සභාපති පුටුවට නාමයෝජනා හතරක්

618
Rodrigo-De Silva

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා, හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ, වත්මන් සභාපති අනුර ද සිල්වා සහ වත්මන් ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරුන් නාමයෝජනා භාරදීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.

රත්නම් අවසන් තරගයට

දෙවන අදියරේදී ගෝල 1-0ක් ලෙස සිඟින් ෆිෂ් කණ්ඩායම පරාජය කරමින් රත්නම් කණ්ඩායම, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයට අසුන් වෙන්කරගන්නා ලදී…

කාලයක් පුරාවට අළු යට ඇති ගිනි පුපුරු මෙන් සැඟවී තිබූ සභාපතිවරුන්ගේ සටන තිරය ඉදිරියට පැමිණියේ, හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා එළඹෙන නිලවරණය ගැන සිය උනන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟයි. 2015 වසරේදී ඔහුගේ ආශිර්වාදයත් සමඟින් සභාපතීත්වයට තරග කළ අනුර ද සිල්වා මහතා සාර්ථකත්වයට පත්වූ බවද අපගේ සිහියට නැඟේ.

නිල නොවන ආරංචි මාර්ග පවසන පරිදි වත්මන් ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහතාද මේ වසරේ නිලවරණයට තරග කිරීමේ උනන්දුවෙන් පසුවෙයි.

අනුර ද සිල්වා මේ වන විටත් සිය නිලවරණ ව්‍යාපාරය අරඹා ඇති නමුත් රංජිත් රොද්‍රිගෝ තවමත් එවැන්නක් ආරම්භ කොට නැත. සිව්වැන්නෙකු සභාපති සටනට ඇතුළත් වනු ඇති බවට සැකයක් පැවතුණද ඒ කවුරුන්දැයි මෙතෙක් වාර්තා වී නොමැති අතර තවම අවධානය දිනාගෙන ඇත්තේ ප්‍රධාන තරඟකරුවන් තිදෙනා පමණි.

එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී රොද්‍රිගෝ මහතා නිලවරණය පිළිබඳ මුල්වරට සිය අදහස් ප්‍රකාශ කළේය.

“අපි අපගේ කාලය සහ කාර්යයන් ආයෝජනය කරන්නේ මෙය (ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව) ජයග්‍රහණය කරා ගෙන යාමටයි. මිනිසුන් මගෙන් ප්‍රශ්න කරනවා මම නැවත සභාපති තරගයට එනවද කියලා. ඔව්, මම නැවතත් එනවා. ක්‍රීඩා ව්‍යවස්ථාවන් වෙනස් වී තියෙන නිසා මම මීළඟ වසරේ නිලවරණයට තරග කරනවා.” යනුවෙන් ඔහු එහිදී අදහස් පළකළේය.

අනුර ද සිල්වා මහතා සඳහන් කළේ උසස් නිලධාරීන්ගේ සහ පාපන්දු ලීගයන් වල ඉල්ලීම් සලකා බලමින්, තමා මේ වසරේ නිලවරණයට ඉදිරිපත් වන බවයි. එළඹෙන නිලවරණයේදී ප්‍රතිවාදීන් බවට පත්වුවද තමා සහ රොද්‍රිගෝ මහතා අතර කිසිදු පෞද්ගලික ආරවුලක් නොමැති බවද ඔහු තවදුරටත් පැවසීය.

“රංජිත්ගේ උපදෙස් යටතේ කළමනාකරණ කටයුතු කළ ආකාරය ගැන මට දොස් අහන්න සිදුවුණා. මම කිසිකෙනෙකුගේ පදයට නටන කෙනෙක් නොවන වගත්, මට ස්වාධීනව පාලන කටයුතු සිදුකළ හැකි බවත් ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි. මේ වසරේ නිලවරණයට සහභාගී වීමට ඒ විශ්වාසයත් හේතුවක් වුණා.”

“පසුගිය කාලෙදි පාපන්දු සඳහා මුදල් වැය කළ ආකාරය පැහැදිළි නොකිරීම සම්බන්ධව චෝදනා රාශියක් එල්ලවුණා. ඉදිරියේදී එවන් තත්වයක් ඇති නොවන බවට මට සහතිකයක් දිය හැකියි. දැනට ලීගයන් බොහොමයක් අප සමඟ සුහදව කටයුතු කරන අතර ඔවුන්ගේ සහයත් මම ඉල්ලා සිටිනවා. මෑතදී ලීගයන් වෙනුවෙන් මං ලොකු කාර්යභාරයක් ඉටුකළා.” යැයි අනුර මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩා පාලන නීති රීති සංශෝධනය වී ඇති බැවින් හිටපු සභාපති, එමෙන්ම වත්මන් මුල්‍ය සහ මාධ්‍ය කළමනාකරු වන රංජිත් රොද්‍රිගෝ මහතා, තමා විසින් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සතුට පළකළේය.

“සභාපති තීරණ වලට මා බලපෑම් කළා යැයි කීම බොරු චෝදනාවක්. සියළු දේ නීත්‍යානුකූලව සහ ඒ සීමාවන් යටතේ සිදුවුණා. ඒවාට පිළිතුරු සභාපති නිලවරණය අතරතුරදී මම වැරදිකරුවන් හෙළිකරන විට ලැබේවි. ඔවුන් ආයතනයට සුදුසු මට්ටමේ නැතිනම් ඔවුන් ඉල්ලා අස්විය යුතුව තිබුණා. පුද්ගලයන්ගේ නම් කියමින් නොසිට මාත් සමඟ මුහුණට මුහුණ සංවාද කරන්නැයි මම ඔවුන්ට කාරුණික ආරාධනයක් කරනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“ක්‍රීඩා ඇමැතිතුමාත්, ජාත්‍යන්තර පාපන්දු සංගමයේ දකුණු ආසියානු සහ ආසියානු සභාපතිවරුන් ඉදිරියේ මං ප්‍රකාශ කළා මම මීළඟ සභාපතිවරයා වීමේ අදහසින් පසුවෙන බව සහ අනුර (අනුර ද සිල්වා) මගේ ලේකම්වරයා කරගත යුතු බව. පාපන්දු ක්‍රීඩාවට සහය දක්වන සෑම අනුග්‍රාහකයෙකුම ඊට සාක්ෂි දරනවා. ඔවුන් එහිදී මා සමඟ එකඟ වුණා. කෙසේවෙතත් තත්වය දැන් වෙනස් වෙලා. පාපන්දු සම්මේලනයේ සහ ජාත්‍යන්තරයේත් තනතුරු හෙබවූ කෙනෙක් හැටියට විධායක කමිටුවේ වසර 20ක අත්දැකීම් ඇති මම, මගේ පෞද්ගලික ධනය පවා පාපන්දුව වෙනුවෙන් වැයකළ කෙනෙක්.” යන පරිදිය.

මේ සම්බන්ධව අනුර ද සිල්වා මහතාගේ අදහස් ලබා ගැනීමට ThePapare.com අප උත්සාහ කළ නමුත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට