ශූරයින්ගේ මාරයා 2020 කුසලානයට සූදානම්!

225

පාසල් රග්බි පිටියේ ප්‍රබල කණ්ඩායම් සියල්ලම දැඩි ලෙස බිය වන පෙරළිකාර කණ්ඩායමක් වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවරත් ඩයලොග් පාසල් රග්බි පිටිය කළඹන්නට සූදානමින් සිටිනවා. ඔවුන්ගේ දිනයේ දී ප්‍රබලයින් සියල්ල විද්‍යා රග්බි බලය ඉදිරියේ දණ ගසන්නේ රග්බි පිටියේ පුවත් මවමිනුයි.

ඉසිපතනය විද්‍යා පරීක්ෂණය සමත් වෙයි!

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය …..

අතීතයෙන් බිඳක්

රග්බි පිටිය හොල්ලමින් විද්‍යා විද්‍යාලය A කාණ්ඩයට පා තැබුවේ 2011 වසරේ දීයි. රග්බි පිටියට නව වර්ණයක් ගෙනා ඔවුන්, වේගවත් ක්‍රීඩා රටාවෙන් හා අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාසයෙන් පාසල් රග්බි පිටිය මවිත කළා.

නොසිතූ නිමේෂයන් හි ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම නොසිතූ පරාජයන් අත්කර දෙමින් ඔවුන් පාසල් රග්බි පිටියේ සිය නම රන් අකුරින් සටහන් කළා. ගෙවුණු වසර නවය තුළ විද්‍යා විද්‍යාලය පාසල් රග්බි පිටියේ සියලු කණ්ඩායමක්ම පාහේ පරාජය කරන්නට සමත් වුනේ ජාතික රග්බි පිටියට සුපිරි රග්බි ක්‍රීඩකයින් රැසක්ම දායාද කරමින්.

 ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු නායක රිචඩ් ධර්මපාල, ඔහුගේ සොයුරු රිචී ධර්මපාල, ලසිඳු ඉශාන් කරුණාතිලක, ප්‍රින්ස් චාමර වැනි ක්‍රීඩකයින් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට ද ක්‍රීඩා කළ අතර රිචඩ් ධර්මපාල ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ විද්‍යා විද්‍යාලයට ආඩම්බරයක් වෙමින්.

ලසිඳු ඉශාන් කරුණාතිලක නායකත්වය දැරූ 2015 වසර විද්‍යා විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය කාලපරිච්චේදයයි. ඒ එවකට රග්බි දැවැන්තයින් එකා පිට එකා බිම හෙළමින් ගල්කිස්සේ විද්‍යා රග්බි හමුදාව ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය ජය ගැනීමට සමත් වීම නිසයි. 

ජනාධිපති කුසලානයේ සාර්ථකම කණ්ඩායම වන කොළඹ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායම අවසාන තරගයේ දී ලකුණු 21-18ක් ලෙස විද්‍යා බලය හමුවේ පරාජය වුනා.

පසුගිය තරග වාරය

ගෙවුණු තරග වාරය සිතූ තරම් සාර්ථක නොවුණු නමුත් කුසලාන ශූරතාවයේ තරග කරන්නට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට වරම් හිමි වුනා. සශින් මුණසිංහගේ නායකත්වය යටතේ තරග වැදුණු ඔවුන් කුසලාන ශූරතාවයේ අවසන් ස්ථානයට පත් වුනත්, ඔවුන් එහි දී පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුනා. 

ඔවුන් වෙස්ලි විද්‍යාලය හමුවේ පෙරළිකාර ජයක් වාර්තා කරන්නට සමත් වුනේ සියලු දෙනාම මවිත කරමිනුයි. නායක සශින් සමඟ තරුෂ ධනංජය ද ගෙවුණු තරග වාරයේ දී සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනේ සිය කණ්ඩායම කුසලාන ශූරතාවයේ රඳවා ගනිමින්.

මෙවර තරගාවලියට සූදානම

සිව්වැනි වසර සඳහා විද්‍යා පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කරන දෙනුවන් ලක්රඳ මෙවර කණ්ඩායමේ නායකත්වය භාරගෙන කටයුතු කරනවා. වේගවත් ධාවකයෙක් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ද වන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්. 

ආරක්ෂක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳ කාර්ය භාර්යයක් පසුගිය තරග වාරයේ ඉටු කළ දෙනුවන් ප්‍රතිවාදීන්ගෙන් පන්දුව උදුරා ගැනීමටත් ඉතා දක්ෂයි. පසුපෙළ ක්‍රීඩකයෙක් මෙන් වේගයෙන් ධාවනයේ ද යෙදෙන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරක අවිය ද වෙනවා. 2015 වසරේ සුන්දර මතකයන් යලිත් කණ්ඩායමට ගෙන ඒම ඔහුගේ ප්‍රධානතම වගකීමයි.

වේගවත් විද්‍යා පසුපෙළ පාලනය කරමින් ඉදිරිපෙළ හා පසුපෙළ සබඳතාව ගොඩ නැගීමේ වගකීම භාරව කටයුතු කරන රසංග දිනුශාන් මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්. ස්ක්‍රම් හාෆ් ස්ථානයේ ක්‍රීඩා කරන ඔහුට මෙවර වගකීම් රැසක් පැවරී තිබෙනවා. 

පසුගිය වසරේ පසුපෙළ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රැසක්ම මේ වසරේ ද කණ්ඩායමේ ක්‍රීඩා කිරීම නිසා ඔහුගේ කාර්යභාරය බොහෝ පහසු වී තිබෙනවා. 

වේගවත් ක්‍රීඩකයින් බිහි කිරීමට නම් දරා සිටින විද්‍යා විද්‍යාලයේ සිටින තවත් වේගවත් තරුවක් ලෙස ඔහු හැඳින්විය හැකියි. ඉදිරිපෙළින් පන්දුව ලබාගෙන සිය පසු පෙළේ දිශානතිය වෙනස් කිරීමට තියුණු නුවණක් ඇති ඔහු මෙවර තරග වාරයේ දී කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

නැවුම් අත්දැකීම් සමඟින් ශූරතාවයට විද්‍යාර්ථය සූදානම්

තියුණු සටහනකින් පසුව A කාණ්ඩයේ දොරගුළු …

දැවැන්ත සෙන්ටර් ක්‍රීඩකයෙකු වන ආකාශ් මදුසංක විද්‍යා කණ්ඩායමේ තවත් වැදගත් තරුවක්. ප්‍රතිවාදීන් සුනුවිසුනු කරමින් ඉදිරියට ධාවනයේ යෙදෙන්නට දක්ෂ ඔහු ආක්‍රමණයේ දී මෙන්ම ආරක්ෂක ක්‍රීඩා විලසයේ දී ද ප්‍රතිවාදී ක්‍රීඩකයින් මෙල්ල කරන්නට ඉදිරියෙන්ම නැගී සිටිනවා. 

පන්දුවට පා පහර දෙන්නට ද දක්ෂතා පෙන්වන ඔහු මෙවර තරග වාරයේ විද්‍යා කණ්ඩායමේ තවත් තුරුම්පුවක්. ගෙවුණු තරග වාරයේ දී උත්සාහක දිනුම් හතරක් වාර්තා කර ගනිමින් Wing ස්ථානයේ ප්‍රබල දස්කම් දැක්වූ තරුෂ ධනංජය මෙවරත් කණ්ඩායමේ ප්‍රධානතම ධාවකයෙක් ලෙස කටයුතු කරනවා. 

පන්දුව රැගෙන පවනට බඳු වේගයෙන් දිව යන ක්‍රීඩකයෙකු වන ඔහු විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායමට සේවය ලබා දෙන තෙවැනි වසරයි  මේ.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන බිලාල් යුසුෆ් මහතා විද්‍යා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔහුගේ අත්දැකීම් හා විද්‍යා ක්‍රීඩකයින්ගේ වේගය එකට එක්වුණු විට විද්‍යා කණ්ඩායම මෙවර භයානක කණ්ඩායමක් බවට පත් වනු ඇත. 

තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වන හෙන්රි ටෙරන්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

විද්‍යා විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම මෙසේයි.

  • මාර්තු 7, 2020 – ඉසිපතන විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
  • මාර්තු 15, 2020 – ධර්මරාජ විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 21, 2020 – විද්‍යා විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 28, 2020 – වෙස්ලි විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 4, 2020 – විද්‍යා විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය – විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<