මුහුද අසබඩ රග්බි බලකාය 2020 කුසලානයට අවි සූදානම් කරයි

113

පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 2020 වසරේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා ඉතා හොඳ සූදානමකින් සිටිනවා. කුසලානයක පහස සමඟින් 2020 නිමා කරන්නට ඔවුන්ට හැකි වෙයි ද?

2020 ශූරතාවයට බම්බලපිටියේ සාන්තුවරුන්ගේ සූදානම

2018, 2019 වසර දිවිත්වයම පාසල් ඉතිහාසයේ රන් ….

අතීතයෙන් බිඳක්

80’ හා 90’ දශකවල පාසල් රග්බි පිටියේ බලය පැතිරූ සාන්ත තෝමස් විද්‍යාලය පාසල් රග්බි පිටියට පිවිසෙන්නේ 1955 වසරේ දීයි. 1976 වසරේ දී ඔවුන් සිය පළමු ලීග් කුසලාන ජය වාර්තා කරන්නේ එවකට ප්‍රබල පාසල් රැසකටම දරුණු පරාජයන් අත්කර දෙමින්. 

අනතුරුව 1981 දී සාන්ත තෝමස් රග්බි ඉතිහාසයේ දෙවන ලීග් ජයග්‍රහණය වාර්තා වූ අතර 1980 අග භාගයේ දී ඔවුන්ගේ රග්බි ඉතිහාසයේ ස්වර්ණමය කාල වකවානුවයි. ඒ 1989, 1990 හා 1991 වසරවල අඛණ්ඩව තෙවතාවක් ලීග් ශූරතාව සාන්ත තෝමස් කණ්ඩායම දිනා ගැනීමත් සමඟයි. 

අවසන් වරට 2000 වසරේ දී ලීග් කුසලානයක් ජය ගත් ඔවුන්ට වසර 20ක් තිස්සේ කුසලානයක පහස විඳින්නට හැකියාවක් ලැබුණේ නැහැ. 2009 වසරේ දී තරු රැසක් සමඟ සටනට පිවිසුණු සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලීග් අනුශූරයින් හා මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරයින් ලෙස අභිෂේක ලැබුවා.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි, අනුරුද්ධ විල්වර වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කළ අතර කණ්ඩායම මෙහෙය වූයේ ශවීන් කපුවත්ත විසිනි. නවීන් හේනකන්කානම්ගේගේ නායකත්වයෙන් සාන්ත තෝමස් සත් සාමාජික රග්බි කණ්ඩායම 2016 වසරේ දී හා 2017 වසරේ දී අඛණ්ඩව දෙවතාවක් අන්තර් පාසල් සත් සාමාජික ශූරයින් බවට පත්වුනේ ප්‍රබල පාසල් සියල්ල මට්ටු කරමිනි. 

පසුගිය තරග වාරය

2019 වසරේ කුසලාන ශූරතාවට පිවිසුණු ඔවුන් කුසලාන ශුරතාවයේ පස්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා. හරිත් සේනානායක ගේ නායකත්වයෙන් තරග වැදුණු සාන්ත තෝමස් කණ්ඩායම ඔවුන් සහභාගී වුණු තරග නවයෙන් තරග හතරක් ජය ගන්නට ද සමත් වුනා.

සිතූ තරම් සාර්ථකත්වයට යන්නට ඔවුන්ට නොහැකි වුනත් අදිශ හඳුන්පතිරණ, නායක හරිත් සේනානායක වැනි ක්‍රීඩකයින්ගේ සුපිරි දක්ෂතා නිසා ඔවුන් කෙසේ කුසලාන ශූරතාවයේ රැඳී සිටින්නට සමත් වුනා.

මෙවර සූදානම

සාන්ත තෝමස් කණ්ඩායම ඉතා ප්‍රබල සංචිතයක් සමඟින් මෙවර තරගාවලියට ඉතා හොඳ සුදානමකින් සිටිනවා. වසර තුනක පාසල් රග්බි පිටියේ අත්දැකීම් සමඟින් රෙවංක අබේවර්ධන මෙවර කණ්ඩායමේ නායකයාගේ භූමිකාව බල ගන්වනවා. සිය අවසන් වසර ක්‍රීඩා කරන ජාන් ද සොයිසා කණ්ඩායමේ උපනායකයා ලෙස කණ්ඩායම සවිමත් කරනවා.

තුන්වැනි පෙළ ප්‍රබල තුරුම්පුවක් වන නායක රෙවංක කණ්ඩයමේ ප්‍රධානතම තුරුම්පුවක්. Scrum අවස්ථාවල දී ප්‍රතිවාදීන් මර්දනය කරන්නට උපන් හපන්කම් දක්වන ඔහු පසුගිය තරගවාරයේ දී ද මනරම් උත්සාහක දිනුම් කිහිපයක් වාර්තා කළ අතර වසර 20කින් නොලැබුණු ලීග් කුසලානය නැවත සිය පාසලට ගෙන ඒම ඔහුගේ ප්‍රධානතම ඉලක්කය වනු ඇත. ගෙවුණු තරග වාරයේ දී බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කළ සාන්ත තෝමස් කණ්ඩායමේ ද රෙවංක ප්‍රබල තුරුම්පුවක් වුනා.

50 වැනි අවුරුද්ද කුසලානය එක්ක සමරන්නට එන ලේක්වීව් සිංහයෝ

අවසන් වරට B කාණ්ඩයේ සිට A කාණ්ඩයට ….

උපනායක ජාන් ද සොයිසා 2016 වසරේ සිට කණ්ඩායම නියෝජනය කරන අතර මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් ලෙස සියලු දෙනා ඔහු දෙස නෙත් යොමා සිටිනවා. ෆ්ලයි හාෆ් ස්ථානයේ වේගවත් හා නුවණැති ක්‍රීඩකයෙකු වන ඔහු සාන්ත තෝමස් කණ්ඩායමේ තරග සකසන්නා ලෙස නම් දැරූ ක්‍රීඩකයෙක්. පන්දුවට පා පහර දීමට ද හැකියාව ඇති ජාන්ට මෙවර තරග වාරයේ දී සුපිරි දස්කම් දක්වන්නට හැකි වේ යැයි සාන්ත තෝමස් ප්‍රේක්ෂකයින් දැඩි බලාපොරොත්තු සමඟින් බලා සිටිනවා.

සකිත් පෙරේරා සාන්ත තෝමස් කණ්ඩායමේ තවත් ප්‍රධානතම අවියක්. ස්ක්‍රම් හාෆ් ස්ථානයේ කණ්ඩායමේ සවිමත් කරන ඔහු නායක රෙවංක හා උපනායක ජාන් සමඟ ඉතා හොඳ සබඳතාවක් ගොඩ නගනු නොඅනුමානය. වේගවත් ක්‍රීඩා විලාසයෙන් ප්‍රතිවාදීන් අන්ද මන්ද කරන ඔහු ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයින්ට උරුම ශරීර ප්‍රමාණයෙන් මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද අනූන ක්‍රීඩකයෙක්.

නායකයාට අනගි සවියක් වන දුනාල් ප්‍රනාන්දු ද කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්. Lineout අවස්ථාවල දී ඉහළ දස්කම් දක්වන දෙවන පෙළ ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකුට උරුම හොඳ උසක් සහිත දුනාල් නායකයාගේ පසෙකින් රැඳෙමින් ඉදිරිපෙළට සවි දෙනු ඇත. 

නොම්මර අට හා Hooker යන ස්ථාන දෙකේම ක්‍රීඩා කරන ලශේන්ද්‍ර ද සිල්වා ඉදිරිපෙළ සවි ගන්වමින් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සිය සේවය ලබා දෙනවා. ගෙවුණු තරග වාරයේ උත්සාහක දිනුම් හතරක් ද වාර්තා කර ඇති ඔහුගේ අත්දැකීම් මෙවර තරග වාරයේ දී ඉතා වැදගත් වනු ඇත.

අත්දැකීම් බහුල ඉදිරිපෙළක් සමඟින් මෙවර සටනට එන සාන්ත තෝමස් කණ්ඩායමේ වගකීම භාරව කටයුතු කරන්නේ අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ශම්ලි නවාස් මහතායි. ගෙවුණු තරග වාරයේ ද කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු මෙවරත් ඔහුගේ අත්දැකීම් වලින් කණ්ඩායම පෝෂණය කරනු ඇත.

Canon ආර්. එස් ද සේරම් කුසලානය සඳහා ත්‍රිත්ව විද්‍යාලය සමඟින් තරග වදිමින් මෙවර තරග වාරය ආරම්භ කරන මුහුද අසබඩ සාන්ත තෝමස් බලකායට 2020 පාසල් රග්බි පිටියේ පෙරළියක් කරන්නට හැකි වෙයි ද? 

වසර 20ක කුසලාන ශාපය බිඳින්නට එන සාන්ත තෝමස් කණ්ඩායමේ මෙවර තරග සැලැස්ම දිස්වන්නේ මෙලෙසින්.

  • මාර්තු 6, 2020 – ත්‍රිත්ව විද්‍යාල හා සාන්ත තෝමස් විද්‍යාලය – පල්ලේකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 12, 2020 – සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – ලොන්ග්ඩන් ප්ලේස් ක්‍රීඩාංගණය
  • මාර්තු 23, 2020 – කිංග්ස්වුඩ් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – පල්ලේකැලේ ත්‍රිත්ව ද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 28, 2020 – රාජකීය විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 4, 2020 – සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය – තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<