ශ්‍රී ලංකා Aquatic ක්‍රීඩා සංගමය පසුගියදා සංවිධානය කළ කිලෝ මීටර් 5, Annual Port City Open Water Swimming Championships 2025 හි කාන්තා විවෘත අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 19 හැවිරිදි වියේ පසුවෙන සෙහාරා අනුහංසි සමත් වුනා.
“කාලයක් තිස්සේ පුහුණුවිම් කරලා මේ වගේ තරගයකින් ජයග්‍රහණය ලැබෙද්දි තියෙන සතුට කියා නිම කරන්න බැහැ. තරගයට සහභාගී වෙන්න කලින් ම පළමු 5 දෙනා අතරට එන්න ඕන කියන බලාපොරොත්තුව දැඩි ව තිබුණා. තරගයට 30 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙලා තිබුණා. ඒ සියලු දෙනා අභිබවා ජයග්‍රහණය කරන්න මට හැකි වුණා. ඒ ගැන සතුටු වෙනවා.” සෙහාරා අනුහංසි ThePapare.com සමඟ පැවැසුවා.
අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි සෙහාරලට මුහුද කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. කරිජ්ජ පින්නේ නිතර දෙවේලේ එහේ මෙහේ යන සෙහාරලට මුහුද හරියට සෙල්ලම් බඩුවක් වගේ. එයාලගේ සෙල්ලම් පිට්ටනිය වුණේ වැල්ල. මුහුදේ නැගෙන රළ සමඟ පිහිනන්න ගත්නෙ සෙල්ලමට. ඒකට සෙහාරලගෙ තාත්තගෙත් තිබුණෙ පුදුම කැමැත්තක්.
“තාත්තට මුහුදත්, පිහිනුම් ක්‍රීඩාවත් එක්ක තියෙන්නේ පුදුම බැදීමක්. තාත්ත හිටපු පිහිනුම් ක්‍රීඩකයෙක්. ඒත් තාත්තට දිගට ම පිහිනුම් ක්‍රීඩාවේ රැදී ඉන්න ලැබිල නැහැ. ඒ නිසා තාත්තට පිහිනුම් ක්‍රීඩාවෙන් සමහර බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න ලැබෙන්නේ නැහැ. ඒ ඉෂ්ඨ කර ගන්න බැරි වුණ බලාපොරොත්තු නිසා, තාත්තගේ එක ම ආසාව වෙන්න ඇත්තේ තමන්ගෙ දරුවෙක් පිහිනුම් ක්‍රීඩාවට යොමු කරන එක. හැබැයි ඒක තාත්තා කවදාවත් අපිට කියල නැහැ. ඒත් මට එහෙම හිතෙනවා. මොකද මම මොන තරගය ජයග්‍රහණය කළත් තාත්ත ඒ සතුට ලොකුවට පෙන්නන්නෙ නැහැ. නිහඬ ව ඒක විඳ ගන්නවා. තාත්ත තමයි මගේ ජීවිතේ අංක එක.”
සෙහාරගෙ තාත්තා ඩී. කර්නල් ද සිල්වා, විශාමික යුද හමුදා නිලධාරියෙක්. වර්ථමානයේ සංචාරක ක්ෂේත්රයේ සේවයේ නියුතු වෙනවා. අම්මා කේ. ඩී. සී. ප්‍රියදර්ශනී, ගෘහනියක්. ඔවුන්ගේ කුටුම්භයේ ගෑණු දරුවන් ම සිව් දෙනෙක්. වැඩිමලා සෙහාරා. ඊට පස්සෙ හෂාරා බුද්ධිනී, නෙතුල් යොහාරා සහ මිහිදි හිමාරා. ඒ අතර සිටි රුසිරු වත්සනා පසුගිය වසරේ දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙසින් මෙලොව හැර යනවා.
තවමත් 19 වැනි වියේ පසුවෙන සෙහාරා යංතම් බහ තෝරද්දි හුරු වූ මුහුදු රළ හා හරියට ම ඔට්ටු වෙන්න ගන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට පිවිසීමත් සමඟයි. ඒ එවකට විද්‍යාලයීය පුහුණුකරු නැසීගිය මහේන්ද්‍ර ගුණරත්න මහතා ගේ මඟ පෙන්වීම යටතේ.
“ඒ වෙද්දි මම 1 වසරට ඇතුලත් වුනා විතරයි.” සෙහාරා පසනවා.
එතැන් සිට ජයග්‍රහණයක් ඇතත් නැතත් සෙහාරා පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා. තාත්ත රටේ කුමන දීපංකරේක හිටියත් ඇය තරගවලට සහභාගී කරවන්න හැල්මේ දුවං එනවා. ඒක හරියට එයාගෙ යුතුකමක් කියල හිතනවා වගේ.
