ThePapare.com අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයෙන් ඇගයේ

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල - 2022

159
Sabuddhi Sports literary Awards 2022
ThePapare.com ප්‍රධානී ඩිෂාන් ඩි සා විසින් සම්මානය ලබා ගත් අවස්ථාව.

මෙරට පැවැත්වෙන එකම ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල වන SLT-Mobitel සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ නව මාධ්‍ය ලෙස ThePapare.com අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය ආර්. ඒ. විමලසේන පෙරේරා මහතාට පිරිනැමුණා, ඒ ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රවර්ධනයට ලබා දුන් ක්‍රීඩාමය පෞරුෂ දායකත්වය වෙනුවෙනි.

සම්මාන උළෙල දෙසැම්බර් (02) වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් අනුස්මරණ ශාලාවේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

>> Photos – Sabuddhi Sports Literary Awards Ceremony 2022

මෙවර සබුද්ධි සම්මාන උළෙලේ දී යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය හිමි කර ගත් ආර්. ඒ. විමලසේන පෙරේරා මහතා ආසියානු ක්‍රීඩා (1966 – තායිලන්ත), පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා (1966 ජැමෙයිකා) සහ ඔලිම්පික් ක්‍රීඩා (1968 මැක්සිකෝ) යන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ත්‍රිත්වය මැරතන් ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයෙකි.

මැරතන් ජාතික ශූරතාව හතර වතාවක් (1966, 1967, 1668 සහ 1969), මීටර් 10,000 ජාතික ශූරතාව හතර වතාවක් (1966, 1968, 1972, 1973) ජයග්‍රහණය කළ ඔහු යුධ හමුදා අන්තර් ඒකක මාර්ග ධාවන තරගාවලිය ද සිව්වතාවක් ජයග්‍රහණය කළේය.

මැරතන් ජාතික ශූරතාවේ ශ්‍රී ලංකා වාර්තාව ඔහු සතුව වසර 25ක් පැවතිණි. ක්‍රීඩාවේ ඔහු දැක්වූ එම විශිෂ්ට පෞරුෂය විසින් ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනයට දැක්වූ උත්තේජනය සැලකිල්ලට ගනිමින් ජීවිතයේ දී එක් වරක් පමණක් පිරිනැමෙන යෝගානන්ද විජේසුන්දර අනුස්මරණ ක්‍රීඩා සාහිත්‍ය රන් සම්මානය මෙවර ඔහුට පිරිනැමිණ.

සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධනය උදෙසා පෞරුෂමය දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන සබුද්ධි ක්‍රීඩා රන් සම්මානය පිරිනැමුණේ ආසියාවේ වේගත්ම මිනිසා වූ යුපුන් අබේකෝන් වෙතයි.

වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා සම්මානය සඳහා පිරිනැමෙන බන්දුල වර්ණපුර අනුස්මරණ සම්මාන මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුබසිංහ (සිංහල), නෙවිල් වික්ටර් ඇන්තනි (දෙමළ), අලාම් ඔස්මාන් (ඉංග්‍රීසි) වෙත හිමි විය.

වසරේ විවිධ විෂයික කෘතිය උදෙසා පිරිනැමෙන එල්. එන්. ස්පෝර්ට්ස් සම්මානය අසෝක ගුණතිලක පරිවර්තනය කළ රොෂාන් මහානාම – වේදනාත්මක සමුගැනීමෙන් තීරක ලෙස යළි පිටියට කෘතියට පිරිනැමිණ.

වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය සමන් කුමාර ගුණවර්ධන රචනා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වසර සියය කෘතිය යි.

වසරේ පර්යේෂණ නිබන්ධන සම්මානය කැලණිය විශ්ව විද්‍යාලයේ – ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයනාංශයේ අංශාධිපති අනෝමා රත්නායක මහත්මියගේ ‘Impact of Covid-19 outbreak on stress and depression among Indian football players’ නිබන්ධනයට හිමි විය.

වසරේ ප්‍රාදේශීය ක්‍රීඩා වාර්තාකරු සම්මානය හිමි වූයේ කොළඹ ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත නිරෝෂන් වෙතයි.

වසරේ ඡායාරූප ශිල්පියා සම්මානය කැලුම් චාමර වෙත පිරි නැමිණ. මාධ්‍ය, ග්‍රන්ථ, ප්‍රකාශන, පෞරුෂ සහ ප්‍රවර්ධන යන තේමා පහ යටතේ පැවති සම්මාන උළෙලේ දී සම්මාන සහ කුසලතා සහතික පිරිනැමූ අතර පිරිනැමූ වසරේ සෙසු සම්මාන මෙසේය.

  • වසරේ නව මාධ්‍ය – ThePapare.com
  • වසරේ ගුවන්විදුලිය – ලක්හඬ
  • වසරේ රූපවාහිනිය – හිරු
  • වසරේ දිනපතා පුවත්පත – දිනමිණ
  • වසරේ සති අන්ත පුවත්පත – අරුණ

Sabuddhi Sports literary Awards 2022එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ තුන්වැනි වරට යි. ද චාන්ස් ස්පෝර්ට්ස් රන් අනුග්‍රහයෙන් එක්වන සම්මාන උළෙලේ නිල සහයෝගිතාව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙනි.

සම්මාන උළෙලේ බුද්ධි මණ්ඩලය ක්‍රීඩා වෛද්‍යාතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක (සභාපති), අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා සුනිල් ජයවීර, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ බී. අබේකෝන්, කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහ විඥාපන අධ්‍යයනාංශයේ ආචාර්ය නාමලී සුරවීර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ කථිකාචාර්ය ෆාතිමා ශානාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

සම්මාන උළෙලට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, ද චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ, සබුද්ධි සභාපති තමීර මංජු, සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ, යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<