2024 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරුණ

88
Road of Sri Lanka Test Cricket in 2024

තරග 10කින් ලියැවෙන ශ්‍රී ලංකා 2024 ටෙස්ට් තරග ඉතිහාසය සෑහීමකට පත් විය හැකි දක්ෂතාවලින් පරිපූර්ණයි. ඔවුන් නිමා වූ තරග අතුරින් තරග 6ක් ජයග්‍රහණය කරන ලද අතර තරග 4කින් පරාජයට පත් වෙනවා.

එය ගෞරවනීය තත්ත්වයක් වූවත් මේ අතරට වඩාත් ශෝචනීය පරාජයක් ද එකතු වෙනවා. ඒ දකුණු අප්‍රිකාව වෙතින් ලත් පරාජයයි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම ආසන්නයට පිවිස පැවැති එම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට තරග 2-0ක පරාජයක් හිමි වෙනවා. එම තරග පරාජයත් සමඟින් ඊට ලෙහෙසියෙන් ම සහභාගී වීමට තිබු අවස්ථාව අපට අහිමි ව ගියා.

කෙසේ වෙතත් එම අවස්ථාව එළැඹෙන වසරේ දී ද අප වෙත තව දුරටත් බලාපොරොත්තුවක් ලෙසින් රැඳී තිබෙනවා.

නිමා වූ වසරේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ ටෙස්ට් තරග

  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්. SSC ප්‍රභාත් ජයසූරිය
2 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලකුණු 328ක ජයක්. Sylhet ධනංජය ද සිල්වා
3  බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලකුණු 192ක ජයක්. Chattogram කමිඳු මෙන්ඩිස්
4 එංගලන්තය එංගලන්තයට කඩුලු 5ක ජයක්. Manchester Jamie Smith
5 එංගලන්තය එංගලන්තයට ලකුණු 190ක ජයක්. Lord’s Gus Atkinson
6 එංගලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. The Oval පැතුම් නිස්සංක
7 නවසීලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 63ක ජයක්. ගාල්ල ප්‍රභාත් ජයසූරිය
8 නවසීලන්තය ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 154ක ජයක්. ගාල්ල කමිඳු මෙන්ඩිස්
9 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට ලකුණු 233ක ජයක්. Durban Marco Jansen
10 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට ලකුණු 109ක ජයක්. Gqeberha Dane Paterson

2024 වසරේ ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

602/5d (163.4): ශ්‍රී ලංකාව ගාල්ලේ දී නවසීලන්තයට එරෙහි ව වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව මේ වසරේ දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

මෙම ලකුණු සංඛ්‍යාව ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ මේ වසරේ දී කණ්ඩායමක් ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් වුනා. එහි පළමු ස්ථානය හිමි වෙන්නේ පාකිස්තානයට එරෙහි ව කඩුලු 7කට ලකුණු 823ක් ලබා ගන්නා ලද එංගලන්තයටයි.

427/10 (102.0): එංගලන්තය විසින් Lord’s ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව ප්‍රතිවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහි ව මේ වසරේ දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

42/10 (13.5): ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ Durban හි දී දැවී ගිය මෙම ඉනිම මේ වසරේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු ලකුණු සංඛ්‍යාවයි.

88/10 (39.5): මේ වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ අඩු ම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය කණ්ඩායම බවට පත් වූයේ නවසීලන්තයයි. ඔවුන්ගේ මෙම අවාසනාවන්ත ඉනිම වාර්තා වෙන්නේ ගාල්ලේ දී.

2024 වසරේ වැඩිම දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ

2024 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ කමිඳු මෙන්ඩිස්. ඔහු ඉනිම් 16ක දී ලකුණු 1049ක් ලබා ගැනීමට සමත් වෙමින් මෙම ලැයිස්තුවේ පළමු අසුනට හිමිකම් කියනවා. ඔහුගේ ඉනිම් අතර බංග්ලාදේශයට එරෙහි ව ශතක 2ක්, එංගලන්තයට එරෙහිව ශතකයක් සහ නවසීලන්තයට එරෙහි ව ශතකයක් ද ඇතුලත් අතර ගෙවී යන වසරේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් වුනේ නවසීලන්තයට එරෙහි ව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නොදැවී ලබා ගත් ලකුණු 182යි.

