සහිරා තියුණු සටනකින් ජයග්‍රහණය කරයි

665

2019 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවන වටය මේ වන විට ආරම්භ වී ඇත. දෙවන වටයේ පළඟ ශූරතාවයේ තවත් තරගයක් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්විය. එහි දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 13-12ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොළඹ සහිරා විද්‍යාලය සමත් විය.

කිංග්ස්වුඩ් හමුවේ සේනානායකයින්ගේ බල බිඳෙයි

මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තරගයක්….

මෙවර පාසල් ලීග් තරගාවලියේ පළමු වටයේ දී දෙවන කාණ්ඩයේ තරග වැදුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය එම වටයේ දෙවන ස්ථානය ලබාගනිමින් පළඟ ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීය. පළඟ ශූරතාවයේ පසුගිය සතියේ පැවති තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ තරගය ධර්මරාජ විද්‍යාලය පරාජය වූයේ ලකුණු 24-21ක් ලෙසිනි.

කොළඹ සහිරා විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහි දී ඔවුන් මුහුණ දුන් තරග 5ම පරාජය වූ නිසා එම කාණ්ඩයේ ඔවුන්ට හිමි වූයේ අවසන් ස්ථානයයි. පසුගිය සතියේ දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 24-24ක් ලෙස නිමා කිරීමට සහිරා විද්‍යාලය සමත් විය.

තරගය ආරම්භ කිරීම සහිරා ක්‍රීඩකයන් විසින් සිදු කළ අතර ආරම්භයේ දී කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත විය. ධර්මරාජ ක්‍රීඩකයන් තරගයේ මුල් මිනිත්තු කීපය සහිරා අර්ධයේ ක්‍රීඩා කරමින් ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත විය. සහිරා ක්‍රීඩකයන් දක්ෂ ලෙස ධර්මරාජ අන්තය ආක්‍රමණය කළ අතර ගෝල සීමාව ආසන්නයේ ලබා ගත් line out අවස්ථාවක් සාර්ථක කර ගනිමින් සහිරා ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එම උත්සාහක දිනුම ඩිල්ශාන් මාන්නප්පෙරුම විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (සහිරා 05 – 00 ධර්මරාජ)

තරගයේ 14 වැනි මිනිත්තුව වන විට ධර්මරාජ ක්‍රීඩකයන් සහිරා ගෝල සීමාව ආසන්නයට පන්දුව රැගෙන ආ අතර උත්සාහක දිනුමක් ලබා ගැනීමට නොහැකි විය. 18 වැනි මිනිත්තුවේ දී ධර්මරාජ වෙත ලැබුණු දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගැනීමට ධර්මරාජ කණ්ඩායමේ සෞම්‍ය විජේසිරි ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ධර්මරාජ ක්‍රීඩකයන් 22 වැනි මිනිත්තුව වන විට සහිරා ගෝල සීමාව ආක්‍රමණය කර සිටි අතර ප්‍රබල සහිරා ක්‍රීඩකයන් පන්දුව තම අර්ධයේ සිට ධර්මරාජ මීටර් 22 සීමාව වෙත ගෙන ඒමට සමත් විය. එහි දී සහිරා කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනිමට සහිරා කණ්ඩායමේ මොහොමඩ් රවුෆ් සමත් විය. (සහිරා 08 – 00 ධර්මරාජ)

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිතයින්ගේ ඔටුනු ගලවයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සුපිරිම පෙරළිය සිදු කරමින්…..