සෙහාරා මේ විදිහට පිහිනුම් ක්‍රීඩාවට යොමු වුණත් අනෙක් සහෝදරියන් කිසිවෙක්වත් මේ ක්‍රීඩාවට යොමු වෙන්නේ නැහැ. සෙහාර ගෙ පියා කර්නල් ද සිල්වා ද ඔවුන් කිසිවෙක් ඒ සඳහා යොමු විය යුතුයි කියන විධානය දෙන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ද අවශ්‍යතා පිරිමහ ගනිමින් සෙහාරා ගේ අධ්‍යාපන කටයුතු මෙන් ම ක්‍රීඩා කටයුතුවලටත් අවශ්‍ය සෑම අවශ්‍යතාවක් ම සපුරාලීමට ඔහු සමත් වෙනවා.
“මහේන්ද්‍ර සර්ගෙන් පස්සෙ ජයන්ත ජයවර්ධන සර් යටතේත් මම පුහුණුවීම් ලබනවා. දැන් මගේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ රොෂාන් පීරිස් සර්. තාත්ත කවදාවත් මට කිසි ම අඩුවක් කරල නැහැ. අවශ්‍ය සෑම දෙයක් ම අරගෙන දෙනවා. තරගවලට සහභාගී කරවනවා. එක්කගෙන යනවා. මට ඒක විශාල ශක්තියක්. ඒ වගේ ම තමයි රොෂාන් සර්. සර් නිතර ම අපි පිටුපස්සෙන් සිටිමින් උනන්දු කරවනවා. අඩු-පාඩු කියා දෙනවා. තරගයක දී පසු බෑමක් සිදු වුණොත් ඒ ගැන වටහා දීල නැවත පෙර තත්ත්වයට පත් කරනවා. ඒ අය තමයි මගේ ජයග්‍රහණයේ ප්‍රධාන හවුල්කරුවන්.” සෙහාරා පවසනවා.
සෙහාරා මුලින් ම මුහුදු පිහුනුම් තරගයක් සඳහා එක් වෙන්නේ 2018 වසරේ දී. ඒ ධර්මාශෝක විද්‍යාලය සංවිධානය කළ අම්බලන්ගොඩ සැතපුම් 2 විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය.
“මම ඒ තරගාවලියට එක් වෙන්නේ ජයග්‍රහණයකට වඩා තරගයකට සහභාගී වෙන්න තිබුණ ආසාවට. ඒක තාත්තගෙ ලොකු බලාපොරොත්තුවක්. මම පිහිනුම් තරගයකට සහභාගී වෙනව බලන්න තාත්තා ලොකු කැමැත්තකින් හිටියේ. මම ඒක කළා. එම තරගය මම අවසන් කළේ 18 වැනියා වෙමින්.”
එම තරගයෙන් අනතුරු ව ඊට පසු වසරේ දී ගල්කිස්සේ පැවැති විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ බාලිකා ඉසව්වේ 3 වැනියා වෙමින් තරගය නිමා කිරීමට සෙහාරා සමත් වෙනවා. ඒ තමයි ශෙහාරා පළමු ස්ථාන ත්‍රිත්වය අතරට පැමිණි පළමු තරගය.
“ඒ ජයග්‍රහණයත් සමඟින් තව තවත් තරගවලට සහභාගී වෙන්න විශාල ආසාවක් ඇති වුණා. ගෙදරිනුත්, ඒ වගේ ම රොෂාන් සර් ද ඒ සඳහා තව තවත් උනන්දු කළා. මමත් ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කරමින් පුහුණුවීම් කටයුතුවල නිරත වුනා. ඒ අනුව අම්බලන්ගොඩ විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේ 2023, 2024 සහ 2025 වසර ත්‍රිත්වයේ ම ජයග්‍රාහිකාව බවට පත් වෙන්න මට හැකි වෙනවා.”
එම ජයග්‍රහණවලට අමතර ව සෙහාරා 2022 සහ 2023 වසර ද්විත්වයේ පැවැති ත්‍රීකුණාමලය කිලෝ මීටර් 5 මුහුදු පිහිනුම් තරගාවලියේ 2 වැනි ස්ථාන ද සහ එම තරගාවලියේ ම 2024 සහ 2025 වසරවල ජයග්‍රාහිකාව බවටත් මෙන් ම මේ වසරේ පෝට් සිටි කිලෝ මීටර් 5 තරගාවලියේ ද ජයග්‍රාහිකාව වීමට හැකි වෙනවා.
