාර (හිල්වඩුඩ් විද්‍යාලය, මහනුවර), ටමාදි කාවින්දි (ශ්‍රී දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ), දිව්‍යා ධරණි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), ලෙසන්‍යා සෙතුම්දි (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ) සහ සංදිති ජයසිංහ (මියුසියස් විද්‍යාලය, කොළඹ).
  • වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම: ශෆියුල්ලා අක්‍රම් (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), ජනිත් බටුගෙදර (රාජකීය විද්‍යාලය, කොළඹ), ඩිරන් හාමර් (රාජකීය විද්‍යාලය, කොළඹ), සලුක ප්‍රේමචන්ද්‍ර (ආනන්ද විද්‍යාලය, කොළඹ) සහ විනුක ගුණවර්ධන (රාජකීය විද්‍යාලය, කොළඹ).

මෙම තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේ ම මෙරට ක්‍රීඩාවේ නියුතු සියලුම මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක සේ වැදගත් වෙනවා. සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ වගේ ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ දී විශාල වියදමක් දරන්න සිදු වෙනවා. ඒ වගේ ම ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදු වෙන්නේ තමන්ට හුරු පුරුදු පරිසරයෙන් ඉවත් වෙලයි. නමුත් අපිට මේ වාසිය මෙම තරගාවලියේ දී ලබා ගත හැකියි. ඒ වගේ ම ක්‍රීඩාවේ නිරත මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ තරගාවලියක් නැරඹීමේ අවස්ථාව ලැබී තිබෙනවා. විශේෂයෙන් ම විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා නිපුණතා, උපක්‍රම ගැන අවබෝධයක් ලබා ගත හැකියි. ඒ නිසා අපි ඔවුන්ට ආරාධනා කරනවා මේ තරගාවලිය නරඹන්න පැමිණෙන්න කියලා.තරගාවලියේ සංවිධායක කමිටු සභාපති චන්දන පෙරේරා මහතා ThePapare.com සමඟ පැවැසුවා.   

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<