ඔව්, 2020 වසරේ ඔලිම්පික් උළෙල සඳහා කෙටිදුර ධාවන ශූරයෙක් සොයා ගැනීමට තරගයක් පවතිනු ඇති. ඒ මලල ක්‍රීඩා පිටියේ මොහොමඩ් අලි, නොහොත් කෙටි දුර ධාවනයේ පේලේ නොහොත් විශිෂ්ටතමයා ඔලිම්පික් තරග බිමෙන් සමුගෙන ඇති හෙයිනි.
පසුගිය ලිපි: රියෝ උණුසුම – කෙටි දුර ධාවන කිරුළට වෙනත් හිමිකරුවන් නොමැත
ඒ අනුව වසර 16කට පසු ජපානයේ ටෝකියෝ නුවරදී පිරිමී මීටර් 100, 200 සහ 100×4 ඉසව් වල රන් පදක්කම සඳහා සටනක් පවතිනු ඇති. මන්ද, උසෙයින් බෝල්ට් නම් ජැමෙයිකානු කඟවේනා, තමන් සම කල හැකි විශිෂ්ටයෙකු තුන් කල් ලොව බිහි නොවන බව ඔප්පු කරමින් ඔලිම්පික් රඟ මඬලින් සමුගත් නිසාවෙනි.
උසෙයින් බෝල්ට් ප්රමුඛ ජමෙයිකානුවන් අද පිරිමි මීටර් 100×4 අවසන් තරගයට පිවිසියේ ලොව කිසිවෙක් මෙතෙක් දක්වා නොමැති දස්කමක්, ඉතිහාස පොතේ රන් අකුරින් ලිවීම සඳහායි. ”ත්‍රිත්ව-ත්‍රිත්වය” නැතහොත් Triple-Triple ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ මුවග රැව්දුන් වදනක් විය. ඔලිම්පික් කෙළිබිමේ වේගවත්ම ඉසව් තුනේම රන් පදක්කම් දිනා ගැනීම ලොව ඉතාම විශිෂ්ට ගනයේ ක්‍රීඩකයන් අතලොස්සක් පමණක් දක්වා ඇති දස්කමකි. නමුත් නොකඩවා තුන් වරක් එම දස්කම දැක්වූ කෙනෙක් වේ නම් ඔහු විශිෂ්ටතමයා බව අවිවාදිතයි.
උසෙයින් බෝල්ට් විශිෂ්ටතමයා බව තහවුරු කිරීමට ඔහුගේ අවසන් තරගයේදී වගකීම පැවරුනේ අසාෆා පවෙල්, නිකෙල් අශ්මීඩ් සහ යොහාන් බ්ලේක් හටයි. තම ධාවන සගයාගේ ඔලිම්පික් සමුගැනීමේ සාදය සඳහා සව්දිය පිරීම නිසි අයුරින් සිදු කල ඔවුන් පළමු කොටස් තුනම හොඳ කාලයකින් අවසන් කරමින් අවසන් ධාවකයා වූ බෝල්ට් අතට යෂ්ටිය භාර දුන්නේ අනෙක් සියලු කණ්ඩායම් වලින් දැඩි අභියෝගයක් එල්ලවෙමින් පැවති අවස්ථාවකයි.
කෙසේවෙතත් රන් පදක්කමට තරගයක් පැවතුනේ යෂ්ටිය බෝල්ට් අතට පත්වන තුරු පමණයි. එතැන් පටන් අවසන් මීටර් 100 තම පෞද්ගලික අයිතියට පවරාගත් ඔහු කිසිදු අභියෝගයකින් තොරව තම ත්‍රිත්ව ත්‍රිත්වය සම්පූර්ණ කරන්නට සමත් විය. ජැමෙයිකාවට තිබු එකම අභියෝගය ලෙස බොහෝ දෙනා හැඳින්වූ ඇමරිකානුවන්ට සිදුවූයේ රිදී පදක්කම සඳහා ජපන් ක්‍රීඩකයන් සමග තරග වදින්නටයි.
ජැමෙයිකානු කඟවේනාගේ අවසන් ඔලිම්පික් නාටකය තවත් රසවත් කල ජපන් ක්‍රීඩකයන් කෙටිදුර ධාවන ලෝකයේ ජැමෙයිකාවේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන ඇමරිකාව මෙම ඉසව්වේ තුන්වන ස්ථානය දක්වා පහතට ඇද දමන්නට සමත්විය. නමුත් ඔවුන්ට ලෝකඩ පදක්කම හෝ හිමිනොවුනේ පළමු යෂ්ටි හුවමාරුවේදී අදාළ හුවමාරු කලාපය ඉක්මවා යාමේ වරදට ඔවුන් තරගයෙන් ඉවත් කල කණ්ඩායමක් ලෙසට විනිසුරුවන් විසින් නම් කිරීම හේතුවෙනුයි.
මේ අනුව මීටර් 200 අවසන් පූර්ව තරගයේදී උසෙයින් බෝල්ට් සමග අවසන් මීටර් කිහිපය තුල හාස්‍යජනක ධාවනයක යෙදෙමින් ලෝකයේ අවධානය දිනාගත් අන්ඩ්‍රෙ ඩි ග්‍රාස් ප්රමුඛ කැනේඩියානු කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය.
