කුසල්, පැතුම්, චරිත්, වනිඳු පිනුම් ගැසූ 2024 එක්දින පිටිය

50
Road of Sri Lanka ODI in 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ සාර්ථක ව ගත කළ වසරක් ඊයේ (19) අවසන් වූ නවසීලන්තය සමඟ තරගාවලියත් සමඟින් නිමා කරනවා. 2024 වසරේ දී ඔවුන් සහභාගී වූ අවසන් එක්දින තරගය වූයේ පල්ලෙකැලේ දී විසඳුමකින් තොරව නිමා වූ එම තරගයයි.

එම තරගයෙන් අනතුරු ව ඔවුන්ට නැවතත් එක්දින ජාත්‍යන්තර තරගයක් යෙදී ඇත්තේ එළැඹෙන වසරේ ජනවාරි මාසයේ යෙදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 වසරේ එක්දින ජාත්‍යන්තර තරග නිමා වූ ආකාරය

  ප්‍රතිවාදීන් ප්‍රතිඵලය ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 සිම්බාබ්වේ විසඳුමක් නෑ. ආර්. ප්‍රේමදාස
2 සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්. ආර්. ප්‍රේමදාස ජනිත් ලියනගේ
3 සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. ආර්. ප්‍රේමදාස වනිඳු හසරංග
4 ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්. පල්ලෙකැලේ පැතුම් නිස්සංක
5 ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට ලකුණු 155ක ජයක්. පල්ලෙකැලේ චරිත් අසලංක
6 ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්. පල්ලෙකැලේ පැතුම් නිස්සංක
7 බංග්ලාදේශය බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්. Chattogram Najmul Hossain Shanto
8 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්. Chattogram පැතුම් නිස්සංක
9 බංග්ලාදේශය බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්. Chattogram Rishad Hossain
10 ඉන්දියාව ලකුණු සමයි ආර්. ප්‍රේමදාස දුනිත් වෙල්ලාලගේ
11 ඉන්දියාව ශ්‍රී ලංකාවට ලකුණු 32ක ජයක්. ආර්. ප්‍රේමදාස ජෙෆ්රි වැන්ඩර්සේ
12 ඉන්දියාව ශ්‍රී ලංකාවට ලකුණු 110ක ජයක්. ආර්. ප්‍රේමදාස අවිශ්ක ප්‍රනාන්දු
13 බ.ඉ. කොදෙව් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්. පල්ලෙකැලේ චරිත් අසලංක
14 බ.ඉ. කොදෙව් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්. පල්ලෙකැලේ මහීෂ් තීක්ෂණ
15 බ.ඉ. කොදෙව් බ. ඉ. කොදෙව්වන්ට කඩුලු 8ක ජයක්. පල්ලෙකැලේ Evin Lewis
16 නවසීලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 45ක ජයක්. දඹුල්ල කුසල් මෙන්ඩිස්
17 නවසීලන්තය ශ්‍රී ලංකාවට ලකුණු කඩුලු 3ක ජයක්. පල්ලෙකැලේ කුසල් මෙන්ඩිස්
18 නවසීලන්තය විසඳුමක් නෑ. පල්ලෙකැලේ

2024 වසරේ ශ්‍රී ලංකාවේ එක්දින ජාත්‍යන්තර තරග ආරම්භය සේ ම අවසාන තරගය ද විසඳුමකින් තොරව අවසන් වූව ද නිමා වූ තරග 18කින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ 12ක් ලබා ගැනීමට සමත් වෙනවා.

ජයග්‍රහණය කළ තරගාවලි අතර මේ වෙද්දීත් ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතර අංක 1 ස්ථානයේ ලැගුම්ගෙන සිටින ඉන්දියාව, අංක 5 ස්ථානයේ රැඳී සිටින නවසීලන්තය මෙන් ම අපට වඩා පහළින් ශ්‍රේණිගත ව සිටින ඇෆ්ගනිස්තානය (8), බටහිර ඉන්දීය කොදෙව්වන් (10) සහ සිම්බාබ්වේ (13) කණ්ඩායම් ඒ අතර වෙනවා. එක්දින ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ රැඳී සිටින අප ගෙවීගිය වසරේ දී පරාජිත එක ම කණ්ඩායම වන බංග්ලාදේශය රැඳී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.

