Ritzbury John Tarbat මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා දින වකවානු තහවුරුයි

John Tarbat Athletics Championship 2025

49
Ritzbury John Tarbat Athletics Championship

CBL Foods International (Pvt) Ltd හි ප්‍රමුඛතම සන්නාමයක් වන Ritzbury විසින් නොකඩවා 14 වැනි වසරටත් Ritzbury Sir John Tarbat මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සමඟ අත් වැල් බැඳ ගෙන තිබෙනවා.

ඒත් සමඟම මෙවර තරගාවලිය සඳහා පාසල් 1300ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30000කට අධික ප්‍රමාණයක් සහභාගී වනු ඇතැයි ද අනුමාන කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකිය හැකි මෙම මලල ක්‍රීඩා ශූරතාවලියේ ආරම්භය එළඹෙන අප්‍රේල් මස 09 දිනයේ දී සනිටුහන් වනු ඇති.

Ritzbury Relay Carnival තරගාවලිය අප්‍රේල් මස 09 සිට 11 දක්වා දියගම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඉන් පසුව 54 වැනි Ritzbury John Tarbat කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි මාසයේ දී දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති.

මැයි 17 සහ 18 දින වල දී දකුණු, සබරගමු පළාත් සහ මොනරාගල දිස්ත්‍රික් පාසල් තරග බෙලිඅත්තේ දී පැවැත්වීමට නියමිත අතර, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරඟ ජුනි මස 19 සහ 20 යන දිනවල දී ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව මධ්‍යම, වයඹ පළාත් සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා තරග ජුනි 04 – 06 දක්වාත්, කළුතර සහ කොළඹ දිස්ත්‍රික් සඳහා තරග ජුනි 02-04 දක්වාත්, උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා තරග ජුලි 16-17 දින වල දීත්, නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තරග ජුලි 19-20 දිනවල දීත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩ යටතේ, එළඹෙන ඔක්තෝබර් මස 10 සිට 13 දක්වා John Tarbat ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අනාගතයේ දී ජාත්‍යන්තර මට්ටමෙන් මෙන්ම, ඔලිම්පික් මට්ටම දක්වා යාමට අරමුණු ඇති ක්‍රීඩක/ක්‍රීඩිකාවන් තෝරා ගනිමින්, ඔවුන්ගේ ගමනට ශක්තියක් වීම වෙනුවෙන් Ritzbury විසින් ක්‍රියාත්මක කරන “මව්බිමට වීරයෙක්” වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක වන අතර, මෙවර මේ මගින් ඉලක්ක කරනා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 28 සිට 65ක් දවා ඉහළ දමා තිබීමත් විශේෂත්වයක්. මේ අතුරින් බහුතරයක් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මෙම John Tarbat මලල ක්‍රීඩා ශූරතාවලිය හරහා තෝරා ගැනෙනු ඇති.

දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>