වමත් වේගපන්දු යවන්නෙකු යනු ක්‍රිකට් කණ්ඩායමකට වත්කමකි. වසීම් අක්‍රම්, නේදන් බ්‍රැකන්, සහීර් ඛාන් වැනි ලෝක ප්‍රකට වමත් වේගපන්දු යවන්නන් ලොව හෙල්ලූ ආකාරය ගැන අදටත් අපට මතක තිබේ. 90 දශකයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ වමත් වේගපන්දු යවන්නන් අතලොස්ස තුළ කැපී පෙනෙන චරිත තුන වන්නේ චමින්ද වාස්, නුවන් සොයිසා සහ අපගේ කතානායක සජීව ද සිල්වා ය.

“මම ක්‍රීඩා කරන්න පටන් ගත්තේ සාන්ත සෙබස්තියන් විදුහලෙන්. වයස අවුරුදු 13න් පහල කණ්ඩායමේ සිට 19න් පහල කණ්ඩායම දක්වාම ක්‍රීඩා කළා.”

ක්‍රීඩාවට පා තැබූ පාසල ගැන ඔහු සිහි කළේ එලෙසිනි.

මේ වන විට “බී.ආර්.සී. ක්‍රිකට් පාසලේ” පුහුණුකරුවෙකු වශයෙන් සේවය කරන සජීව, තම නම යටතේම පවත්වා ගෙන යන “සජීව ද සිල්වා ක්‍රිකට් පාසලේ” හිමිකාරිත්වය ද දරන අතරම පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු වශයෙන් ද සේවය කරයි.

අභිමානවත් මොරටු පුත්‍රයෙකු වන සජීව, තම නිජබිම ගැන සිහිපත් කළේ මෙසේයි.

“මොරටුව කිව්වහම මතක් වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් බයිලා, එකක් ක්‍රිකට්. ඉතින් මොරටුවේ ඉන්න හැමදෙනාම ක්‍රීඩාවක් වශයෙන් තෝරා ගන්නේ ක්‍රිකට්. ඒ නිසා ගොඩක් ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙනවා මොරටුවෙන්.”

ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වන “මොරටු රන් මහා සටන” ද මොරටු පුරවරයේ ක්‍රිකට් උත්කර්ෂය තවත් ඔප්නංවන්නකි. සජීව උගත් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලත්, මොරටුව වේල්ස් කුමර විදුහලත් එහි සහභාගීත්වය දරයි.

[rev_slider dfcc728]

මොරටුව සහ ක්‍රිකට් අතර පවතින ඥාතිත්වය තහවුරු කරනු වස් මොරටුවෙන් බිහි වූ ඔහු ද ඇතුළුව, රොමේෂ් කළුවිතාරණ, ප්‍රසන්න ජයවර්ධන, අමල් සිල්වා, කුසල් මෙන්ඩිස් වැනි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හොඳම උදාහරණ සපයයි. ඒ අතුරින් රොමේෂ් කළුවිතාරණ, සජීවගේ පන්තියේ සගයෙකි.

“කළුවිතාරණ මගෙ පන්තියේ. අපි සෙල්ලම් කළේ ඒකට.” සිය මතකයන් අවධි කරමින් සජීව පැවසුවේය.

“මොරටු රන් මහා සටනේ” තම නියෝජනය ගැන සජීව සිහිපත් කළේ මෙසේයි.

“1987/88, 1988/89, 1989/90 කියන තරග වාර තුනේම මම සෙබස්තියන් කණ්ඩායම නියෝජනය කළා. ඉන් පළමු අවුරුද්දෙම මම හොඳම පන්දු යවන්නා වුනා.”

සජීව, ක්‍රිකට් දිවිය ඇරඹුවේ පා දඟ පන්දු යවන්නෙකු වශයෙනි. පසුව 19න් පහල කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකුගේ හිඩැසක් පිරවීම සඳහා තමන් ඉදිරිපත් වූ බව ඔහු පැවසුවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශක්තිමත් වමත් වේගපන්දු යවන්නෙකු නිර්මාණය වීම ද ඉන් ආරම්භ විය.