එය ඔහුගේ ටෙස්ට් තරග 10ක හොඳම ඉනිම බවට පත් වූ අතර එය මේ වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.

එමෙන් ම කමිඳු මෙන්ඩිස් මේ වසරේ දී ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ අවම ඉනිම් ප්‍රමාණයකින් ලකුණු 1000ක් සම්පූර්ණ කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ද ඇතුලත් වුනා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ ඉනිම 13ක දී වන අතර එය Don Bradman හා සමඟ සම දක්ෂතා දැක්වීමක් ලෙසින් ද සැලකෙනවා. ඔවුන් දෙදෙනා ම මේ වන විට එම ලැයිස්තුවේ තෙවැනි අසුනේ සම ව අසුන්ගෙන සිටිනවා.

ඔහුට අමතර ව දිනේෂ් චන්දිමාල් ද 2024 වසරේ දී ඉනිම 17ක දී ලකුණු 724ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඔහුගේ එම ලකුණු අතරට ඇෆ්ගනිස්තානයට සහ නවසීලන්තයට එරෙහි ව වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ද ඇතුලත්.

නායක ධනංජය ද සිල්වා ඉනිම 17ක දී ලකුණු 710ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ 3 වැනියා බවට පත් වෙන අතර ඔහුගේ ඉනිම් අතර බංග්ලාදේශයට එරෙහි ව එක ම තරගයේ දී වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ඇතුලත්.

ඊට අමතර ව ඇන්ජලෝ මැතිව්ස් ඉනිම 18ක දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද ශතකයක් ද සමඟින් ලකුණු 681ක් ද සහ දිමුත් කරුණාරත්න ඉනිම 19ක දී ලකුණු 534ක් ද ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු 5 දෙනා අතරට එක් වෙනවා.

ඔවුන්ට අමතර ව 2024 වසරේ දී කුසල් මෙන්ඩිස් ද ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක්වෙන අතර ඔහු ඉනිම 16ක දී ලකුණු 490ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

2024 වසරේ ශ්‍රී ලංකා ශතකලාභීන්

  Player against Ground Runs Balls 4s 6s
1 ඇන්ජලෝ මැතිව්ස් ඇෆ්ගනිස්තානය SSC 141 259 14 6
2 දිනේෂ් චන්දිමාල් ඇෆ්ගනිස්තානය SSC 107 181 10 3
3 ධනංජය ද සිල්වා බංග්ලාදේශය Sylhet 102 131 12 1
4 ධනංජය ද සිල්වා බංග්ලාදේශය Sylhet 108 179 9 1
5 කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශය Sylhet 102 127 11 2
6 කමිඳු මෙන්ඩිස් බංග්ලාදේශය Sylhet 164 237 16 3
7 කමිඳු මෙන්ඩිස් එංගලන්තය Manchester 113 183 15 1
8 පැතුම් නිස්සංක එංගලන්තය The Oval 127 124 13 2
9 කමිඳු මෙන්ඩිස් නවසීලන්තය ගාල්ල 114 173 11 0
10 දිනේෂ් චන්දිමාල් නවසීලන්තය ගාල්ල 116 208 15 0
11 කමිඳු මෙන්ඩිස් නවසීලන්තය ගාල්ල 182* 250 16 4
12 කුසල් මෙන්ඩිස් නවසිලන්තය ගාල්ල 106* 149 6 3

2024 වසරේ ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම දක්ෂතා දැක් වූ පිතිකරුවෝ

ටෙස්ට් ඉනිම් 31ක දී ලකුණු 1556ක් ලබා ගනිමින් 2024 වසරේ ලෝක ටෙස්ට් ලකුණුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් එංගලන්තයේ Joe Root, ඉන් ලකුණු 375ක් ම ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. ඔහුගේ එම ලකුණු අතරට ඓතිහාසික Lord’s ක්‍රීඩාංගණයේ දී එක ම තරගයක දී වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ද ඇතුලත්.

එමෙන් ම 2024 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ එංගලන්තයේ Ollie Pope. ඔහු දෙරට අතර පැවැති 3 වැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 154ක් ලබා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.

මේ අතර ශ්‍රී ලංකාව හා එක් වූ තරගවල දී තම ටෙස්ට් තරග දිවියේ මංගල ශතක ලබා ගැනීමට ඇෆ්ගනිස්තානයේ Ibrahim Zadran, දකුණු අප්‍රිකාවේ Ryan Rickelton, එංගලන්තයේ Jamie Smith සහ Gus Atkinson සමත් වෙද්දී තම ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ Tristan Stubbs සමත් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ව 2024 වසරේ දී ශතක ලැබූවෝ

  Player Team Ground Runs Balls 4s 6s
1 Ibrahim Zadran ඇෆ්ගනිස්තානය SSC 114 259 12 0
2 Jamie Smith එංගලන්තය Manchester 111 148 8 1
3 Joe Root එංගලන්තය Lord’s 143 206 18 0
4 Joe Root එංගලන්තය Lord’s 103 121 10 0
5 Gus Atkinson එංගලන්තය Lord’s 118 115 14 4
6 Ollie Pope එංගලන්තය The Oval 154 156 19 2
7 Tristan Stubbs දකුණු අප්‍රිකාව Durban 122 221 9 2
8 Temba Bavuma දකුණු අප්‍රිකාව Durban 113 228 9 0
9 Ryan Rickelton දකුණු අප්‍රිකාව Gqeberha 101 250 11 0
10 Kyle Verreynne දකුණු අප්‍රිකාව Gqeberha 105* 133 12 3

2024 වසරේ වැඩිම දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ

මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙන්නේ ප්‍රභාත් ජයසූරියයි. ඔහු 2024 වසරේ දී තරග 9ක ඉනිම් 18ක දී කඩුලු 48ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුනට හිමිකම් කියනවා.

මේ අතුරින් ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ නවසීලන්තයට එරෙහි ව ගාල්ලේ දී ලකුණු 42කට දවා ගන්නා ලද කඩුලු 6යි. එය මේ වසරේ දී ශ්‍රී ලාංකීය පන්දු යවන්නෙක් ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා මෙන් ම නිමා වූ ඉනිම්වල දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 4ක් ද වාර්තා කිරීමට සමත් වෙනවා.

එමෙන් ම ප්‍රභාත් ජයසූරිය මෙම වසරේ දී තම ටෙස්ට් තරග දිවියේ 100 වැනි කඩුල්ල වාර්තා කිරීමට සමත් වෙන අතර එය ඔහු විසින් සිදු කරන්නේ මෙරට ඉතිහාසයේ අඩු ම තරග සංඛ්‍යාවකින් එම දක්ෂතාවට පිවිසි පන්දු යවන්නා ලෙසයි. ඔහු මේ වෙනුවෙන් වැය කරන්නේ තරග 17ක් පමණයි.

වසරේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ඉනිම් 18ක දී කඩුලු 37ක් ලබා ගත් අසිත ප්‍රනාන්දුට ද සහ 3 වැනි ස්ථානය ඉනිම 14ක දී කඩුලු 30ක් දවා ගත් ලහිරු කුමාරට ද හිමි වෙනවා.

අසිත ප්‍රනාන්දු එංගලන්තය සමඟ පැවැති තරගාවලියේ දී කඩුලු 17ක් ලබා ගන්නා ලද අතර එය ශ්‍රී ලාංකීය වේග පන්දු යවන්නෙක් එරට දී ලබා ගන්නා ලද වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසින් ද ඉතිහාස පොතට එක් වූවා.

එමෙන් ම ඔහු එංගලන්තයට එරෙහි ව Lord’s ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය මෙරට ඉතිහාසයේ වේග පන්දු යවන්නෙක් එම ක්‍රීඩාංගණයේ දී එවන් දක්ෂතාවක් කළ 2 වැනි අවස්ථාව බවට පත් වුනා. ඊට පෙර එම දක්ෂතාව කර තිබූණේ මීට වසර 33කට පෙර රුමේෂ් රත්නායක විසිනුයි.

