Kohli සහ Fafගේ දැවැන්ත සබඳතාව මුම්බායි පරාජයට පාර කපයි!

IPL 2023

257

2023 IPL තරගාවලියේ 5 වැනි තරගය Mumbai Indians සහ Royals Challengers Bangalore කණ්ඩායම් අතර ඊයේ (02) ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වුනා.

මෙහි දී Mumbai Indians කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Faf du Plessis විසින් මෙහෙයවන Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පළමුව පන්දු යැවීමට RCB නායකයා තීරණය කළ අතර, ඒ අනුව Mumbai Indians ආරම්භක පිතිකරුවන් ලෙස Rohit Sharma සහ Ishan Kishan පිටියට පිවිසුණ නමුත්, ඔවුන් දෙදෙනාට ම පිටියේ ස්ථාවර වීමට Bangalore පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

Mumbai ඉනිමේ ආරම්භක කඩුලු 4ම පන්දුවාර 8යි පන්දු 5ක් වන විට ලකුණු 48ක් තුල බිඳ හෙළීමට Mohommad Siraj සහ Reece Topley ප්‍රමුඛ Bangalore පන්දු යැවීමේ බල ඇණිය සමත් වූ අතර, ඉන්පසුව පිටියේ එක් වූ Tilak Varma සහ Nehal Wadhera විසින් Mumbai ඉනිමට යම් ජීවයක් ගෙන ඒමට සමත් වුනා.

නමුත් පන්දු 13කින් ලකුණු 21ක් ලබා සිටිය දී Nehalගේ ඉනිම නිමා කිරීමට Karan Sharma විසින් සමත් වූ අතර, එතැනින් නොනැවතුනු Sharma ඉන්පසුව ප්‍රවේගකාරී පිතිකරු Tim Davidව ද ලකුණු 4කට දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දුව වන විට Mumbai ලකුණු පුවරුව ලකුණු 123ක් ලෙස දිස් වූ අතර ඒ වන විට ඔවුන්ගේ කඩුලු 7ක් ම බිඳ වැටී තිබුණා. නමුත් ඉන්පසුව පිටියේ ස්ථාවර වී සිටි Tilak Varma සමග එක් වූ Hrithik Shokeen විසින් ඉනිමේ අවසන් පන්දු 17 තුල දී ලකුණු 48ක නොදැවුණු සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Mumbai ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 171ක් ලෙස දිස් වූ අතර, එහි දී අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කළ Tilak Varma විසින් පන්දු 46කින් නොදැවී ලකුණු 84ක් ලබ ගැනීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ද අන්තර්ගත වුනා.

මෙහි දී RCB වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වීමට සමත් වුනේ Karan Sharma වන අතර ඔහු ලකුණු 32කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම Mohommed Siraj විසින් සිය පන්දුවාර හතර තුල ලකුණු 21ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වූ අතර විශේෂතම සිදුවීම වන්නේ ඔහු ඉන් ලකුණු 16ක්ම සිය අවසන් පන්දුවාරයේ දී ලබා දීමයි. ඔහු එම පන්දු වාරයේ දී වයිඩ් පන්දු පහක් යොමු කිරීම ද විශේෂත්වයක්.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට RCB කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වූ අතර, එය ඔවුන්ට තරමක අභියෝගයක් එල්ල කළ හැකි මට්ටමක ඉලක්කයක් බව බැලූ බැල්මටම පෙනී ගියා.

නමුත් එය ඉතාම පහසු ඉලක්කයක් බවට පත් කර ගැනීමට Bangalore ආරම්භක පිතිකරු යුගලය වන Faf du Plessis සහ Virat Kohli විසින් සමත් වූ අතර ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 14යි පන්දු 5ක් තුල ලකුණු 148ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Bangalore ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස නායක Du Plessis පන්දු 43කින් ලකුණු 73ක් ලබා සිටිය දී දැවී ගිය අතර, ඒ වෙද්දී ඔහු සිය ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත කර ගෙන තිබුණා.

එමෙන්ම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා යන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි Virat Kohli විසින් පන්දු 49කින් ලකුණු 82ක් රැස් කළ අතර ඔහු සිය ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ඇතුළත් කර ගැනීමට සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 16යි පන්දු 2ක් තුල දී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට Royal Challengers Bangalore පිතිකරුවන් විසින් සමත් වුනා.

තරගයේ වීරයා සම්මාන Faf du Plessis විසින් දිනා ගත්තා.

  • Mumbai Indians 171/7 (20) – Tilak Varma 84 , Nehal Wadhera 21, Karan Sharma 2/32, Reece Topley 1/14
  • Royal Challengers Bangalore 172/2 (16.2) – Virat Kohli 82, Faf du Plessis 73, Arshad Khan 1/28, Cameron Green 1/30

තරගාවලියේ මීළඟ තරගය හෙට (04) Chennai Super Kings සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සියලු තරග විස්තර ඔබ වෙත ගෙන ඒමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<