එතැන් සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දක්වා පැමිණි ගමන කෙතරම් දුෂ්කර වී දැයි මෙසේ ඔහුගේ මතකයේ ඇත.

“අපි ක්‍රිකට් ගහන කාලේ ඒක අද තරම් ලේසි දෙයක් වුණේ නැහැ. ඒ කාලේ හැමෝම වගේ ජාතික කණ්ඩායමට එන්න කලින් කාලයක් තිස්සේ ක්‍රිකට් ගහපු අය. මොකද, හිටපු කණ්ඩායම ගොඩක් ශක්තිමත් කණ්ඩායමක් නිසා හරිම අමාරුයි කණ්ඩායම ඇතුළට එන්න. මම කණ්ඩායමට ආවේ මාවන් අතපත්තු එළියට යද්දී.”

පිතිකරුවෙකු වෙනුවට පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්වීමට තරම් ඔහු දක්ෂයෙකු විය.

“1989 ඉඳන් 1996 වෙනකම් මම පළමු පෙළ තරගාවලිය නියෝජනය කළා. 1993/94, 1994/95, 1995/96 ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම පන්දු යවන්නා වුනා. ඉන් පස්සේ වයස අවුරුදු 27දී තමයි මම ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණේ. එකදිගට අවුරුදු 4ක් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණේ මගෙ පෙර අත්දැකීම් නිසා.”

ඔහු තවදුරටත් පැවසීය.

sajeewa 1එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛතම වමත් වේගපන්දු යවන්නා වූයේ චමින්ද වාස් ය. වරෙක චමින්ද වාස්, නුවන් සොයිසා සහ සජීව ද සිල්වා එකම මොහොතේ ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ අතර ක්‍රිකට් ඉතිහාසය තුළ වමත් වේගපන්දු යවන්නන් තිදෙනෙකු ටෙස්ට් තරගයක දී එකම කණ්ඩායම නියෝජනය කළ පළමු අවස්ථාව ද එයයි. චමින්ද වාස් වැනි ජ්‍යේෂ්ඨයෙකු කණ්ඩායම තුළ සිටිය දී වමත් වේගපන්දු යවන්නෙකු වශයෙන් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරවා ගැනීම කෙතරම් අභියෝගයක් වූයේ දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.

“වාස් අයියා එක්ක මට අභියෝගයක් තිබුණේ නැහැ. ඒත් මට ඒක ලොකු අත්දැකීමක් වුනා. මොකද, ඔහු මට වඩා ජ්‍යේෂ්ඨයෙක්.”

චමින්ද වාස්ගෙන් ලද අත්දැකීම් ගැන ද සිහිපත් කරන්නට ඔහු අමතක නොකළේය.

“මං ක්‍රිකට් ගහලා තිබුණු නිසා කඩුලු දවා ගන්න හැකියාවක් මට තිබුණා. අපේ රටේ විකට් ගන්න අමාරු නෑ. ඒත් ජාත්‍යන්තර මට්ටමේ දී පිතිකරු අධ්‍යනය කරලා තමයි විකට් ගන්න ඕනේ. මට ජාත්‍යන්තර අත්දැකීම් නොතිබුණු නිසා වාස් අයියා ලොකු උදව්වක් වුනා. මොකද, එයා වගේ හොඳ පන්දු යවන්නෙක් ඉද්දී පිතිකරුවෝ එයාට පහර දෙන්න බලන්නේ නෑ. මං වගේ කෙනෙකුට තමයි ඔවුන් පහර දෙන්න බලන්නේ. ඒකෙන් මට විකට් ගන්න අවස්ථාව උදා වුනා.”

සජීව ද සිල්වා පළමු පෙළ තරග 111ක් තුළ දී කඩුලු 346ක් දවාගෙන ඇත. එක්දින ජාත්‍යන්තර තරග 38ක් තුළ දී කඩුලු 52ක් දවාගෙන ඇති සජීව, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 8ක්ද ක්‍රීඩා කළේය.

ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කරන සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බොහොමයක් ක්‍රීඩකයින් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්ත සලකුණු ය. ඔවුන්ගෙන් ලද අත්දැකීම් ගැන ද ඔහු සඳහන් කළේය.

“1996 කණ්ඩායම තමයි ලංකාව නියෝජනය කළ හොඳම කණ්ඩායම. පිතිකරුවෙක් වෙනුවට මාව ඒ කණ්ඩායමට එක්වෙද්දී මං හිතුවා මගෙ දක්ෂතාවයක් තියෙන නිසයි මට ඒ අවස්ථාව ලැබුණේ කියලා. එතන දී අරවින්ද ද සිල්වා, කුමාර් ධර්මසේන, මුත්තයියා මුරලිදරන් වගේ අය එක්ක පන්දු යවන්න ගොඩක් ලේසියි. මොකද, එයාලා ගොඩක් සැලසුම් කරනවා පිතිකරුවන් දවා ගන්න. ඇත්තෙන්ම අරවින්ද අයියාගෙන් ලොකු උදව්වක් ලැබුණා පන්දු යැවීමේ දී.”

ජාත්‍යන්තර මට්ටමට යන ගමනේ දී ක්‍රීඩකයෙකුට පාසල් අත්දැකීම් කෙතරම් ඉවහල් වන්නේ දැයි විමසීමේ දී ඔහු මෙසේ කීය.

“පාසල් මට්ටම සහ ජාත්‍යන්තර මට්ටම අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. හැබැයි පාසලේ දී ලැබෙන මුල් ඉගැන්වීම් (basics) ගොඩක් උදව් වෙනවා ඒ මට්ටමට යද්දී. අපි පාසලේ දී කරපු ගොඩක් දේවල් අමතක කරලා ජාත්‍යන්තරයට යනවා නම් හොඳයි. මොකද, ඒක වෙනස්ම රටාවක්. නමුත් මුල් ඉගැන්වීම් (basics) දන්නේ නැති කෙනෙකුට ගොඩක් අමාරුයි ජාත්‍යන්තර මට්ටමට හැඩ ගැහෙන්න.”

පාසල් මහා ක්‍රිකට් තරගය ගැන ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

“මහා ක්‍රිකට් තරගය කියන්නේ පාසල් ක්‍රීඩකයෙකුගේ ලොකු බලාපොරොත්තුවක්. මොරටු රන් මහා සටනේ දී අපි එදා ඉඳන් දැකපු දෙයක් තමයි ක්‍රීඩකයන්ගේ සහෝදරත්වය, මං හිතනවා ක්‍රීඩකයන්ගේ අතර තිබෙන බැඳීම නරඹන්නන් අතරත් වර්ධනය වෙනවා නම් හොඳයි කියලා.”

Sajeewa-De-Silva_9875මොරටු රන් මහා සටනේ දී ඔහුට සිදුවූ අමතක නොවන සිදුවීමක් ඔහු මෙසේ ආවර්ජනය කළේය.

“මම මහා ක්‍රිකට් තරගය නියෝජනය කරපු පළමු අවුරුද්දේ හොඳම පන්දු යවන්නා වුනාට පස්සේ දෙවැනි අවුරුද්දේදීත් (88/89) මං හිතා ගත්තා හොඳම පන්දු යවන්නා වෙනවා කියලා. නමුත් සාමාන්‍යයෙන් පන්දු නොයවන ක්‍රීඩකයෙක් (part timer) එදා විකට් 5ක් අරගෙන හොඳම පන්දු යවන්නා වුනා. ඉතින් මට හොඳම පන්දු යවන්නා වෙන්න ලැබුණේ නැහැ.”

එතැනින් තම උත්සාහය අත්නොහැරි ඔහු, ජාතික කණ්ඩායමට ඇතුළත් වීමෙන් පසු ප්‍රබල ජාත්‍යන්තර පිතිකරුවන් බොහොමයක් වෙත පන්දු යවා ඇති අතර ඔවුන්ගෙන් ‘කරදරකාරීම’ පිතිකරුවන් ඔහුගේ මතකයේ රැඳී තිබේ.

