Ritzbury සහය දිවීමේ සැණකෙළිය උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

Riztbury All Island Relay Carnival 2024

34
Ritzbury All Island Relay Carnival 2024

Riztbury ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන Riztbury සහය දිවීමේ සැණකෙළියේ දෙවැනි අදියර ඊයේ (02) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

දිවයිනම ආවරණය කරමින් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර දෙවැනි අදියර බදුල්ල වෙත ගෙන යාමට තීරණය කර තිබීම විශේෂත්වයක්.  

තරගාවලියේ පළමු දිනය වැඩි වශයෙන් මූලික වටයේ තරග සඳහා වෙන්ව තිබූ අතර පළමු දින සවස්වරුවේ දී බාලක සහ බාලිකා මීටර් 4×200 සහය දිවීමේ අවසන් තරග පැවැත්වුණා.  

එහි අවුරුදු 14න් පහළ බාලක ඉසව්වේ ජයග්‍රහණය මිනිත්තු 1:41.7ක කාලයකින් අවසන් කළ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය විසින් ජයග්‍රහණය කරද්දී, එම වයස් කාණ්ඩයේ බාලිකා තරගය ජයග්‍රහණය කළේ මීගමුව Ave Maria ක්‍රීඩිකාවන් විසිනුයි.  

මිනිත්තු 1:33.3 ක කාලයකින් තරගය අවසන් කරමින් අවුරුදු 16න් පහළ බාලක තරගයේ ජයග්‍රහණය ලැබීමට වෙන්නප්පුව ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වූ අතර ගම්පහ සිරිකුරුස බාලිකා ක්‍රීඩිකාවන් එම වයස් කාණ්ඩයමේ බාලිකා ඉසව්ව (මිනිත්තු 1:54.6) ජයග්‍රහණය කළා.  

අවුරුදු 18න් පහළ මීටර් 4×200 බාලක තරගය මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩකයින් මිනිත්තු 1:30.2ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කරද්දී,  මිනිත්තු 1:46.0ක කාලයකින් තරගය අවසන් කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම එම වයස් කාණ්ඩයේ බාලිකා තරගය ජයග්‍රහණය කළා. 

මීටර් 4×200 තරග කාණ්ඩයේ රඳවා ගත් ආධිපත්‍ය තව දුරටත් පෙන්නුම් කරමින් අවුරුදු 20න් පහළ පිරිමි තරගය මිනිත්තු 128.3ක කාලයකින් අවසන් කර ජයග්‍රහණය ලැබීමට මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩකයින් සමත් වූ අතර එම කාණ්ඩයේ කාන්තා තරගය ජයග්‍රහණය වත්තල ලයිසියම් ජාත්‍යනතර පාසලේ ක්‍රීඩිකාවන් විසිනුයි. 

මෙම තරගයන්ට අමතරව පළමු දිනයේ දී උණුසුම් ඉසව් කිහිපයක්ම පැවති අතර තරගාවලියේ දෙවැනි දිනයේ තරග අද (03) පැවැත්වෙනවා. 

>> තරගාවලියේ මේ දක්වා තරග ප්‍රතිඵල <<

2024 Riztbury සහය දිවීමේ සැණකෙළියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<