2024 වසරේ දී කඩුලු 5ක් ඊට වැඩියෙන් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ

  පන්දු යවන්නා ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය O M R W
1 ප්‍රභාත් ජයසූරිය ඇෆ්ගනිස්තානය SSC 47.0 10 107 5
2 කසුන් රාජිත බංග්ලාදේශය Sylhet 14.0 1 56 5
3 අසිත ප්‍රනාන්දු එංගලන්තය Lord’s 24.0 2 102 5
4 ප්‍රභාත් ජයසූරිය නවසීලන්තය ගාල්ල 30.4 7 68 5
5 ප්‍රභාත් ජයසූරිය නවසීලන්තය ගාල්ල 18 6 42 6
6 නිශාන් පීරිස් නවසීලන්තය ගාල්ල 33.4 4 170 6
7 ප්‍රභාත් ජයසූරිය දකුණු අප්‍රිකාව Gqeberha 34.0 2 129 5

2024 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ

ටෙස්ට් ඉනිම් 21ක දී කඩුලු 52ක් දවා ගනිමින් මේ වසරේ වැඩිම ටෙස්ට් කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමිකර ගෙන සිටින එංගලන්තයේ Gus Atkinson එම දක්ෂතාවට පිවිසීමේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 3ක දී කඩුලු 12ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. එය මේ වසරේ දී පිටස්තර ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට එරෙහි ව දැක් ව ඉහළ ම දක්ෂතාවයි.

මේ අතර දකුණු අප්‍රිකාවේ Marco Jansen ගේ ටෙස්ට් තරග 16ක හොඳම පන්දු යැවීම බවට පත් කරන්නේ ශ්‍රී ලංකාව සමඟින් පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 13කට දවා ගන්නා ලද කඩුලු 7යි.

2024 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් පන්දු යවන්නෝ

  පන්දු යවන්නා කණ්ඩායම ක්‍රීඩාංගණය O M R W
1 Gus Atkinson එංගලන්තය Lord’s 16.0 4 62 5
2 Will O’Rourke නවසීලන්තය ගාල්ල 18.5 4 55 5
3 Ajaz Patel නවසීලන්තය ගාල්ල 30 8 90 6
4 Marco Jansen දකුණු අප්‍රිකාව Durban 6.5 1 13 7
5 Dane Paterson දකුණු අප්‍රිකාව Gqeberha 22 4 71 5
6 Keshav Maharaj දකුණු අප්‍රිකාව Gqeberha 25.0 3 76 5

මෙම දක්ෂතාවලට අමතර ව මේ වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙන් ම ශ්‍රී ලංකාවට එරෙහි ව ද ටෙස්ට් තරග මංගල වරම් හිමිකර ගැනීමට ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම සමත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික ගුණසේකර ඇෆ්ගනිස්තානය සමඟ SSC ක්‍රීඩාංගණයේ දී ද මිලාන් රත්නායක එංගලන්තයට එරෙහි ව Manchester හි දී ද සහ නිශාන් පීරිස් නවසීලන්තයට එරෙහි ව ගාල්ලේ දී මංගල ටෙස්ට් වරම් හිමි කර ගන්නවා.

ඒ අතුරින් මිලාන් රත්නායක තම පළමු ටෙස්ට් තරගයේ දී ම ලෝක ටෙස්ට් වාර්තා පොත් අතරට එක් වීමට සමත් වීම කැපී පෙණෙනවා. එම තරගයේ දී ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබා ගන්නවා.

එම ඉනිම ලෝක ටෙස්ට් තරග ඉතිහාසයට එක් වෙන්නේ අංක 9 පිතිකරු ලෙසින් පිටියට පිවිස වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙමිනුයි. එම වාර්තාවට මිලාන් රත්නායක හිමිකම් කියන්නේ වසර 41කට පසුව වීමත් විශේෂත්වයක්.

එමෙන් ම කෝඩුකාරයෙක් ලෙසින් පිටියට පිවිසි පළමු තරගයේ දී ම කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් සමත් වීම ද මේ වසරේ දී කැපී පෙණෙන දක්ෂතාවක්. ඔහු නවසීලන්තයට එරෙහි ව 2 වැනි ඉනිමේ දී ලකුණු 170කට කඩුලු 6ක් දවා ගන්නවා.

මේ අතර ඇෆ්ගනිස්තානයේ Mohammad Saleem, Naveed Zadran, Noor Ali Zadran සහ Zia-ur-Rehman ද බංග්ලාදේශයේ Nahid Rana සහ Hasan Mahmud ද මෙන් ම එංගලන්තයේ  Josh Hull ද මේ වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව ටෙස්ට් වරම් හිමිකර ගන්නවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<