නිමා වූ වසරේ එක්දින නායකයෝ

ගෙවී ගිය වසර ආරම්භයේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම් හී යෙදී සිටිය ද නිමා වූ තරගාවලි 3ක් අවසානයේ දී ඔහුගෙන් එම කිරුළ ගලවා චරිත් අසලංක වෙත බාර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයෝ කටයුතු කරනවා. ඒ වෙද්දී කුසල් සිම්බාබ්වේ තරගාවලිය තරග 2-0ක් ලෙසින් ද සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය තරග 3-0ක් ලෙසින් ද ජයග්‍රහණය කර තිබූ අතර ඊට පසුව පැවැති බංග්ලාදේශය හා තරගාවලිය තරග 2-1ක් ලෙසින් පරාජය වී තිබුණා.

අනතුරු ව ශ්‍රී ලංකා නායකත්වයේ වගකීම චරිත් අසලංක වෙත පැවැරෙන අතර ඒ අනුව ඔහු නායකත්වයට පත් වූ පළමු තරගාවලිය සාර්ථක ජවයකින් නිමා කිරීමට ඔහු සමත් වෙනවා. ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා සමඟ පැවැති එම තරගාවලියේ පළමු තරගය ලකුණු සම වීමෙන් අවසන් වෙන අතර ඉතිරි තරග ද්විත්වය ජයග්‍රහණය කරමින් තරග 2-0ක් ලෙසින් තම මංගල තරගාවලිය ජයග්‍රහණයෙන් සැමරීමට චරිත් සමත් වෙනවා.

ඉන් අනතුරු ව නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ද සහ ආසන්නත ම තරගාවලිය වූ නවසීලන්ත තරගාවලිය තරග 2-0ක් ලෙසින් ද ජයග්‍රහණය කිරීමට චරිත් ගේ නායකත්වයට හැකි වෙනවා.

නිමා වූ වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව Craig Ervine (සිම්බාබ්වේ), Hashmatullah Shahidi (ඇෆ්ගනිස්තානය), Najmul Hossain Shanto (බංග්ලාදේශය), Rohit Sharma (ඉන්දියාව), Shai Hope (බටහිර ඉන්දීය කොදෙව්) සහ Mitchell Santner (නවසීලන්තය) නායකත්වයේ කිරුළු පළදිමින් පිටියට පිවිසියා.

නිමා වූ වසරේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ

මේ වසරේ මෙතෙක් නිමා වූ තරග අතුරින් වැඩිම ලකුණුලාභියා ලෙස අභිශේක ලබා ඇත්තේ කුසල් මෙන්ඩිස්. ඔහු මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ තරග 17ක දී ලකුණු 742ක් ලබා ගනිමිනුයි. ඔහුගේ මෙම දක්ෂතාව මෙතෙක් මේ වසරේ දී ලෝක එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවෙක් ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් වෙනවා.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන ත්‍රිත්වය ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු කර ගෙන තිබිම තවත් විශේෂත්වයක් ලෙසින් හැඳින්විය හැකියි. ඒ අනුව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ චරිත් අසලංක මෙම ලැයිස්තුවේ පළමු අසුන් ත්‍රිත්වය වෙන්කර ගෙන තිබෙනවා.

ලෝක එක්දින තරග ඉතිහාසයේ මේ වසරේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවෝ

  Player Team Mat Inns NO Runs HS Ave 100 50
1 කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව 17 17 3 742 143 53.0 1 6
2 පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව 12 12 1 694 210* 63.0 3 2
3 චරිත් අසලංක ශ්‍රී ලංකාව 18 16 4 605 101 50.4 1 4
4 Harsh Thaker කැනඩාව 15 15 3 553 111* 46.0 2 2
5 Rahmanullah Gurbaz ඇෆ්ගනිස්තානය 11 11 0 531 121 48.2 3 2

 (දත්ත: 2024 නොවැම්බර් මස 19 වැනි දින දක්වා පමණයි)

එක්දින තරග පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් පෑ දක්ෂතා අතර වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය කුසල් මෙන්ඩිස් සතු කර ගනිද්දී පැතුම් නිස්සංක වඩාත් කැපී පෙණෙන පිතිකරු බවට පත් වෙනවා.

