රාජ්‍ය සේවා අරගලයෙන් සෞඛ්‍ය ජයගනී

SLSSCA Annual T20 Tournament

89
SLSSCA Annual T20 Tournament

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ රාජ්‍ය සේවා දෙවැනි කොටසේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම 2024 වසරේ ශූරයන් බවට පත් වුනා.

කොළඹ විශ්වවිද්‍යාලයිය ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම

චන්දන ධනපාල (නායක), සිතුම් තරංග, චමිල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සඳුන් ප්‍රසන්න, තරිඳු ජයසිංහ, ලකිත් වීරසෙනෙවි, අනිල් සංජය, අමිල පුන්සර, රුක්ෂාන් සේනානායක, නීල් රංජන්, ඉෂාන් ශ්‍රී ලක්ප්‍රිය. 

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම

සුනෙත් ද සිල්වා (නායක), තෙවරාසා සත්‍යන්, තරංග ප්‍රනාන්දු, කසුන් රුක්ෂාන්, රෝහණ කුමාර, අරුල් ප්‍රගාෂ්, චන්දන අබේරත්න, ධනංජය පීරිස්, චතුර සෙනෙවිරත්න (කඩුලු රකින්නා), ලක්මාල් ප්‍රේමචන්ද්‍ර, චමින්ද කොඩිතුවක්කු

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායමේ පළමු කඩුලු කිහිපය අඩු ලකුණුවලට සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. එසේ වූ ඉනිමේ දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සබඳතාවක් එක් කිරීමට සඳුන් ප්‍රසන්න සහ අනිල් සංජය සමත් වුනා.

එහි දී අනිල් සංජය පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත් අතර සඳුන් ප්‍රසන්න පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු සිතුම් තරංග පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.

අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට තැපැල් දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදුන් අතර පන්දු යැවීමේ දී තෙවරාසා සත්‍යන් ලකුණු 21කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තරංග ප්‍රනාන්දු කඩුලු 2ක් ද, අරුල් ප්‍රගාෂ්, චන්දන අබේරත්න සහ රෝහණ කුමාර කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ තරංග ප්‍රනාන්දු. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.

ඉනිමේ පළමු පන්දුවේ දී ම පළමු කඩුල්ල දැවී ගිය පසුව ඔහු සහ තෙවරාසා සත්‍යන් එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 50ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. තෙවරාසා සත්‍යන් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

ඊට අමතර ව කසුන් රුක්ෂාන් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක්, චන්දන අබේරත්න පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් සහ අරුල් ප්‍රගාෂ් පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම පාලනය කිරීමේ දී නීල් රංජන් ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සඳුන් ප්‍රසන්න කඩුලු 2ක් ද, ඉෂාන් ශ්‍රී ලක්ප්‍රිය සහ සිතුම් තරංග කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම – කඩුලු 8ක් දැවී 165 (20.0) සිතුම් තරංග 15, සඳුන් ප්‍රසන්න 36, අනිල් සංජය 66, තෙවරාසා සත්‍යන් 3/21, තරංග ප්‍රනාන්දු 2/40

 

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම – සියලුම දෙනා දැවී 144 (19.5) තෙවරාසා සත්‍යන් 19, තරංග ප්‍රනාන්දු 40, කසුන් රුක්ෂාන් 24, අරුල් ප්‍රගාෂ් 19, චන්දන අබේරත්න 20, නීල් රංජන් 4/21, සඳුන් ප්‍රසන්න 2/23

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායමට ලකුණු 21ක ජයක්.

මේ අතර තරගාවලියේ 3 වැනි ස්ථානය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ කොළඹ විශ්වවිද්‍යාලය අතර පැවැති තරගයේ දී ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වුනා.

ලංකා විදුලිබල මණ්ඩලය – සියලුම දෙනා දැවී 117 (20.0) තනුජ් පෙරේරා 41, අජිත් සිරිවර්ධන නොදැවී 20, මහේෂ් සිරිවර්ධන 4/15, රොහණ සේනාධීර 3/14, දිනූෂ මධුශංක 2/26

 

කොළඹ විශ්වවිද්‍යාලය – සියලුම දෙනා දැවී 72 (19.1) නිපුන සුදුවැල්ල 22, අමිල සංජය 2/13, පසිඳු ලක්ෂාන් 3/07, ශානක ගුණවර්ධන 3/10

ලංකා විදුලිබල මණ්ඩලයට ලකුණු 45ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<