දේශාන් සහ ගිහාන් ධර්මරාජය ජයග්‍රහණය කරා රැගෙන යයි

1243
Singer U19 Schools Cricket October 22nd Roundup 1

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ තරග කිහිපයක්ම අද (22) දිනයේ ක්‍රියාත්මක වූ අතර ඉන් තරග බොහෝමයක් නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. ඒ අතරතුර මහනුවර ධර්මරාජ විද්‍යාලය ලබා ගත් මුල් ඉනිමේ ජයග්‍රහණය කාගේත් වැඩි අවධානයට පාත්‍ර විය.

පසුගිය ලිපි: ආනන්ද – මලියදේව සටන ජය පරාජයෙන් තොරයි

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

සාන්ත ඇන්තනි විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් හිමිකර ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි. ඔවුන් මුල් ඉනිමට ලකුණු 283ක් රැස් කල අතර ඊට දේශාන් ගුණසිංහගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 116 මහෝපකාරී විය. ධර්මරාජ ඉනිමට පිලිතුරු වශයෙන් සාන්ත ඇන්තනි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 253ක් පමණි. ධර්මරාජයට මුල් ඉනිමේ ජයක් ලබා ගැනීමට මාර්ගය විවර කල ගිහාන් විතාරණ කඩුලු 7ක් බිඳ හෙලන්නට සමත් විය.

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 283 (පන්දුවාර 70.2)

දේශාන් ගුණසිංහ 116, කසුන් ගුණවර්ධන 82, උදන්ත අමරකෝන් 27, කවීෂ දුලාංජන 6/87.

සාන්ත ඇන්තනි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 91.3)

කවිඳු මධූක 48, අරින්ද පසිඳු 40, අවිශ්ක තරිඳු 34, ගිහාන් විතාරණ 7/90.

ධර්මරාජ විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 71 (පන්දුවාර 22)

චතුරංග අළුදෙණිය 20*, ඩිලෝන් ප්‍රසන්න 3/15.


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

අද උදෑසන මෙම තරගය ආරම්භ කරන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල මහින්ද විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබා සිටි අතර අද ඔවුන් සිය ප්‍රථම ඉනිම ලකුණු 216ක් වනතෙක් රැගෙන යාමට සමත් විය. මහින්ද විද්‍යාලය වෙනුවෙන් රවිඳු හංසික ලකුණු 71ක් රැස් කරද්දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් හරීන් කුරේ සහ නිපුන් සුමනසිංහ කඩුලු 3 බැඟින් බිඳ හෙලන ලදී.

අද සවස් භාගයේදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 66ක් ලබා සිටියහ. ශ්‍රී ලංකා 19න් පහළ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් ඒ වනවිට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 36කි.

සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 255 (පන්දුවාර 82)

නිපුන් සුමනසිංහ 82, දිනෙත් ජයකොඩි  31, සචිත මහින්දසිංහ 33*, කවිඳු එදිරිවීර 3/67.

මහින්ද විද්‍යාලය සියල්ලන්ම දැවී 216 (පන්දුවාර 92)

රවිඳු හංසික 71, හරීන් කුරේ 3/45, නිපුන් සුමනසිංහ 3/14.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) එක් කඩුල්ලක් දැවී ලකුණු 66 (පන්දුවාර 14)

ජෙහාන් ඩැනියෙල් 36*.


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

අද දින ජය පරාජයෙන් තොරව නිමාවූ තවත් තරගයක් වන මෙම තරගය සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩී .එස්. සේනානායක පිතිකරුවන් ලකුණු 121ක් රැස් කල අතර ඊට ප්‍රබල පිලිතුරක් ලබා දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කිරීමට සමත් විය. පාසල් ක්‍රිකට් කරළියේ කලකට අමතක නොවන සුපිරි ඉනිමක් දියත් කල දකුණත් පිතිකරු තරූෂ ප්‍රනාන්දු පන්දු 174කට පමණක් මුහුණ දෙමින් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කළේය. රොෂේන් ප්‍රනාන්දු ද ලකුණු 85කින් සෙබස්තියන් ලකුණු පුවරුව ගොඩ නැංවීමට ආධාර විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 32.4)

මුදිත ලක්ෂාන් 38, විහාන් කුලතුංග 34, නිමේෂ් බණ්ඩාර 3/35, විශේන් සිල්වා 2/19, පසිත් පෙරේරා 2/30.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 399 (පන්දුවාර 96)

තරූෂ ප්‍රනාන්දු 200*, රොශේන් ප්‍රනාන්දු 85, මලින්ත පීරිස් 44, නුවනිඳු ප්‍රනාන්දු 22, මුදිත ලක්ෂාන් 4/84, පැතුම් දෙමාෂ 2/88.


සාන්ත සර්වේසස් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ පළමු කාණ්ඩයේ එකම තරගය වූ මෙය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් පිතිකරුවන් ලකුණු 89ක් පමණක් රැස්කල අතර සර්වේසස් ඉනිම අසරණ කල විමුක්ති කුලතුංග ලකුණු 19ට කඩුලු 5ක් බිඳ හෙලීය.

ප්‍රථම දිනය නිමාවන විට ලුම්බිණි විද්‍යාලය තරගයේ වැඩි වාසි අත්කර ගනිමින් ප්‍රථම ඉනිමට කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 135කි.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 54.5)

සඳරු නෙත්මිණ 22, විමුක්ති කුලතුංග 5/19, කණිෂ්ක මදුවන්ත 3/35.

ලුම්බිණි විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 135 (පන්දුවාර 40)

තනුක දාබරේ 39, රවීෂ සත්සර 34, ශෂික සන්දුල් 5/31.

Crawler