ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වෙන උණුසුම් තරග 6ක දෙවැනි දිනය අද (07) නිමාවට පත්විය. ඒ අතුරින් හලාවත ක්‍රිකට් සමාජය වෙනුවෙන් මලින්ද පුෂ්පකුමාර දැක්වූ සුපිරි පන්දු යැවීම සහ කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලසිත් අබේරත්න දියත් කල සුපිරි පිතිකරණය දිනයේ සුවිශේෂී සිදුවීම් බවට පත්විය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය
හෙට දිනයේ ඉතාමත් උණුසුම් වියහැකි මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට අද හලාවත මේරියන්ස් ක්‍රීඩකයින් සමත් විය. ඒ ප්‍රබල සිංහල ක්‍රීඩා සමාජය පසුපසට ඇද දමමිනි. වැන්ඩර්සේගේ දඟ පන්දුව හමුවේ මෙල්ල වුනු මේරියන්ස් පිතිකරුවන්ට ඊයේ දිනයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 193ක් පමණක් වුවත් අද SSC ප්‍රථම ඉනිම ලකුණු 179කට සීමා කරමින් නැවතත් තරගයට පිවිසෙන්නට ඔවුන් සමත් විය.
ඒ වෙනුවෙන් වැඩි වැඩ කොටසක් ඉටුකල වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 52කට SSC පිතිකරුවන් සත් දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්කළේ තේරීම් කමිටුවේ ඇස් තමා වෙතට හරවා ගනිමිනි. මේ වනවිට හලාවත ක්‍රීඩකයින් SSC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 265ක් ඉදිරියෙන් පසුවන්නේ හෙට දිනය තවත් තරගකාරී වියහැකි බවට ඉඟි පළ කරමිනි.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1) අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, රෝහිත් දමෝදරන් 33.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 65.3) රමේෂ් මෙන්ඩිස් 53*, දසුන් ශානක 48, මලින්ද පුෂ්පකුමාර 7/52.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 251 (පන්දුවාර 59) සචිත්‍ර සේරසිංහ 73, ශෙහාන් ජයසූරිය 50, තික්ෂිල ද සිල්වා 60*, ජෙෆ්රි වැන්ඩර්සේ 2/72.
ගාලු ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය
කළුතර සරේ විලේජ් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුනු මෙම තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. ඊයේ සවස් කාලයේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූවත් අද උදෑසන සිට නව ජවයකින් ඉනිම ගොඩ නැගූ ඔවුන් මේ වනවිට කඩුලු 8කට රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 306කි. බදුරලිය මැදපෙළ ශක්තිමත් කළ අලංකාර අසංක, නදීර නාවෙල සහ සහන් විජේරත්න අද අර්ධ ශතක රැස් කළහ. ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් සියලු බර කරටගත් නායක සජීව වීරකෝන් කඩුලු 5ක් දවාලීය. මේ වනවිට බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 2ක් අතැතිව ගාලු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 88ක් ඉදිරියෙන් පසුවෙයි.
ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 78.2) නිලුශාන් නෝනිස් 62, දමිත හුණුකුඹුර 55, දිලේශ් ගුණරත්න 3/53
බදුරලිය ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 306 (පන්දුවාර 111) අලංකාර අසංක 85, නදීර නාවෙල 67, සහන් විජේරත්න 56, සජීව වීරකෝන් 5/96.
යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සත්කාරකත්වය උසුලන මෙම තරගයේ මේ වනවිට වැඩි වාසිය අත්කර ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත්ව සිටියි. ඔවුන් මේ වනවිට කඩුලු 7ක් අතැතිව කෝල්ට්ස් කණ්ඩායමට වඩා ලකුණු 414ක් ඉදිරියෙන් පසුවන්නේ හෙට දිනයේ ලබා ගත හැකි පූර්ණ තරග ජයග්‍රහණයක සුබ සිහින දකිමිනි.
යුධ හමුදා පිතිකරුවන් ප්‍රථම ඉනිම සඳහා රැස්කල ලකුණු 297ට පිලිතුරු වශයෙන් කෝල්ට්ස් පිළට අද රැස් කිරීමට හැකි වූයේ ලකුණු 112ක් පමණි. ඒ අනුව ලකුණු 185ක ඉදිරියක් සමගින් තම දෙවන ඉනිම ආරම්භ කල යුධ හමුදා පිළ මේ වනවිට කඩුලු 3කට ලකුණු 229ක් රැස් කරගෙන සිටියි. ආරම්භක පිතිකරු ලියෝ ෆ්‍රැන්සිස්කෝ අද හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය.
යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 72.4) දුශාන් විමුක්ති 54, සීක්කුගේ ප්‍රසන්න 58, හිමාෂ ලියනගේ 52, නිසල තාරක 3/39
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 112 (පන්දුවාර 35.3) විශාද් රන්දික 36, ඉශාන් ජයරත්න 33*, නුවන් ලියනපතිරණ 3/34, සීක්කුගේ ප්‍රසන්න 2/23, දුශාන් විමුක්ති 2/13, විරාජ් පුෂ්පකුමාර 2/13.
යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 229 (පන්දුවාර 66) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 100*, ඩිල්ශාන් ද සොයිසා 70*.
කොළඹ ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය
කොළඹ ක්‍රිකට් සමාජය ප්‍රථම ඉනිමට රැස්කල ලකුණු 560ට පිලිතුරු වශයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වනවිට කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 256කි. ඒ අනුව ඔවුන් නැවතත් පිතිකරණයේ යෙදීමේ අවදානමෙන් මිදෙන්නට නම් ප්‍රථම ඉනිම සඳහා තවත් ලකුණු 104ක් ලබාගත යුතුව ඇත. ඒ වෙනුවෙන් විශ්වාසය තැබිය හැකි පිතිකරුවෙකු ලෙස කඩුල්ලේ රැඳී සිටින්නේ ලකුණු 58ක් රැස් කරගෙන සිටින නිලංක සඳකැන් පමණි.
කොළඹ ක්‍රිකට් සමාජයේ ප්‍රථම ඉනිම සුපෝෂණය කළ දකුණත් කඩුලු රකින පිතිකරු ලසිත් අබේරත්න අද හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 156ක් රැස් කළේය. මීට අමතරව අශාන් ප්‍රියන්ජන් ද මෙවැනි දැවැන්ත ලකුණක් කරා CCC කණ්ඩායම ගෙනයාම සඳහා ශතකයකින් ආධාර විය.
කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 560 (පන්දුවාර 105.2) ලසිත් අබේරත්න 156*, අශාන් ප්‍රියන්ජන් 124, ලක්ෂාන් සඳකැන් 64, මාධව වර්ණපුර 50, වනිඳු හසරංග 47, තිලාන් තුෂාර 3/82.
මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 256 (පන්දුවාර 61) නිලංක සඳකැන් 58*, තිලාන් තුෂාර 46, තරිඳු මෙන්ඩිස් 41, ඩිල්ශාන් මුණවීර 3/26.
රාගම ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය
මෙම තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන BRC ක්‍රීඩකයින් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටියි. ඒ කඩුලු 3ක් අතැතිව ඔවුන් තවමත් සිටින්නේ රාගම ප්‍රථම ඉනිමට වඩා ලකුණු 56ක් පමණක් ඉදිරියෙන් පසුවීම නිසායි. ඒ අනුව ඔවුන්ට හෙට දිනයේදී පූර්ණ තරග පරාජයකින් ආරක්ෂා වීමට නම් සුපිරි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සිදුවනු ඇත.
රාගම ඉනිම තරග ජයක් සඳහා ප්‍රමාණවත් ලකුණක් කරා ගෙන යාමට දඟ කැවෙන තණතීරුවේ රොෂේන් සිල්වා ලබාගත් ලකුණු 91 දැඩි ලෙස උපකාරී විය. එසේම BRC කණ්ඩායම වෙනුවෙන් ටී. එම්. සම්පත් කඩුලු 5ක් බිඳ දමමින් දක්ෂතා දැක්වීය. මේ වනවිට BRC දෙවන ඉනිම දැක්වෙන්නේ ලකුණු 116ට කඩුලු 7ක් වශයෙනි.
BRC – සියල්ලන්ම දැවී ලකුණු 194 (පන්දුවාර 60.1) ලසිත් ලක්ෂාන් 46, භානුක රාජපක්ෂ 44, සහන් නානායක්කාර 3/28, අමිල අපොන්සු 4/33.
රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 84.3) රොෂේන් සිල්වා 91, ජනිත් ලියනගේ 44, ලහිරු තිරිමාන්න 26, ටී. එම්. සම්පත් 5/98, දිනුක හෙට්ටිආරච්චි 3/92.BRC (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 116 (පන්දුවාර 38) භානුක රාජපක්ෂ 45, රුමේෂ් බුද්ධික 39, අමිල අපොන්සු 2/25.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය
ප්‍රබල ක්‍රිකට් සමාජ දෙකක් එකිනෙකා හා ගැටෙන මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට අද ටැමිල් යූනියන් කණ්ඩායම සමත් විය. මේ වනවිට NCC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 127ක් ඉදිරියෙන් පසුවන ඔවුන් තවත් කඩුලු 3ක් අතැතිව ලකුණු 395ක් ලබා සිටියි. ටැමිල් යූනියන් කණ්ඩායමට ප්‍රථම ඉනිමේ ඉදිරියක් ලබාදීම සඳහා කැපවුනු ජීවන් මෙන්ඩිස් අද හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 123ක් රැස් කිරීමට සමත් විය. මීට අමතරව ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් අද ලකුණු 90ක් වාර්තා කළේය.
NCC – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 65) ඇන්ජෙලෝ පෙරේරා 59, නිරෝෂන් දික්වැල්ල 48, සඳුන් වීරක්කොඩි 44, පවන් වික්‍රමසිංහ 43, ලහිරු සමරකෝන් 2/39, රමිත් රඹුක්වැල්ල 2/67.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 395 (පන්දුවාර 108) ජීවන් මෙන්ඩිස් 123*, සිතාර ගිම්හාන් 90, තරංග පරණවිතාන 30, ෆර්වීස් මහරූෆ් 3/33.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට