තවත් අලුත් ක්‍රිකට් ලීගයක්?

82

ක්‍රිකට් ලොව උඩු යටිකුරු කරවන අන්දමේ නවතම ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියාව සහ සෞදි අරාබිය පෙරමුණ ගෙන සිටින බව The Sydney Morning Herald වෙබ් අඩවිය අණාවරණය කරනවා. 

ක්‍රිකට් ලොව Grand Slam තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය විස්සයි විස්ස තරග රටාවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කණ්ඩායම් 08ක් විසින් වසරේ විවිධ කාල රාමු හතරක ලොව තෝරා ගත් ස්ථාන හතරක දී* ක්‍රියාත්මක වනු ඇති. 

*. ටෙනිස් ක්‍රීඩාවේ Grand Slam තරග ආකෘතිය අනුගමනය කරමින්. 

සෞදි අරාබි ආයතනයක් වන SRJ Sports Investments වෙතින් මූල්‍ය දායකත්වය ලබමින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය පිළිබඳ මූලික අදහස හිටපු ඕස්ට්‍රේලියානු NSW සහ Victoria ප්‍රාන්ත ක්‍රීඩකයකු මෙන්ම Cricket Australia සහ Cricket NSW සාමාජිකයකු වන Neil Maxwellගේ බවයි වාර්තා වන්නේ. 

තවමත් සාකච්ඡා මට්ටමේ පසුවන හෙයින් මෙහි සම්පූර්ණ ආයෝජකයින් පිළිබඳ හෙළිදරව් සිදු කර නොමැති නමුත්, සෞදි අරාබිය ප්‍රධාන ආයෝජකයා ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 500ක පමණ මුදලක් මේ වෙනුවෙන් යෙදවීමට සූදානම් බවයි ආරංචි මාර්ග විසින් සඳහන් කරන්නේ. 

මේ වන විට ලොව විවිධ ක්‍රීඩා ඉසව් සඳහා (LIV Golf,  Formula 1 race, පාපන්දු වැනි ක්‍රීඩා ඉසව්) සිය මූල්‍ය දායකත්වය ලබා දෙමින්, ක්‍රීඩාව තුළ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමේ පුරෝගාමියකු බවට පත් වී ඇති සෞදි අරාබිය සිය මීළඟ ප්‍රධාන ඉලක්කය ලෙස ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමු වී ඇති බව වටහා ගත හැකි. 

මෙම නව තරගාවලිය වාර්ෂික ක්‍රිකට් කැලැන්ඩරයේ හිස් කාල වකවානු හරහා ඇදී යනු ඇති අතර, එමගින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට මෙන්ම, ප්‍රධාන පෙළේ ක්‍රිකට් ලීග් තරගාවලිවලට ද බලපෑමක් ඇති නොකරනු ඇති බවට තහවුරු කර තිබෙනවා. 

තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායම් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් මෙන්ම, තවත් නව කණ්ඩායම් (විවිධ ප්‍රධාන පෙළේ ක්‍රිකට් Franchise තරග සඳහා සම්බන්ධ වී ඇති සහ සම්බන්ධ වීමට අපේක්ෂා කරන) වලින් සමන්විත වනු ඇති අතර, කාන්තා සහ පිරිමි අංශ දෙක යටතේ ම තරග ක්‍රියාත්මක වනු ඇති. 

එමෙන්ම තරගාවලියේ අවසන් තරග බොහෝ විට සෞදි අරාබියේ දී පැවැත්වීමට කටයුතු සිදු කෙරෙනු ඇති. 

කෙසේ වෙතත් මේ සඳහා ICCය ද ඇතුළුව ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල එකඟතාව පළ විය යුතු අතර, ඒ සඳහා නව ICC ලේකම් Jay Shahගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමි වනු ඇති බවයි මෙම තරගාවලිය සැලසුම් කරන පාර්ශවයන් අනුමාන කරන්නේ. 

එමෙන්ම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට IPL තරගාවලිය හැරුණු කොට වෙනත් ලීග ක්‍රීඩා කිරීමට නොහැකි නීතියේ යම් වෙනසක් සිදු කිරීම ද මෙහි දී අත්‍යාවශ්‍ය ම කාරණයක් බවට පත් වනු ඇති. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

The Sydney Morning Herald වෙබ් අඩවිය ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<