“මං අමාරුවෙන්ම පන්දු යවපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සයීඩ් අන්වර්, අනිත් කෙනා සචින් ටෙන්ඩුල්කාර්. ඒ දෙන්නට කොහෙට පන්දු යවන්න ඕනෙ ද කියලා තීරණය කරන්න හරිම අමාරුයි.”

ඔහු ජාත්‍යන්තර පිටියේ දී ලද අමතක නොවන අත්දැකීම සුවිශේෂී එකකි.

“බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරග දෙකක ඉනිම් හතරෙන් තුනකදීම මම බ්‍රයන් ලාරා ව දවා ගත්තා. ඒක මට අමතක වෙන්නේ නැහැ.”

Sajeewa De Silvaඑවන් ජාත්‍යන්තර අත්දැකීම් ලැබීමට නම් පාසල් ක්‍රීඩකයින් මහා ක්‍රිකට් තරගවලින් කුමක් උගත යුතු දැයි අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.

“අද ක්‍රිකට් ක්‍රීඩකයන් අතර නැති දෙයක් තමයි හික්මීම, ඒ වගේම අවධානය. මහා ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයෙකුට භයක් දැනෙනවා. ප්‍රේක්ෂකයන් 10,000ක් 15,000ක් ඉදිරියේ තමයි ඔවුන් ක්‍රීඩා කරන්නේ. එතකොට මනස හරියට තියානොගත්තොත් ක්‍රීඩා කරන්න බැහැ. මං දැකපු දෙයක් තමයි තරග වාරය පුරාම හොඳට ක්‍රීඩා කරන සමහර ක්‍රීඩකයෝ මහා තරගෙදි අසාර්ථක වෙනවා. ඒ, මනස තරගය තුළ තියා ගන්න බැරි නිසයි. 20,000ක් 30,000ක් ඉදිරියේ දස්කම් දක්වන්න පුහුණු වෙලා යන්න ඕනේ.”

ඔහු ක්‍රීඩා කරන සමයට වඩා අද, පාසල් ක්‍රිකට් තරගාවලි වල මට්ටම කෙසේ වෙනස් වී ඇත්දැයි අදහස් දක්වමින් පවසා සිටියේ,

“මට්ටම නම් සෑහෙන්න අඩුවෙලා. 80 දශකයට සාපේක්ෂව හොඳ ක්‍රීඩකයන් බිහිවෙන ප්‍රමාණය අඩුයි. අපේ කාලේ අපි පාසලෙන් ඉවත් වෙද්දී අපට ක්‍රීඩා සමාජයක දොර ඇරෙනවා. නමුත් අද ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයෝ අවුරුදු 10, 15 එකදිගට සෙල්ලම් කරනවා. ඒ පාසල්වලින් හොඳ ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජවලට යොමු නොකරන හින්දයි. අලුත් අය පරණ අයට වඩා හොඳ නම් ඒක වෙනස් වෙන්න ඕනේ. පාසලකින් ක්‍රීඩකයෝ 4ක් 5ක් එන්නේ නෑ. එන්නේ එක්කෙනයි, දෙන්නයි.”