ඔහු ඊට එක් වෙන්නේ මේ වසරේ තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද උසුලා ගනිමිනුයි. ඇෆ්ගනිස්තානය එරෙහි ව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති 1 වැනි එක්දින තරගයේ දී පැතුම් පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 201ක් ලබා ගන්නා ලද අතර එය මේ වසරේ ලෝක එක්දින පිටියට එක් වූ එක ම ද්විත්වය ද වූවා.

එමෙන් ම පැතුම් ඊට අමතර ම නැවතත් ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලකුණු 118ක් ද සහ බංග්ලාදේශයට එරෙහි ව Chattogram හි දී ලකුණු 114ක් ද ලබා ගනිමින් මේ වසරේ දී ශතක ත්‍රිත්වයක් තම ගිණුමට එක් කරනවා. මේ වසරේ ඔහුත් සමඟින් එවන් දක්ෂතාවක් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbaz පමණයි.

නිමා වූ වසරේ තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කිරීමට පැතුම් අමතර ව තවත් පිතිකරුවෝ සිව් දෙනෙක් සමත් වෙනවා. ඒ අතර කුසල් මෙන්ඩිස් නවසීලන්තයට එරෙහි ව දඹුල්ලේ දී ලකුණු 143ක්, ජනිත් ලියනගේ බංග්ලාදේශයට එරෙහි ව Chattogram හි දී නොදැවී ලකුණු 101ක්, චරිත් අසලංක සිම්බාබ්වේට එරෙහි ව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ලකුණු 101ක් සහ අවිශ්ක ප්‍රනාන්දු දඹුල්ලේ දී නවසීලන්තයට එරෙහි ව ලකුණු 100ක් ද ලබා ගන්නවා.

මේ අතුරින් වසරේ වේගවත් ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගන්නේ පැතුම් නිස්සංකයි. ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහි ව පැවැති 3 වැනි තරගයේ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 89ක දී ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා.

ඊට අමතර ව කුසල් මෙන්ඩිස් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පල්ලෙකැලේ දී පැවැති 3 වැනි තරගයේ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 19ක දී ලකුණු 50ක් වාර්තා කරන ලද අතර එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය ලෙසින් වාර්තා පොත් අතරට එක් වුනා.

ප්‍රතිවාදී පිතිකරුවන් අතුරින් ඇෆ්ගනිස්තානයේ  Azmatullah Omarzai (149* – පල්ලෙකැලේ දී), ඇෆ්ගනිස්තානයේ Mohammad Nabi (136 – පල්ලෙකැලේ දී), බංග්ලාදේශයේ Najmul Hossain Shanto (122* – Chattogram හි දී) සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී Evin Lewis ( 102* – පල්ලෙකැලේ දී) ශ්‍රී ලංකාවට එරෙහිව ශතක ලැබූ පිතිකරුවන් ලෙසින් මේ වසරේ වාර්තා වුනා.

මේ අතුරින් ශ්‍රී ලංකාවට එරෙහි ව වේගවත් ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai සතු වෙනවා. ඔහු පල්ලේකැලේ දී පැවැති 3 වැනි තරගයේ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 89ක දී මෙම ශතකය වාර්තා කරනවා.

එමෙන් ම බටහිර ඉන්දීය කොදෙව් හී Sherfane Rutherford පල්ලෙකැලේ දී පැවැති තෙවැනි තරගයේ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 26ක දී වාර්තා කරන ලද ලකුණු 50 විදෙස් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද වේගවත් ම අර්ධ ශතකය බවට පත් වුනා.

නිමා වූ වසරේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ

මේ වසරේ මෙතෙක් නිමා වූ තරග අතුරින් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වෙන්නේ වනිඳු හසරංග යි. ඔහු මෙරට ලැයිස්තුවේ පමණක් මෙතෙක් මේ වසරේ දී නිමා ලෝක තරග ලැයිස්තුවේ ද පළමු ස්ථානය හිමිකර ගෙන සිටිනවා.

