ශ්‍රී ලංකා මැදපෙළට වැඩි බරක්

541
Senuran Muthusamy
Senuran Muthusamy

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගය අද (19) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

මෙම තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් පෙර තරගයේ නායකයා ලෙස කටයුතු කළ නිපුන් ධනංජය වෙනුවට කමිඳු මෙන්ඩිස් අද තරගයේ නායකයා ලෙස කටයුතු කළා.

ඒ හැරුණු විට පළමු තරගයට ක්‍රීඩා නොකළ නිශාන් මදුශ්ක, මිනෝද් භානුක, පසිඳු සූරියබණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම සහ විශ්ව ප්‍රනාන්දු අද ක්‍රීඩා කළ 11 දෙනා අතරට ඇතුළත් වුනා.

නියමිත වේලාවට තරගය ආරම්භ කෙරුව ද, දිවා භෝජනය අතරතුර තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය මිනිත්තු 90කට වඩා වැඩි කාලයක් නවතා තැබීමට විනිසුරුවන්ට සිදු වුනා.

ඒ අනුව අද දිනය පන්දුවාර 66කට පමණක් සීමා වූ අතර පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 257ක්.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ‘A’ නායකයා කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත්තා. ආරම්භයේ දී පන්දුවේ දෝලනය හොඳින්ම පැවතියත්, කඩුලු ආරක්ෂා කර ගත් නිශාන් මදුෂ්ක සහ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කළා.

පල්ලෙකැලේ දී පැවති පළමු තරගයේ දී කඩුලු 12ක් බිඳ දැමූ වමතින් දඟපන්දු යවන Senuran Muthusamy අද තරගයේ දී ද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූයේ දැවී ගිය කඩුලු 7න් 5ක් දවා ගනිමින්.

එහි දී, නිශාන් Muthusamyගේ පළමු ගොදුර බවට පත්වෙමින් ලකුණු 33කට ද, කෲස්පුල්ලේ ලකුණු 27කට ද දැවී ගියා. මොවුන් දෙදෙනාම පන්දු 4ක් ඇතුළත දැවී යෑම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා.

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන Lutho Sipamla සහ Lizaad Williams දෙදෙනා එක් කඩුල්ල බැගින් දවා ගත් අතර ඒ හැරෙන්නට පළමු දිනය අවසන් වන විට දැවී ගොස් තිබුණු සෙසු කඩුලුවල අයිතිය තමන් සතු කර ගැනීමට Muthusamy සමත් වුනා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු අතරට පැමිණිය ද, ඔවුන් කිසිවෙකුටත් දිගු ඉනිම් කරා යෑමට නොහැකි වුනා. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ, පළමු වරට ‘A’ තරගයකට ක්‍රීඩා කරන, පසිඳු සූරියබණ්ඩාරයි. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

>>Photos – South Africa ‘A’ tour to Sri Lanka 2023 – 2nd Four Dayer | Day 1<<

ඉදිරි පෙළ පිතිකරුවන්ට කෙතරම් අභියෝගයක් ලබා දුන් නමුත් Muthusamyගේ පන්දු යැවීම හමුවේ පසුපෙළ පිතිකරුවන් වුනු මිලාන් රත්නායක සහ රමේෂ් මෙන්ඩිස් තම කඩුලු ආරක්ෂා කර ගැනීම කැපී පෙනුණා.

මුළු ලකුණු සංඛ්‍යාව 217 දී ලක්ෂිත මනසිංහ (ලකුණු 13) දැවී ගිය ද, මිලාන් සහ රමේෂ් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක නොබිඳිණු සම්බන්ධතාවක් ගොඩනැගුවා.

අයහපත් කාලගුණය තරගයට හරස්වීම නිසා නියමිත වේලාවට වඩා මිනිත්තු කිහිපයකට පෙර තරගය නිමා කරන විට මිලාන් පන්දු 40ක දී ලකුණු 29ක් සහ රමේෂ් පන්දු 98ක දී ලකුණු 38ක් ලබාගෙන නොදැවී කඩුලලේ රැඳී සිටියා.

අද දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් හයේ පහර 6ක් එල්ල කර තිබුණු අතර ඉන් 2ක්ම රමේෂ් සතු වුනා. මිලාන්, ලහිරු උදාර, මිනෝද් භානුක සහ කෲස්පුල්ලේ සෙසු හයේ පහර එල්ල කළ පිතිකරුවන් වුනා.

ශ්‍රී ලංකා ‘A’ පළමු ඉනිම පන්දුවාර 66ක දී කඩුලු 7ට ලකුණ 257යි – පසිඳු සූරියබණ්ඩාර 41, රමේෂ් මෙන්ඩිස් 38*, නිශාන් මදුශ්ක 33, ලහිරු උදාර 33, මිනෝද් භානුක 32, මිලාන් රත්නායක 29*, ලසිත් කෲස්පුල්ලේ 27, Senuran Muthusamy 5/101

හෙට (20) තරගයේ දෙවැනි දිනයයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<