30 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කරමින් සහිරා කණ්ඩායමෙන් පන්දුව උදුරා ගත් ධර්මරාජ ක්‍රීඩකයන් දක්ෂ ලෙස උත්සාහක දිනුමක් වාර්තා කළේ සහිරා ආරක්ෂකයින් අසරණ කරමිනි. එය ගෞරව් පන්නිල විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය අසාර්ථක වූයේ පන්දුව ගෝල් කණුවේ වැදී ඉවතට යාම නිසාවෙනි. (සහිරා 08 – 05 ධර්මරාජ)

සෞම්‍ය විජේසිරි විසින් දඬුවම් පහරක් මගින් ලකුණු 3ක් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේ අවාසනාවන්ත අයුරිනි. තරගයේ පළමු අර්ධය නිමාවන තුරුම ලකුණු ලබාගැනීමට කණ්ඩායම් දෙකම අසමත් විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 08 – 05 ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධයේ මුල් මිනිත්තු කීපයේ දී කණ්ඩායම් දෙකේම යම් යම් අඩුපාඩු නිසා දඬුවම් පහර කීපයක්ම ලබා දීමට විනිසුරුවන්ට සිදු විය.

ප්‍රබල ලෙස සහිරා අර්ධය ආක්‍රමණය කළ ධර්මරාජ කණ්ඩායමට ආසන්න උත්සාහක දිනුමක් මගහැරී ගියේ ගෝල සීමාවට මීටර් 10ක් ඉතිරිව තිබිය දී සහිරා කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් නිසාවෙනි.

අනතුරුදායක පහරක් නිසා ධර්මරාජ කණ්ඩායමේ චනිදු අබේරත්නට කහ කාඩ්පතක් නිකුත් කෙරිණි. ධර්මරාජ කණ්ඩායම මීළඟ මිනිත්තු කීපය ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කළ නමුත් ප්‍රබල ලෙස සහිරා ඉදිරි පෙළ අතරින් යමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ධර්මරාජ ක්‍රීඩක තේනුක වික්‍රමසිංහ සමත් විය. එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගත් සෞම්‍ය විජේසිරි ධර්මරාජ ලකුණු තත්වය ලකුණු 12ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (සහිරා 08 – 12 ධර්මරාජ)

සහිරා ක්‍රීඩක ඩිල්ශාන් මාන්නප්පෙරුමටතරගයේ 55 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන්ට සිදු වූයේ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙනි.

දෙවන අර්ධයේදී විද්‍යාර්ථයින් තරගය කණපිට පෙරළයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය ආරම්භ…

තරගයේ අවසන් මිනිත්තු කීපය ඉතාමත් උද්වේගකර වූ අතර සහිරා කණ්ඩායම ප්‍රබල අභියෝගයක් එල්ල කිරිමට සමත් විය. ධර්මරාජ අර්ධයේ පන්දුව තබා ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් විය. තරගයේ අවසන් මිනිත්තුවේ දී දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සහිරා කණ්ඩායමේ ඩිල්ශාන් මාන්නප්පෙරුම සමත් විය.

ඒ සමඟින් ලකුණු 13ක් තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සහිරා කණ්ඩායම සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සහිරා ක්‍රීඩකයන් අසමත් වූ අතර ඒ සමඟින් ලකුණු 13-12ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සහිරා කණ්ඩායම සමත් විය. (සහිරා 13 – 12 ධර්මරාජ)

ධර්මරාජ කණ්ඩායම ප්‍රබල ලෙස ක්‍රීඩා කළ ද ඔවුන්ගේ line out අවස්ථාවන් කීපයක්ම මගහැරී යාම නිසා සහිරා කණ්ඩායමට වැඩි වාසි හිමි විය. සහිරා කණ්ඩායම අවසන් මිනිත්තු කීපයේ දී පන්දුව තමන් සතුව තබා ගනිමින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කිරීමට සමත් විය.

ධර්මරාජ කණ්ඩායම මීළඟ තරගය සඳහා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟින් තරග වැදීමට නියමිතය.

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 13 – 12 ධර්මරාජ විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

සහිරා විද්‍යාලය: ඩිල්ශාන් මාන්නප්පෙරුම (2T), මොහොමඩ් රවුෆ් (1P, 1C)
ධර්මරාජ විද්‍යාලය: ගෞරව් පන්නිල (1T), තේනුක වික්‍රමසිංහ (1T), සෞම්‍ය විජේසිරි (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<