  Player Team Mat Over Runs Wkts Best 4 5
1 වනිඳු හසරංග ශ්‍රී ලංකාව 10 75.4 403 26 7/19 3 1
2 Dilon Heyliger කැනඩාව 14 116.4 578 26 5/31 2 1
3 Aryan Dutt නෙදර්ලන්තය 12 102.0 393 21 6/34 1
4 Nosthush Kenjige ඇමෙරිකාව 12 101.0 438 20 4/52 1
5 Kaleem Sana කැනඩාව 11 95.4 367 19 4/30 2

 (දත්ත: 2024 නොවැම්බර් මස 19 වැනි දින දක්වා පමණයි)

වනිඳු හසරංග නිමා වූ වසරේ දී කඩුලු 26ක් ලබා ගනිද්දී ඔහුත් සමඟින් කැනඩාවේ Dilon Heyliger ද එහි සම ව අසුන් ගන්නවා. කෙසේ වෙතත් වනිඳු සිම්බාබ්වේ සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ දී පැවැති 3 වැනි තරගයේ දී ලකුණු 19කට කඩුලු 7ක් දවා ගන්නා ලද අතර එය මේ වසරේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

එය ඔහුගේ තරග 58ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වුනා.

ඊට අමතර ව ජෙෆ්රි වැන්ඩර් සේ තරග 8ක දී කඩුලු 15ක් දවා ගනිමින් ද සහ මහීෂ් තීක්ෂණ තරග 13ක දී කඩුලු 15ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවට සම කඩුලු දවා ගනිමින් එකතු වෙනවා.

ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දියාව සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී නිමා වූ 2 වැනි තරගයේ දී ලකුණු 33කට කඩුලු 6ක් දවා ගන්නා ලද එය ඔහුගේ තරග 28ක් වන එක්දින තරග පිටියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත් කර ගත්තා.

දුනිත් වෙල්ලාල ද නිමා වූ වසරේ දී ඉන්දියාවට එරෙහි ව ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැති 3 වැනි තරගයේ දී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ද ඔහුගේ තරග 27ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම දක්ෂතාව බවට පත් වුනා.

කණ්ඩායම් දක්ෂතා

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දී තරගයක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ඇෆ්ගනිස්තානයට එරෙහි ව පල්ලෙකැලේ දී කඩුලු 3කට ලබා ගත් ලකුණු 381යි. එමෙන් ම එම තරගයේ දී ම ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 339ක් ලබා ගන්නා ලද එය ප්‍රතිවාදී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ Chattogram හි දී ලකුණු 235කට දැවී ගිය අතර එය මේ වසරේ ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ ශ්‍රී ලංකාව දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා. ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැති තෙවැනි තරගයේ දී ලකුණු 96කට දවා ලූ අතර එය ශ්‍රී ලංකාව ඉදිරියේ ප්‍රතිවාදී කණ්ඩායමක් මේ වසරේ දී දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් ක්‍රීඩකයෝ

නිමා වූ වසරේ දී ජනිත් ලියනගේ (සිම්බාබ්වේ), ෂෙවෝන් ඩැනියෙල් (සිම්බාබ්වේ) මොහොමඩ් ශිරාස් (ඉන්දියාව) නිශාන් මධුශ්ක (බටහිර ඉන්දීය කොදෙව්) සහ චමිඳු වික්‍රමසිංහ (නවසීලන්තය) එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගැනීමට සමත් වූනා.

මේ අතුරින් තමන් සහභාගී වූ මංගල තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නිශාන් මධුශ්ක සමත් වීම කැපී පෙනුනා.

ප්‍රතිවාදී කණ්ඩායම් අතුරින් සිම්බාබ්වේ Faraz Akram සහ Tapiwa Mufudza, බටහිර ඉන්දීය කොදෙව්වන් හී Jewel Andrew, නවසීලන්තයේ Mitchell Hay, Nathan Smith, Tim Robinson සහ Zakary Foulkes එක්දින වරම් දිනා ගත්තා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<