දෙවැනි දිනය නිමාවෙද්දී ශතක රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

439

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ප්‍රිමියර් ලීග් Tier ‘A’ ක්‍රිකට් තරගාවලියේ පලිහ තරග වටයේ තවත් තරග තුනක් අද (23) දෙවන දිනය සඳහා නිමාවට පත්වූයේ පිතිකරුවන්ගේ ලකුණු පාරාදීසයක් බවට තරගාවලිය පත් කරමිනි.

ටැමිල් යූනියන් සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දෙවන දිනය වූ අද දිනයේ දී මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් අශේන් සිල්වා ලකුණු 90ක් ලබා ගත් අතර ඩිල්ශාන් මුණවීර ලකුණු 85ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. 

මීගමුව මැදපෙළ සවිමත් කළ මාධව වර්ණපුර ලකුණු 84ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ලකුණු 56කට කඩුලු 6ක් දවා ගනිමින් මීගමුව ඉනිම ලකුණු 371කට සීමා කිරීම සඳහා ටැමිල් යූනියන් පිලට සවියක් විය.

එස්. එස්. සී. සහ බදුරලිය තරගයේ දී දසුන් ශානක නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ලකුණු 128ක් ලබා ගත් අතර එම ඉනිම සඳහා 4 පහර 4ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය. ඊට අමතරව සඳුන් වීරක්කොඩි ශතකයක් ලබා ගන්න ලදි. ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් චරිත් අසලංක සහ සම්මු අශාන් අර්ධ ශතක වාර්තා කරගන්නා ලදි. අලංකාර අසංක සහ බුද්ධික සංජීව කඩුලු 3 බැගින් දවා ගැනීම නිසා එස්. එස්. සී. පළමු ඉනිම  ලකුණු 583කට හෝ සීමා කර ගැනීමට බදුරලිය කණ්ඩායමට අවස්ථාව ලැබුණි.

දෙවන දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන බදුරලිය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබාගෙන සිටින්නේ එස්. එස්. සී පළමු ඉනිමට වඩා තවත් ලකුණු 344ක් පසුපසින් සිටිමිනි. එහි දී දමිත් පෙරේරා ශතකයක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.

තවත් ඉහළ ලකුණු පුවරු නිර්මාණය වූ මුවර්ස් සහ ලංකන්ස් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 599ක් වාර්තා කර ගනිමින් ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලදි. 

සචිත්‍ර සේරසිංහ, නිපුන් කරුණානායක සහ රමේෂ් මෙන්ඩිස් මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ශතක ලබා ගන්නා විට පන්දු යැවීමේ දී  දුනිත් වෙල්ලාලගේ කඩුලු 4ක් දවා ගත්තේය. සිය පිළිතුරු ඉනිම දියත් කරන මාලිංග අමරසිංහ ශතකයක් ලබා ගත්තේ ලංකන්ස් ඉනිමේ ගෞරවය ආරක්ෂා කර ගනිමිනි.

මීගමුව ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය

ටැමිල් යූනියන් පළමු ඉනිම – 184 (49.1): ඩෙවින් පත්මනාදන් 40, රොෂේන් ප්‍රනාන්දු 5/31.

මීගමුව පළමු ඉනිම – 371 (40): අශේන් සිල්වා 90, ඩිල්ශාන් මුණවීර 85, මාධව වර්ණපුර 84, මදුක ලියනපතිරණ 6/56.

ටැමිල් යූනියන් දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ)  – 45/1 (23)

මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 142ක් ඉදිරියෙන්


එස්. එස්. සී. සහ බදුරලිය

එස්. එස්. සී. පළමු ඉනිම – 583 (115.1): දසුන් ශානක 128, සඳුන් වීරක්කොඩි 101, චරිත් අසලංක 83, සම්මු අශාන් 75, අලංකාර අසංක 3/97, බුද්ධික සංජීව 3/144.

බදුරලිය පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 239/6 (63): දමිත් පෙරේරා 113, දුනිත් ජයතුංග 63, කලන පෙරේරා 2/35, ජෙෆ්රි වැන්ඩර්සේ 2/69.


මුවර්ස් සහ ලංකන්ස්

මුවර්ස් පළමු ඉනිම – 599/9d (122.4): සචිත්‍ර සේරසිංහ 151, නිපුන් කරුණානායක 142, රමේෂ් මෙන්ඩිස් 104, මොහොමඩ් ශමාස් 81, දුනිත් වෙල්ලාලගේ 4/143.

ලංකන්ස් පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 209/5 (55): මාලිංග අමරසිංහ 117, ප්‍රිමෝෂ් පෙරේරා 65, කවිෂ්ක අංජුල 2/38.

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න