දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!

South Asian Junior Athletics Championship 2024

1
South Asian Junior Athletics Championship 2024

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (11) ආරම්භ වුනා.

තරගාවලියේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

දකුණු ආසියාවේ වේගවත් ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්

අද රාත්‍රියේ පැවැත්වුණු පිරිමි මීටර් 100 අවසන් මහා තරගයට සහභාගී වූ මෙරෝන් විජේසිංහ විසින් තත්පර 10.41ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව, නව තරග වාර්තාවක් මෙන්ම, ජාතික කනිෂ්ඨ වාර්තාව ද බවට පත් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම ඉසව්වට සහභාගී වූ දිනෙත් ඉඳුවර සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 10.49ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කාන්තා සහ පිරිමි මීටර් 800 රන් පදක්කම් ශ්‍රී ලංකාවට

මිනිත්තු 1.49.83ක කාලයක් වාර්තා කරමින් පිරිමි මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සවිඳු අවිශ්ක සමත් වූ අතර, දිනෙත් ලියනගේ හට ඉසව්වේ සිව්වැනි ස්ථානය හිමිවුනා.

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිශේකා විසින් මිනිත්තු 2.10.17 කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මිනිත්තු 2.12.13ක කාලයක් වාර්තා කල සන්සලා හිමාශානි ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කාන්තා උස පැනීමෙන් රිදී පදක්කම් දෙකක්

කාන්තා උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.65ක උසක් තරණය කිරීමට සමත් වූ කශ්මිකා තිමේශි සහ නේත්‍රා සමාධි සම ස්ථාන ලබා ගනිමින් රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

කාන්තා මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

තත්පර 12.04ක කාලයක් වාර්තා කරමින් කාන්තා මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශනෙල්ලා විජේතුංග සමත් වූ අතර, එහි සිව්වැනි ස්ථානය දනනි රශ්මා හට හිමි වුනා.

පිරිමි යගුලිය විසි කිරීමෙන් තවත් ලෝකඩ පදක්කමක්

මෙම ඉසව්වට සහභාගී වූ ජයවි අල්විස් මීටර් 15.62ක දක්ෂතාවක් සමඟින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ශූරතාවලියේ දෙවැනි දිනය හෙට (12) ක්‍රියාත්මක වීමට නියමිතයි. එම සියලු තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<