ශ්‍රී ලංකාව තවත් රන් පදක්කමක් දිනයි

South Asian Junior Athletics Championship 2024

13
South Asian junior athletics championship 2024
Ceylon Athletics

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය ඊයේ (12) අවසන් වුනේ ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමි කර දෙමිනුයි.

ඊයේ දිනය තුළ ද ක්‍රීඩා ඉසව් රැසක් ක්‍රියාත්මක වූ අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පදක්කම් අතරට පිවිසීමට සමත් වුනා.

සඳුන් කෝසලට රන් පදක්කමක්

පිරිමි මීටර් 110 ඉසව්වට සහභාගී වූ සඳුන් කෝසල විසින් තත්පර 14.06ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරනා අතරේ, විශ්ව තාරුක තත්පර 14.27ක කාලයක් සමඟ ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවට දෙවැනි දිනයේ දී එක් රිදී පදක්කමක්

මේ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට හිමි වූ එකම රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 47.17කින් නිමා කළ ඔමෙල් සශින්තට හැකියාව ලැබුණා.

එමෙන්ම මෙම ඉසව්වේ සිව්වැනි ස්ථානය ජත්‍ය කිරුළු හට හිමි වුනා.

ලෝකඩ පදක්කම් රැසක්

පිරිමි දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ තෙවිඳු දූවගේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරනා අතරේ, දහම් අබේනායක සිව්වැනි ස්ථානයට පත් වුනා.

මේ අතර කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ සාවින්ද්‍යා ජයමහ ද ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව නියෝජනය කළ මියුනි සිදස්නා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ අතරම, ඉසව්වේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන ද ශ්‍රී ලංකාවට හිමි වීම විශේෂත්වයක්.

පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට දුලික් දාබරේරාට හැකියාව ලැබුණා.

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ ධනංජනා රනස්ගල්ල ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරද්දී, ආදිත්‍යා ප්‍රනාන්දු හට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට සිදු වුනා.

කාන්තා මීටර් 3000 ඉසව්ව නියෝජනය කළ දුලංජනා ප්‍රදීපානි එහි තෙවැනි ස්ථානයට පත් වූ අතර, කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කළ ටක්ශිමා නුහංසා එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ අතර ජිත්මා විජේතුංග හට එම ඉසව්වේ සිව්වැනි ස්ථානය උරුම වුනා.

ශූරතාවලියේ තෙවැනි දිනය අද (13) ක්‍රියාත්මක වීමට නියමිතයි. එම සියලු තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<