රන් පදක්කම් 09ක් සමඟ ශ්‍රී ලංකාව දෙවැනි තැනට

South Asian Junior Athletics Championship 2024

9
Lesandu-Arthavidu

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (13) දිනයෙන් අවසන් වුනේ ශ්‍රී ලංකාවට සමස්ත පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි කර දෙමිනුයි.

ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් පහක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පිරිමි 100×4 රන් පදක්කම

දකුණු ආසියාවේ වේගවත් ම යෞවනයා ලෙස පසුගිය දා අභිසෙස් ලැබූ මෙරෝන් විජේසිංහ සමඟින් එක් වූ ශ්‍රී ලංකා මීටර් 100×4 කණ්ඩායම තත්පර 40.28ක කාලයක් සමඟ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි උස පැනීමේ රන්, රිදී ශ්‍රී ලංකාවට

පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ ලෙසඳු අර්තවිදු විසින් මීටර් 2.17ක උසක් තරණය කරමින් (ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව සහ නව තරග වාර්තාවක්) රන් පදක්කම ජයග්‍රහණය කරනා අතරේ, දිනූශාන් මෙන්ඩිස් මීටර් 2.10ක උසක් සමඟ රිදී පදක්කම ඩැහැ ගැනීමට සමත් වුනා.

පිරිමි මීටර් 200 ඉසව්වෙන් රන් සහ ලෝකඩ

මෙම ඉසව්වට සහභාගී වූ ඉඳුසර විදුශාන් තත්පර 21.33ක කාලයක් වාර්තා කරමින් (නව තරග වාර්තාවක්) රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තත්පර 21.44ක කාලයක් වාර්තා කළ කෞශාන් තමෙල් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි 400×4 රන් පදක්කමත් ශ්‍රී ලංකාවට

මෙම ඉසව්ව නියෝජනය කරමින් ධාවන පිටියට පිවිසි ශ්‍රී ලංකා ධාවකයින් මිනිත්තු 3.09.27ක කාලයක් සමඟ ඉතා පහසුවෙන් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි තුන් පිම්මේ රන් සහ රිදී ශ්‍රී ලංකාවට

පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ D.M.H.කාවින්ද මීටර් 15.09ක දක්ෂතාවක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කරනා අතරේ, M.D.S.හංසක මීටර් 14.92ක දුරක් තරණය කරමින් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවේ සාර්ථක ම දිනය නිමා වෙයි

ඊයේ දිනය ආරම්භ වන තෙක් රන් පදක්කම් 4ක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට තවත් රන් පදක්කම් පහක් පදක්කම් සටහනට එක් කර ගැනීමට සමත් වුනා. ඊට අමතරව පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ U.G.B.දිල්හාර මීටර් 62.22ක දුරක් හෙල්ල විසි කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ දිල්කි නෙහාරා මීටර් 12.32ක දුරක් තරණය කරමින් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කළා.

එමෙන්ම කාන්තා යගුලිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ ඉසලි මල්කෙත්මි මීටර් 10.68ක දුරක් යගුලිය විසිකරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ ප්‍රශාන් බුද්ධික මිනිත්තු 4.03.79ක කාලයක් සමඟ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා. කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ W.G.නිසංසලා මීටර් 35.02ක දක්ෂතාවක් සමඟ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා මීටර් 100×4 කණ්ඩායම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, කාන්තා මීටර් 400×4 කණ්ඩායම ද සිය ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අනුව ඊයේ දිනයෙන් දකුණු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය නිමා වන විට රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟින් සමස්ත පදක්කම් 48ක් ජයග්‍රහණය කළ ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුනා.

මේ අතර මෙම තරගාවලියේ දී ඉන්දියාවට අභියෝග කිරීමට තරම් ශක්තියක් තිබූ එකම දේශය ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 17ක් සමඟින් සමස්ත පදක්කම් 35ක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටියා.

මෙම ශුරතාවලියේ දී බෙදී ගිය සියලු ම රන් සහ රිදී පදක්කම්වල අයිතිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පමණක් සතු වීම විශේෂත්වයක්.

දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<