18 හැවිරිදි යෞවනයෙක් ලෙස 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලට එක්වුවත් ආබාධයක් හේතුවෙන් එහිදී ඔහු සහභාගීවූ එකම ඉසව්වේ පළමු වටයෙන් ඉවත් වුවත් එතැන් පටන් ඔලිම්පික් කෙලිබිමෙදී කිසිවෙකුටත් දෙවැනි නොවූ උසෙයින් ලියෝ බෝල්ට් යන නාමය මලල ක්‍රීඩාවේ විශිෂ්ටතමයා ලෙස සදාකල් වැජඹෙනු නොඅනුමානය.
වාසනාව ලැබූ ඇමරිකාව කාන්තා 100x4 ග්‍රහණය රඳවා ගනී.
2012 වසරේ සිට කාන්තා මීටර් 100×4 සහය ඉසව්වේ ආධිපත්‍ය නැවත හිමි කරගත් ඇමරිකානු ක්‍රීඩිකාවන් මෙවරත් එම කිරුළ තමන් සතුවම රඳවා ගන්නට සමත්විය. එම ඉසව්වේ අවසන් තරගයේදී ජැමෙයිකානු ක්‍රීඩිකාවන්ගේ අභියෝගය පහසුවෙන් ජයගන්නට ඇමරිකානුවන්ට හැකිවූ අතර ඔවුන් තරගය අවසන් කලේ තත්ත්පර 0.35ක වාසියක් සමගයි.
කාන්තා දුර පැනීමේ රන් පදක්කම දිනාගත් ටියානා බාර්ටලේටා, ධාවන ඉසව් රැසක දක්ෂතා ඇති ඇලිසන් ෆෙලික්ස්, ඉංග්ලිෂ් ගාඩ්නර් සහ කාන්තා මීටර් 100, 200 රිදී පදක්කම් ලාභී ටෝරි බෝවී ඇමරිකානු කණ්ඩායමට ඇතුලත් විය. ජමෙයිකා කණ්ඩායමට මීටර් 100 සහ 200 රන් පදක්කම්ලාභී එලීනා තොම්සන්, හිටපු මීටර් 100 ශූරී ෂෙලී ඈන් ෆ්‍රෙසර් වැනි ක්‍රීඩිකාවන් ඇතුලත් වුවත් ඔවුන්ට හිමිවුණේ රිදී පදක්කමයි.
ග්‍රීසිය කාන්තා රිටි පැනීමේ රන් පදක්කම දිනා ගනී.
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ග්‍රීසියේ එක්ටෙරීනි ස්ටෙෆන්ඩි සමත් විය. ඒ මීටර් 4.85ක දස්කමක් සමගිනි. ඇමරිකාවේ සැන්ඩි මොරිස් ද එම උස තරණය කරන්නට සමත් වුවත් 4.70 තරණය කිරීම සඳහා වැඩි අවස්ථා සංඛ්‍යාවක් භාවිත කිරීම නිසා ඇයට හිමිවුණේ රිදී පදක්කමයි.
චීනයට වටිනා රන් ජයක්
මෙවර පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පැමිණීම සඳහා මහා බ්‍රිතාන්‍ය සමග දැඩි සටනක නියැලී සිටින චීනයට වටිනා රන් පදක්කමක් දිනා දෙන්නට හොං ලියු සමත් විය. ඒ කාන්තා කිලෝමීටර් 20 ඇවිදීමේ ඉසව්ව ජය ගනිමිනි. ලියු රන් පදක්කම සඳහා වාර්තා කළ කාලය පැය 1යි මිනිත්තු 28යි තත්ත්පර 35ක්.චීනයට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමද හිමිවූ අතර රිදී පදක්කම දිනා ගන්නට මෙක්සිකානු ක්‍රීඩිකාවක් සමත්විය.
කාන්තා හොකී ජය මහා බ්‍රිතාන්‍යට
ඔලිම්පික් පදක්කම් සටහනේ දෙවන ස්ථානය සඳහා චීනය සමග සටන් වදින මහා බ්‍රිතාන්‍ය කාන්තා හොකී රන් පදක්කමට හිමිකම් කියන ලදී. ඒ අවසන් තරගයේදී නෙදර්ලන්තය දඬුවම් පහර 2-0ක් ලෙස පරාජය කරමිනුයි. තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවුනේ ගෝල 3 බැගින් ලබා ගනිමින්.
චීනයට ප්‍රබල අභියෝගයක්
2008 වසරෙන් පසු පළමු වරට පදක්කම් සටහනේ 3 වන ස්ථානය දිනා ගනිමින් ඔලිම්පික් උළෙල අවසන් කිරීමේ අවමානයෙන් ගැලවීම සඳහා චීනයට මහත් සටනක් දීමට සිදුව ඇත. ඒ මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමේ විශිෂ්ට දස්කම් හේතුවෙනුයි. මේ වනවිට චීනයට වඩා රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 4ක් දිනා සිටින මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමට වඩා අවසන් දින 2 තුලදී රන් පදක්කම් 3ක් හෝ රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 5ක් දිනා ගන්නට චීනයට නොහැකි වුවහොත් බ්‍රිතාන්‍ය ඔලිම්පික් ඉතිහාසයේ වසර 108කට පසු ඉහලම දස්කම සටහන් කරන්නට ඔවුන්ට හැකිවනු ඇති.
හෙටත් රියෝ උණුසුම රැගත් ලිපියකින් හමුවෙමු, ඔබට ක්‍රීඩාශීලී දවසක්!
– අද දිනට පදක්කම් සටහන –
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට