ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ගිවිසුම්ගත විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඉකුත් මාර්තු 31 වැනිදා පස්වරුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේ දී සිදුකෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන මෙම කොන්ත්‍රාත් ලබා දීම කාණ්ඩ 3ක් යටතේ සිදුකෙරිණ. එහි දී ජාත්‍යන්තර තලයේ පසුවන විනිසුරුවන් සිව්දෙනෙකු, නැගී එන කණ්ඩායමේ විනිසුරුවන් හය දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් අට දෙනෙකු මේ සඳහා සුදුසුකම් සපුරා සිටියහ.
රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ජාත්‍යන්තර කාණ්ඩය යටතේ ද, කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි නැගී එන කාණ්ඩය යටතේ ද සහ රැන්මෝ මාටිනස්, ගාමිණී දිසානායක, ප්‍රදීප් උඩවත්ත, නිලාන් ද සිල්වා, කපිල කොට්ටහච්චි, සුසන්ත දිසානායක, විදුර ප්‍රසාද් සහ සිසිර පෙරේරා පළමු පෙළ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ගතව සිටින විනිසුරුවෝ වෙති.
තවත් ක්‍රිකට් පුවත්:
- ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය පිළිබඳව බලාපොරොත්තුවක්
- මිලින්ද ශතකයකින් දිනය සරසද්දී, උමේෂ්කගෙන් සුපිරි පන්දු යැවීමක්
- ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්
- 2021ට අලුත් වෙන ICC නීති
- සංචිතයක ක්‍රීඩකයන් ගණන වැඩි කිරීමට ICC අවසර දෙයි
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ (එලයිට්) සාමාජික සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු උපදේශක කුමාර් ධර්මසේන, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු ලේකම් වසන්ත ලාල් ප්‍රනාන්දු සහ එම කමිටුවේ සාමාජික ඩිල්රන් අබේසේකර යන මහත්වරු ද සහභාගි වූහ.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරු සංවර්ධන කළමනාකරු චානක තේනුවර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරුවන්ගේ පුහුණු කළමනාකරු ටී. එච්. විජේවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<