ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි නීති මාලාවක්!

22
Slc enforce strict new guidelines for players

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයට නව මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට සහ ක්‍රීඩක විනය, වෘත්තීය භාවය රැක ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම නව මාර්ගෝපදේශ මගින් ක්‍රීඩක ඇඳුම් පැලඳුම්, ගමන් බිමන්, සමාජ මාධ්‍ය භාවිතය වැනි අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.

විනය සහ ඇඳුම් පැලඳුම්

ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට විවිධ අවස්ථා සඳහා නිශ්චිත ඇඳුම් පැලඳුම් භාවිත කිරීම අනිවාර්ය කර තිබෙනවා.

මේ අනුව කණ්ඩායම් ඡායාරූපයක් ගැනීමේ දී සපයා ඇති කමිස, කලිසම් සහ බ්ලේසරය පැලඳීම අනිවාර්ය වන අතර, තරගය කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම වැනි අවස්ථා වෙනුවෙන් ක්‍රීඩා ඇඳුම් පැලඳීම අනිවාර්ය වී තිබෙනවා. මෙම අවස්ථාවල ක්‍රීඩක වෘත්තිය භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කොට කලිසම්, සෙරෙප්පු පැලඳීම තහනම් කර තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම තරග සංචාරවල දී SLC විසින් සපයා දෙන බෑග් රැගෙන යා යුතු අතර, වෙනත් තුන්වන පාර්ශවයක් අනුග්‍රාහකත්වය ලබා දෙන නිෂ්පාදන හෝ ලාංඡන ඇති දෑ පැලඳීම තහනම් වනවා.

සමාජ මාධ්‍ය සහ මාධ්‍ය සාකච්ඡා

ක්‍රීඩාවට ඇති අවධානය රැක ගැනීම වෙනුවෙන් තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා භාවිතය, රාත්‍රි චිත්‍රපට නැරඹීම හා ඒ හා සමාන ක්‍රියාවන් වෙනුවෙන් සීමා පනවා ඇති අතර, SLC අවසරය රහිතව සමාජ මාධ්‍ය වෙත අදහස් ලබා දීම, සම්මුඛ සාකච්ඡා ලබා දීම ද තහනම් වනවා.

එමෙන්ම මාධ්‍ය සාකච්ඡා සඳහා ද කණ්ඩායම් කළමනාකරු විසින් නම් කරන ලද අය අදාළ ඇඳුම් පැලඳ සහභාගී වීම අනිවාර්ය කර තිබෙනවා.

ක්‍රීඩක කළමනාකරුවන්

ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට තරගාවලි අතරතුර සහ සංචාරවලට යන අතරතුර සිය කළමනාකරුවන් හමු වීමට අවසර හිමි වන්නේ නැහැ. එමෙන්ම කණ්ඩායම් රැස්වීම් සඳහා සහභාගී වීමට ද ඔවුන්ට අවකාශයක් හිමි වන්නේ නැහැ.

තරග සංචාර සහ නවාතැන්

තරග සංචාර ආරම්භ වීමට සති දෙකකට පෙර කණ්ඩායම් කළමනාකරු විසින් අදාළ ගමන් විස්තර ක්‍රීඩකයින්ට ලබා දීමට නියමිත අතර, ඔවුන් ඒවා කොන්දේසි විරහිතව පිළිගත යුතු වේ. එමෙන්ම තරග දින සහ පුහුණු කාල සීමා තුළ දුරකථන භාවිතය ද ඔවුන්ට තහනම් වේ.

දීමනා

විදෙස් සංචාර සඳහා ක්‍රීඩකයින්ට දිනකට ඇමරිකානු ඩොලර් 150ක දීමනාවක් සහ දේශීය තරගාවලි පැවැත්වෙන දින සඳහා දිනකට ඇමරිකානු ඩොලර් 100 පිරිනැමෙන අතර, ඒවා ඔවුන්ගේ ආහාර පාන වෙනුවෙන් ලබා දෙයි. එම මුදල් ඉතිරි කර ගැනීම වෙනුවෙන් හිතාමතා ම ආහාර ගැනීමෙන් වැළකීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම විදෙස් තරග සංචාරවල දී 80Kg බරක් රැගෙන යා හැකි අතර, කණ්ඩායම් කළමනාකරුගේ අනුමැතිය සහිතව තවත් 20Kg රැගෙන යා හැකි නමුත් , මේවා තරග සංචාරයට අදාළ භාණ්ඩ රැගෙන යාම සඳහා වලංගු වේ.

ගුවන් චාරිකා සහ කාලසටහන්

විශේෂ හේතුවක දී හැරුණු කොට කණ්ඩායම් සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය එක්ව ගමන් ගත යුතු වෙයි.

එමෙන්ම දෛනික පුහුණු කාලසටහන කණ්ඩායම් පුහුණුකරු, කළමනාකරු සහ නායකයා විසින් තීරණය කරන අතර, එම කාලසටහන පිළිපැදීම අනිවාර්ය වෙයි. ඒවාට අනුගත නොවීම නැවත ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට හේතු විය හැක.

එමෙන්ම දින 20 ඉක්මවන දීර්ඝ තරගාවලිවල දී සංචාරයේ අවසන් දින 12ක කාලය තුළ තම බිරිඳ සහ වයස අවුරුදු 5 වැඩි දරුවන් ගෙන්වා ගත හැකි නමුත්, ඒවාට අදාළ වියදම් සියල්ල ක්‍රීඩකයා විසින් දැරිය යුතුයි. එමෙන්ම ඒ හැර වෙනත් කිසිම සමීපතමයකු හෝ නෑදෑයන් ව සංචාරයට එක් කර ගැනීම තහනම් වේ.

එමෙන්ම මෙම මාර්ගෝපදේශ කඩ කිරීම මගින් ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට දඬුවම් හිමි විය හැකි අතර, එහි දී ඇමරිකානු ඩොලර් 10,000ක් දක්වා දඩ මෙන්ම, බරපතළ වරදක් කණ්ඩායමෙන් ඉවත් කිරීම, නැවත හරවා යැවීම වැනි තීරණවලට හේතු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවධාරණය කරනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු නැවුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<