රමේෂ්, පසිඳු, ලක්ෂිත එක වූ දකුණු අප්‍රිකානු A සංචාරය

දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1325

දකුණු අප්‍රිකානු A සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග 2කින් යුත් නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ ශ්‍රී ලංකාවට 1-0ක ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

දෙරට අතර පැවති පළමු නිල නොලත් ටෙස්ට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 160ක ජයක් හිමි වෙනවා. අනතුරුව කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි නිල නොලත් ටෙස්ට් තරගය නිමා වූයේ විසඳුමකින් තොරවයි.

පිතිකරුවන්ගේ දක්ෂතා

නිමා වූ මෙම තරගාවලිය තුළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ආධිපත්‍ය පතුරවන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්. එහි පළමු ස්ථාන 4 ම හිමිවෙන්නේ අපේ ක්‍රීඩකයන්ට. ඒ අතරින් පළමු අසුන වෙන්කර ගන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන 27 වැනි වියේ පසුවෙන රමේෂ් මෙන්ඩිස්.

ඉන් අනතුරුව මිනෝද් භානුක, ලසිත් කෲස්පුල්ලේ සහ පසිඳු සූරියබණ්ඩාර එහි අසුන් පිළිවෙළට වෙන් කරගන්නා අතර එහි 5 වැනි අසුන හිමි කර ගන්නේ දකුණු අප්‍රිකාවේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු Tristan Stubbs. ඔහු තරග 2ක ඉනිම් 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 129ක්. ඊට දෙවැනි තරගයේ දී ලබා ගත් ශතකයක් ද ඇතුළත්.

ඔහුට පිටුපසින් ලකුණු 127ක් ලබා ගත් Keegan Petersen සහ ලකුණු 121ක් ලබා ගත් Matthew Breetzke ලැයිස්තුගත වෙනවා. අනතුරුව ශ්‍රී ලංකා ලැයිස්තුවේ 5 වැනියා බවට පත් වූ ලහිරු උදාර මේ ලැයිස්තුවට එක් වෙනවා.

රමේෂ් මෙන්ඩිස්

තරගාවලිය නිමා වෙද්දී රමේෂ් මෙන්ඩිස් තරග 2ක ඉනිම් 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 186ක්. ඊට පළමු තරගයේ දී පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලබා ගත් ලකුණු 78ක් ද සහ දෙවැනි තරගයේ දී පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 62ක් ද ඇතුළත්.

මීට අමතරව රමේෂ් පන්දු යැවීමේ දී කඩුලු 3ක් ද දවා ගන්නවා. ඒ සඳහා ඔහු පන්දුවාර 42ක් යවනු ලැබූ අතර ලකුණු 129ක් ලබා දෙනවා.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ දී රමේෂ්ට පළමු පෙළ තරගවල ලකුණු 4000 ලකුණු 68කිනුත් සහ කඩුලු 200 කඩුලු 3කිනුත් අහිමි වෙනවා.

පසිඳු සූරියබණ්ඩාර

තරගාවලියේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අනුව පළමු අසුන වෙන් කර ගන්නේ දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර. ඔහු මෙම තරගාවලියේ දී කණ්ඩායම හා එක් වෙන්නේ අවසන් තරගයේ දී පමණයි.

එම තරගයේ දී ඔහු පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 113ක් ලබා ගන්නවා. ඊට අමතරව පළමු ඉනිමේ දී ද පන්දු 52කට මුහුණ දෙන පසිඳු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 41ක්. එම ඉනිම් 2ක අවසානයේ ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක්වුනේ 154.00ක්.

23 හැවිරිදි වියේ පසුවෙන පසිඳු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 20කට පමණයි. එහි ඉනිම් 29ක දී ලකුණු 1659ක් ලබා සිටින පසිඳු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 63.80ක් ලෙස ඉහළ අගයක් රඳවා ගැනීමට සමත් ව සිටිනවා.