- සාරා ක්‍රිස්ටින් ත්‍රිත්ව ශූරතා දිනද්දී, පිරිමි ශුරතාව රන්තුෂ්ක ගුණතිලකට
- ආසියාව ජය ගත් “උඩුදුම්බර තරුව”
- දකුණු පළාත් මේස පන්දු ක්‍රීඩකයෝ වර්ණ ලබයි
- දැල්පන්දුවේත්, පැසිපන්දුවේත් රැජින “මල්මි”
- කුසලාන මිතුරාට දුන් ස්නූකර් ශූරයා
ඒ අනුව සෙහාරාගේ පිහිනුම් ජීවිතයේ මේ දක්වා වැඩි දක්ෂතා රැදී තිබෙන්නේ මුහුදු පිහිනුම් ඉසව්වලයි.
“ගොඩාක් වෙලාවට පුහුණුවීම් කටයුතු කරන්නේ ෆූල් එකේ. මුහුදෙ පුහුණුවීම් කරන්නේ ඒ වගේ මීට් එකක් ළං වෙද්දී තමයි. මුල දි නම් ටිකක් බය වුණා. එච්චර දුරක් පීනගන්න පුළුවන් වෙයි ද කියලා. ඒත් ඉතිං සර් අපේ බය ඇරලා ඒ ගමන් මාර්ගය හුරු කළා. පුරුදු කළාට පස්සේ ඉතිං ගාණක් නැහැ. දැන් පුරුද්දට කරගෙන යනවා.” සෙහාරා පවසනවා.
කෙසේ වෙතත් මුහුදෙ පුහුණුවීම් අවදානමත් එක්ක කරන දෙයක් කියලයි සෙහාරා කියන්නේ. අනතුරු සිදු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙන බවත් ඒ නිසා නිරන්තර අවධානයෙන් යුක්තව පුහුණුවීම් කටයුතු මෙන් ම තරගවල දී කටයුතු කළ යුතු බවත් ඇය පවසනවා.
“මුහුදු රළ මොන මොහොතක වෙනස් වෙයිද කියල අපි දන්නේ නැහැ. ඒ වගේ ම ගල් පර වගේ දේවල්වල ගැටීම නිසා අනතුරු වීමේ අවදානමත් වැඩියි. එක අවස්ථාවක මම පුහුණුවීම් කරද්දී මුහුදු රැල්ලකට අහුවෙලා ගල් දෙබොක්කාවක හිරවුණා. නැවත මම ගොඩ එන්නෙ ඊට පස්සෙ ආපු මුහුදු රළ නිසා. මුහුදෙ එහෙම එක පාරට ම මතු වෙන රැළි නිසා අපේ පාලනය නැති වෙනවා. ඒ ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕන.” සෙහාරා පවසනවා.
මුහුදු පිහිනුම් තරගවලට අමතර ව සෙහාරා පිහිනුම් තටාක තරගවල සහභාගී වෙමින් ලත් ජයග්‍රහණ ද රාශියක් තිබනෙවා. ඒ අතර ජාතික පාසල් තරගාවලියේ පිහිනුම් තරගවල දී 2021 වසර මීටර් 800 නිදහස් ආර 3 වැනි ස්ථානය, 2023 වසර මීටර් 200 සහ 400 නිදහස් ආර 2 වැනි ස්ථාන, 2024 වසර මීටර් 200, 400 නිහදස් ආර 2 වැනි ස්ථාන සහ මීටර් 800 නිදහස් ආර 3 වැනි ස්ථාන ද මෙන් ම ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ 2023 වසර මිටර් 200 නිදහස් ආර 2 වැනි ස්ථානය මෙන් ම මීටර් 400 පළමු ස්ථානය, 2024 වසර මීටර් 200 සහ 400 නිදහස් ආර 2 වැනි ස්ථාන සහ මීටර් 800 නිදහස් ආර 3 වැනි ස්ථාන ද දිනා තිබෙනවා.
“සෙහාරා කියන්නේ දැනට ලංකාවේ සිටින විවෘත ඉසව්වේ දක්ෂත ම පිහිනුම් ක්‍රීඩිකාව කියල අවිවාදයෙන් යුතුව පැවැසිය හැකියි. ඇය මීට වසර 7-8කට කලින් තමයි මම ළඟට ආවේ. මේ කාලය තුළ ඇය පිහිනුම් ක්‍රීඩාවෙන් විශාල පරිවර්ථනයකට ලක් වෙමින් සිටිනවා. දරා ගැනීම, කියා දෙන දේ ධාරණය කර ගැනීම සහ ඒ අනුව කටයුතු කිරිම මේ වෙනසට හේතුවයි.” සෙහාරා ගේ වර්ථමාන පුහුණුකරු රොෂාන් පීරිස් මහතා ThePapare.com සමඟ පැවැසුවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පිහිනුම් පුහුණුකරු ලෙසින් 2011 වසරේ සිට 2023 දක්වා කටයුතු කළ රොෂාන් පීරිස් මහතා මේ වෙද්දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රධාන පිහිනුම් පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා.
