ලොව වේගවත්ම කාන්තාව ලෙස ඇමරිකාවේ Sha’Carri කිරුළු දරයි!

World Athletic Championship 2023

4521

හංගේරියාවේ බුඩාපේස්ට් හිදි ලොව වේගවත් ම කාන්තාව ලෙස කිරුළු දැරීමට ඇමරිකාවේ Sha’Carri Richardson විසින් අද (22) උදෑසන සමත් වුනා. 

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙමින් තවමත් 23 හැවිරිදි වියේ පසුවන Sha’Carri විසින් කාන්තා මීටර් 100 ඉසව්වේ තරගාවලි වාර්තාව ද අලුත් කරමින් අද අලුයම පැවැත්වුණු අවසන් මහා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුනේ තත්පර 10.65ක කාලයක් වාර්තා කර ගනිමිනුයි. 

මෙය ඇගේ පෞද්ගලික හොඳම ධාවන කාලය ලෙස ද වාර්තා වූ අතර මෙම තරගයේ දී ඇය විසින් මීට පෙර පස් වතාවක් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වී සිටි Shelly-Ann-Fraser-Pryce සහ මෙම ඉසව්වෙන් වසරේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වී සිටින Sherica Jackson යන ක්‍රීඩිකාවන් දෙදෙනාව ම පහසුවෙන් අබිබවා යෑමට සමත් වීමත් විශේෂත්වයක්. 

කෙසේ වෙතත් හිටපු ලෝක ශූරිය වන Shelly-Ann හට ඇති වුනු යම් ආබාධයක් නිසා මෙම වසරේ ඒ තරම් හොඳින් ධාවනයේ යෙදීමට හැකියාව ලැබුණේ නැහැ. අද පැවැත්වුණු තරගයෙන් ඇයට හිමි වුනේ තෙවැනි ස්ථානය වුනත් එහි දී ඇය විසින් මෙම තරග වාරය වෙනුවෙන් තම හොඳම කාලය (තත්පර 10.77) වාර්තා කිරීමට සමත් වුනා. 

2020 ඔලිම්පික් උළෙලේ ද ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ Sha’Carri හට ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට සීමිත කාලයක් ඉතිරිව තිබිය දී එල්ල වුනු මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ චෝදනාවක් නිසා එවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ඇයට අහිමි වුනා. එමෙන්ම ඇය පසු ගිය වසරේ පැවැත්වුණු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ නැහැ. 

මේ අතර මීටර් 100 ඉසව්වට තිබූ ජැමෙයිකානු ආධිපත්‍යට නැවතත් ඇමරිකාවෙන් දැවැන්ත අභියෝගයක් එල්ල වන බවට Sha’Carri ඉඟි සැපයීමටත් පෙර පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ ඇමරිකානු කෙටි දුර ධාවන ශූර Noah Lyles ඒ පිළිබඳ ඉඟි සැපයුවා. 

පසුගිය ඉරිදා (20) රාත්‍රියේ පැවැත්වුණු පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්පර 9.83කින් නිමා කරමින් ලොව වේගවත් ම ක්‍රීඩකයා ලෙස කිරුළු දැරීමට Lyles විසින් සමත් වුනා. එමෙන්ම මෙම තරගයෙන් දෙවන ස්ථානය හිමි කර ගැනීමට බොට්ස්වානා හි Letsile Tebogo විසින් සමත් වීමත් විශේෂත්වයක්.  

මීට අමතරව ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට අදාළ ව ඊයේ පැවැත්වුණු තරග වල දී පිරිමි තුන් පිම්ම ඉසව්ව ජයග්‍රහණය කිරීමට Burkina Faso හි Hugues Zango විසින් සමත් වූ අතර, පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ස්වීඩනයේ Daniel Stahl විසින් සමත් වුනා. 

මේ අතර පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම ඉසව්ව ඇමරිකාවට ම සින්න කර ගනිමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට Grant Holloway විසින් සමත් වුනේ වත්මන් ඔලිම්පික් ශූර ජැමෙයිකාවේ Hansle Parchment එහි දෙවන ස්ථානයට ඇද දමමිනුයි. 

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapar.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Olympics වෙබ් අඩවිය ඇසුරිනි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<