තවද,

“ඉස්සර දක්ෂ ක්‍රීඩකයෝ ආවේ ආනන්ද, නාලන්ද , රාජකීය වගේ කණ්ඩායම් වලින්. ඒත් අද ඔක්කොම ක්‍රීඩකයෝ එන්නේ පිටින්. තවත් ඉදිරියට ඒක වැඩි වේවි. මොකද, පාසල ඇරිලා ඇවිත් හැම දරුවම දුවන්නේ ටියුෂන් පන්තියට. ඉස්සර දරුවෝ වගේ ක්‍රිකට් වලට කාලය මිඩංගු කරන්නේ නැහැ. අපි පොඩි කාලෙ හැමවෙලේම ක්‍රිකට් ගහනවා. දැන් ළමයි පන්ති යනවා, ටී.වී. බලනවා, පහුවදා ආයෙත් පාසල් යනවා. ළමයින්ට විනෝද වෙන්න, ක්‍රීඩා කරන්න කිසිම කාලයක් නැහැ. ඉස්සර හැම ගමකම සැහැල්ලු පන්දු ක්‍රිකට් ගහනවා. අද කොළඹ සැහැල්ලු පන්දු ක්‍රිකට් පිටියක්වත් හොයා ගන්න අමාරුයි. හැබැයි කොළඹින් පිට ක්‍රීඩකයෝ හැමදාම හවසට සැහැල්ලු පන්දු ක්‍රීඩා කරනවා.”

sajeewa“ලංකාවේ දොස්තරලා, නීතිඥයෝ ලක්ෂ ගානක් ඇති. ඒත් හොඳ  ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නේ දෙසීයක් විතර. ඉතින් හිතලා බලන්න, හැකියාව තියෙනව නම් ඒක ඔපමට්ටම් කරන්න පුළුවන් කැපවීම තියෙනව නම්. තමන්ට දක්ෂතාවයක් තියෙනව නම් තමන් තීරණය කරන්න ඕනේ ක්‍රිකට් ගහනව ද නැත්නම් අමාරු වෙන දෙයක් කරනව ද කියලා.”

මහා ක්‍රිකට් තරග සංස්කෘතියේ වර්තමාන තත්වය ගැන ඔහු දැරුවේ මෙවන් අදහසක්.

“ඉස්සර නම් කණ්ඩායම් දෙක එනවා, ක්‍රීඩා කරනවා, විසිර යනවා. ඒත් අද මේක වාණිජකරණය වෙලා. ඒ නිසා තමයි ගැටලුකාරී තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සල්ලි තියෙන අය වැඩියෙන් වියදම් කරනවා. ඒත් දැන් ඒක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඉදිරියට මොනවා වේවි ද දන්නේ නැහැ.”

සාන්ත සෙබස්තියන් විදුහලෙන් මෙරටට බිහි කළ මේ වමත් පන්දු යවන්නා, අවසන් වශයෙන් “මොරටු රන් මහා සටනේ” ක්‍රීඩකයන් වෙත මේ පණිවුඩය ද ලබා දුන්නේය.

“ප්‍රශ්න ඇති නොකරගෙන සහෝදරත්වයෙන් දවස් දෙකම ක්‍රීඩා කරන්න. දිනන පරදින එක පොදු දෙයක්. දිනන්න උත්සාහ කරන්න. හරි විදිහට මහත්මයෙක් වගේ ක්‍රීඩා කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.”

මොරටු පුරවරයෙන් බිහිවී, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තෙක් පැමිණ වසර හතරක ජාත්‍යන්තර තරග අත්දැකීම් ලද සජීව ද සිල්වා, මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමේ ඇල්මෙන් පසුවන්නෙකි. ධනුෂ්ක ගුණතිලක, නිපුන් සුමනසිංහ (2017 තරග වාරයේ ලකුණු 1000 ඉක්මවූ පළමු පාසල් ක්‍රීඩකයා), සාලින්ද උෂාන්, ශෙනාල් දංගොල්ල වැනි නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගුරුහරුකම් ලබා දුන් ඔහුගේ ශක්තියෙන් ශ්‍රී ලංකාවට අනාගතයේ දීත් ක්‍රීඩකයන් බිහි වනු ඇත.

ඔහුගේ සියලු යහපත් පැතුම් ඉටු වේවායි ThePapare.com අපි ප්‍රාර්ථනා කරමු. සජීව වැනි දක්ෂයින් මෙරටට බිහි කළ “මොරටු රන් මහා සටන”, එළඹෙන 10 සහ 11 යන දිනයන් හිදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහි පුවත් ආවරණය සඳහා ThePapare.com වෙබ් අඩවියට පිවිසෙන්න.   

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<