නිමා වූ එම තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද පසිඳු සූරියබණ්ඩාරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා

Players Mat Inns NO Runs HS Ave 100 50
1 රමේෂ් මෙන්ඩිස් 2 3 0 186 78 62.00 0 2
2 මිනෝද් භානුක 1 2 0 162 130 81.00 1 0
3 ලසිත් කෲස්පුල්ලේ 2 4 0 157 98 39.25 0 1
4 පසිඳු සූරියබණ්ඩාර 1 2 1 154 113* 154.00 1 0
5 ලහිරු උදාර 2 3 0 84 42 28.00 0 0

පන්දු යවන්නන්ගේ දක්ෂතා

පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය සතු කරගැනීමට දකුණු අප්‍රිකාවේ 29 හැවිරිදි Senuran Muthusamy සමත් වුනා. ටෙස්ට් තරග 3ක අත්දැකීම් ඇති, වමතින් දඟපන්දු යැවූ ඔහු තරගාවලිය නිමා කරන්නේ කඩුලු 18ක් තම ගිණුමට බැර කර ගනිමින්.

ඔහු දෙරට අතර පැවති පළමු තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ලකුණු 122කට කඩුලු 7ක් දවා ගනිමින් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම ද සහ ඊට දෙවැනි ඉනිමේ දී ද ලකුණු 53කට කඩුලු 5ක් එක් කර ගනිමින්, එකතුව ලකුණු 175කට කඩුලු 12ක් දවා ගනිමින් තරගයක දී දැක් වූ ඉහළ ම දක්ෂතාව ද දක්වනවා.

මෙම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරගවල තරගයක හොඳම දක්ෂතාවය බවට ද පත් වුනා.

මෙම තරගාවලිය ඔහුට තවත් ලෙසකින් වැදගත් වන්නේ පැවති දෙවැනි තරගය තම පළමු පෙළ 100 වැනි තරගය වීමයි. එම තරගය නිමාවත් සමඟ ඔහුගේ පළමු පෙළ කඩුලු සංඛ්‍යාව 234ක් බවට පත්වුනා.

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු පළමු පෙළ තරගවල ශතක 8ක් සහ අර්ධ ශතක 26ක් සමඟින් ලකුණු 4585ක් වාර්තා කර තිබෙන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

ඔහුට අමතරව මෙම ලැයිස්තුවේ ඊට පසු ස්ථාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ ලක්ෂිත මනසිංහ, ඩිල්ෂාන් මධුශංක සහ ලසිත් ඇඹුල්දෙණිය.

ලක්ෂිත මනසිංහ

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතුරින් දෙවැනි ස්ථානය හිමි වෙන්නේ 23 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන ලක්ෂිත මනසිංහ වෙත. ඔහු තරග 2ක ඉනිම් 4ක දී පන්දුවාර 52.3ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 12ක්.

ඊට පළමු තරගයේ දී මෙන් ම දෙවැනි තරගයේ දී ද කඩුලු 5 බැගින් දවා ගැනිමට ඔහු සමත් වෙනවා. ඉන් හොඳම පන්දු යැවීම බවට පත් වූයේ පල්ලෙකැලේ දී ලකුණු 19කට දවා ගන්නා කඩුලු 5යි.

ලක්ෂිත මේ වන විට පළමු පෙළ තරග 34කට ක්‍රීඩා කරමින් කඩුලු 112ක් දවාගෙන ඇති අතර පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1063ක් ලබා ගෙන සිටී.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 5 දෙනා

Player Mat Inns Ov M Runs W BBI BBM 4 5
1 ලක්ෂිත මනසිංහ 2 4 52.3 7 154 12 5/19 7/55 0 2
2 ඩිල්ෂාන් මධුශංක 1 2 15.0 2 65 4 3/31 4/65 0 0
3 ලසිත් ඇඹුල්දෙණිය 1 2 30.0 1 97 4 2/36 4/97 0 0
4 ප්‍රවීන් ජයවික්‍රම 1 2 47.0 6 145 4 2/43 4/145 0 0
5 විශ්ව ප්‍රනාන්දු 1 2 20.4 2 71 3 3/45 3/71 0 0

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<