ශක්තිය, විනය සහ නොසිඳෙන අධිෂ්ඨානය පසුගිය වසර කිහිපය පුරාවටම යුද හමුදා රග්බි කණ්ඩායම් තුලින් දක්නට ලැබුණු ප්‍රධානතම ගුණාංග කිහිපයක්. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සහභාගී වන අනෙක් සියලුම කණ්ඩායම් පිළිගන්නා කරුණක් වන්නේ, ඕනෑම තත්ත්වයක් යටතේ පරාජය කිරීමට ඉතා අපහසු කණ්ඩායම් අතර යුද හමුදා ක්‍රීඩා සමාජය ඉහලින්ම පසුවන බවයි.

පසුගිය ලිපි: යලිත් ස්වර්ණමය යුගයක් වෙත නෙත් යොමන කන්ද උඩරට රග්බි බල කඳවුර

පසුගිය තරග වාරයේදී යුද හමුදා ක්‍රීඩකයන් පළමු වටය තුල ඉතා විශිෂ්ට ගනයේ දස්කම් ප්‍රකඨ කලේ එම වටයේදී ප්‍රබල මහනුවර කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ එකම ක්‍රීඩා සමාජය බවට පත් වෙමිනුයි. එම වටයේදී යුධ හමුදා කණ්ඩායම ලකුණු 9 – 6 ක් ලෙස සියුම්ව පරාජය කිරීම සඳහා මහනුවර ක්‍රීඩා සමාජයට අතිශයින්ම ප්‍රබල සටනක් දීමට සිදුවිය. කෙසේ වෙතත් දෙවන තරග වටයේ තීරණාත්මක අවස්ථා වලදී සිදුවූ යම් යම් අඩු පාඩු හේතුවෙන් යුධ හමුදා කණ්ඩායමට 2015/16 ඩයලොග් ලීග් රග්බි තරගාවලිය අවසන් කරන්නට සිදුවූයේ ශූරතා ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා පහත වැටෙමිනුයි.

යුධ හමුදා සේනාකයේ අණ දෙන නිලධාරී තනතුර මනෝජ් සිල්වාට

මෙවර 2016/17 අන්තර් සමාජ රග්බි තරග වාරය සඳහා යුධ හමුදා ක්‍රීඩා සමාජය මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන මනෝජ් සිල්වා හටයි. පසුගිය තරග වාරයේදී යුධ හමුදා ස්ක්‍රම් හැඩගැස්මේ පසුපස ශක්තිමත් කිරීමේ වගකීම මනාව ඉටු කරමින් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මනෝජ් පන්දුව රැගෙන ධාවනයේ යෙදීමට ඇති තම ශක්තිමත් සහ වගකීම් සහගත හැකියාව කණ්ඩායම මෙහෙයවීමේ ආදර්ශයක් කර ගනු ඇත.

පසුගිය වසරේ යුධ හමුදා ක්‍රීඩා සමාජයට නායකත්වය ලබා දුන් අශෝක ජයලාල් අත්දැකීම් බහුල ප්‍රොප් ෆෝවර්ඩ් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ තීරණාත්මක වගකීමක් ඉටු කරන ක්‍රීඩකයෙකි. තම දැවැන්ත සිරුරෙන් යුධ හමුදා ස්ක්‍රම් සැකැස්මේ ඉදිරි පෙළ ශක්තිමත් කිරීමට අමතරව ජයලාල්, නම් දරා සිටින්නේ ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් සමඟ වේගවත් සහ ශක්තිමත් ඝට්ටන ඇති කර ගනිමින් එම ආරක්ෂක සැකැස්ම බිඳ දැමීමේ දක්ෂයෙක් ලෙසිනුයි.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මොහොමඩ් රිස්වි හාෆ් බැක් ස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ විශ්වාසය දිනාගෙන සිටියි. නිවැරදි ඉලක්කයට එල්ල කෙරෙන පා පහර මෙන්ම තම ගෝල කලාපයෙන් ඉවතට පන්දුව යොමු කිරීමේ හැකියාවද රිස්වි, යුධ හමුදා කණ්ඩායමේ වටිනා සම්පතක් බවට පත් වීමට ප්‍රධාන හේතු සාධක ලෙස හැඳින්විය හැකියි.

ඉමංක සහ ඉරංග යන ආරියපාල සොහොයුරන් ද යුධ හමුදා රග්බි නිල ඇඳුම පැළඳි දින සිටම ක්‍රීඩාවට ඔවුන් තුළ ඇති හැකියාව සහ විභවය පෙන්නුම් කරන ලද ක්‍රීඩකයන් දෙපළකි. පසුපස පෙළ ක්‍රීඩකයන් ලෙස උපයෝගී කරගත හැකි බහු නිපුනතා ප්‍රකඨ කරන ඔවුන් යුධ හමුදා ක්‍රීඩා සමාජ පසුපෙලට දීප්තියක් එක් කිරීමට සමත්කම් දක්වයි.

වර්බුලා ගේ දෙවන ක්‍රියාන්විතය

ෆීජී ජාතික ෆෙරෙටි වර්බුලා ( Fereti Verbula ) දෙවන වසර සඳහාත් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. පසුගිය වසරේදී යුධ හමුදා කණ්ඩායම නැවත ගොඩනැගීමේ ක්‍රියාන්විතය ආරම්භ කල ඔහු පවසන්නේ එම නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය තවමත් පූර්ණත්වයට පත් වෙමින් තිබෙන බවයි. ඔහුගේ සැලසුම වන්නේ ඉහල රිද්මයකින් යුතු තරග රටාවක නිරත වීමයි. යුධ හමුදා කණ්ඩායමේ ප්‍රබල සහ කෙටි පන්දු හුවමාරු සමඟින් පසුපස කලාපයට වැඩි නිදහස් ප්‍රදේශයක් ලබාදෙමින් ක්‍රීඩාංගනයේ සම්පූර්ණ පළල භාවිතා කිරීම ඔවුන්ගේ තරග සැලසුම් වල මූලික අභිප්‍රාය වෙයි.

Dialog Rugby League Hub

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද හිටපු ක්‍රීඩකයෙකු වන නිශාන් මීපගේ වර්බුලා හට සහය වන්නේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් පුහුණු කිරීමේ වගකීම ඉටු කරමිනුයි. එමගින් යුධ හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයන්ට වැඩි පුහුණුවක් සමඟින් කණ්ඩායම ඉදිරියට ගෙන යාම සඳහා අමතර ශක්තියක්ද හිමි වනු ඇත.

2016/17 සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2139944″]