ශෙහාරා පුහුණුකරු රොෂාන් පිරිස් මහතා සමඟ
“සෙහාරට ලොකු උවමනාවක් උනන්දුවක් තියෙනවා මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. ඒ වෙනුවෙන් විශාල ලෙස කැප වෙනවා. නියමිත කාලසටහනට අනුව පුහුණුවීම් කටයුතු කරන්න ඇය කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේ ම අධ්‍යාපන කටයුතු වුණත් ඇය ඉතා හොඳින් කරගෙන යනවා. අනෙක් අයටත් උදව් කරගෙන ඉතා නිහතමානි ගමනක් යන්නයි ඇගේ උත්සාහය. ඒ වගේ ම තමයි සෙහාරා තමන්ගේ පාසලට දක්වන්නේ පුදුම ගෞරවයක්. ඇයට සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉහළ පහසුකම් සහිත ව පිහිනුම් ක්‍රීඩාව කරගෙන යන්න වෙනත් පාසලකට යන්න ඕන තරම් අවස්ථාව ලැබුණා. නමුත් ඇය ඒ වෙලාවේ ඊට කොහෙත්ම කැමැති වුණේ නැහැ. එහෙම ළමයෙක් මගේ පුහුණුකාර ජීවිතයේ හමුවුණා නම් ඒ සෙහාරා පමණයි.” රොෂාන් පීරිස් මහතා වැඩි දුරටත් පැවැසුවා.
සෙහාරා ගේ ගමනාන්තය ජාත්‍යන්තර තරග ජයග්‍රහණ කරා රැගෙන යා හැකි බවක් ද රොෂාන් පීරිස් මහතා පවසනවා.
“මට විශ්වාසයක් පවතිනවා මේ දක්ෂතාත් සමඟින් සෙහාරා මේ වසරේ ජාතික පිහිනුම් සංචිතයට ඇතුලත් වීමේ පරිසාදන මට්ටමේ ඉන්නවා කියලා. ඇය ඉතා දක්ෂ ක්‍රීඩිකාවක්. ජාතික මට්ටමෙන් රැක ගත යුතු ක්‍රීඩිකාවක්. ඇයට මේ ක්‍රීඩාව තව තවත් ප්‍රගුණ කරන්න ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබා දෙන්න හැකි නම්, ඒක ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාවේ අනාගතයට කරන ලොකු ආයෝජනයක්.“
එලෙසින් සෙහාරා ගේ පුහුණුකරු සෙහාරා ගැන බලාපොරොත්තු තබා සිටිය දී සෙහාරා ගේ බලාපොරොත්තුව තරගයෙන් තරගයට ඉදිරියට යෑමයි. ඒ අතර තිබෙන ආසන්ත ම බලාපොරොත්තුව වන්නේ ඉතා නුදුරේ දී පැවැත්වෙන ගල්කිස්ස සැතපුම් 2 මුහුදු පිහුණුම් තරගාවලියයි.
“තරගයෙන් තරගය වෙනස් ම ආකාරයේ අත්දැකීම් ලැබෙන්නේ. ඒ නිසා මමත් ඒ අනුව අනුගත වෙනවා. රොෂාන් සර් ඒ සෑම දෙයක් ම සැලසුම් කරනවා. අපි ඒ අනුව පුහුණුවීම් කරනවා. ගල්කිස්ස තරගාවලියේ දී මට වඩාත් වෙනස් දෙයක් කරන්න පුළුවන් වෙයි.” සෙහාරා පවසනවා.
ඒ යන ගමනේ දී ගෙදර අය සේ ම පවුලේ ඥාතීන් ද සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දක්වනු ලබන දායකත්වය ගැන ද ඇය ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
“පිහිනුම් ක්‍රීඩාවෙන් තව තවත් ඉදිරියට යෑම තමයි මගේ එක ම බලාපොරොත්තුව. තාත්තත්, අම්මත් මේ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. සමහර අවස්ථාවල දී මගේ දේවල් වෙනුවෙන් නංගිලාගේ අවශ්‍යතා පවා කැප කරනවා. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරමින් පිහිනුම් ක්‍රීඩාවෙන් තව තවත් ඉදිරියට යෑම තමයි මගේ එක ම බලාපොරොත්තුව.” සෙහාරා අනුහංසි ThePapare.com සමඟ පැවැසුවා.
පිහිනුම් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමට පෙරුම් පුරන අම්බලන්ගොඩ දිය කිඳුරිය සෙහාරා අනුහංසි වෙත ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<