පිරිමි මීටර් 200 ඉසව්වේ රන් පදක්කම නොකඩවා 3වන වරටත් දිනාගත් ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් නූතන ඔලිම්පික් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම කෙටිදුර ධාවකයා තමන් බව යලි යලිත් තහවුරු කළා පමණක් නොව මෑත අනාගතයේ තම දස්කම් අසලට හෝ පැමිණි ක්‍රීඩකයෙක් මෙලොව බිහි නොවනු ඇති බවටත් ඉඟි පල කරන ලදී.

පසුගිය ලිපි: රියෝ උණුසුම – ඉතිහාසය අලුත් කල ජපාන ක්‍රීඩිකාව

2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේදී පිරිමි මීටර් 100, 200 සහ 100×4 සහය රන් පදක්කම් දිනාගත් බෝල්ට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීත් එම පදක්කම් 3ම යලිත් තමන් සතු කරගැනීමට සමත් විය.

rio 1මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදීත් ඉන් පෞද්ගලික පදක්කම් දෙකම යලිත් දිනාගත් බෝල්ට් ඉතිහාසගත ක්‍රීඩකයෙකු යන තත්වයේ සිට අමරණීය චරිතයක් බවට පත් වන්නට තවත් අවශ්‍යව ඇත්තේ ජැමෙයිකානු කණ්ඩායමට යලිත් වරක් පිරිමි මීටර් 100×4 රන් පදක්කම දිනා දීම පමණයි.

එම රන් පදක්කමත් ජයගෙන ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මුවග රැවුදෙන ‘ත්‍රිත්ව ත්‍රිත්වය’ (Triple Triple) දිනා ගන්නට (මීටර් 100, 200, 100×4 රන් පදක්කම් 3 වරක් බැගින්) සමත් වුවහොත් එවන් අති විශිෂ්ට චරිතයක් අපගේ ජීවිත කාලය පුරාවටම යලිත් දැක ගැනීම සිහිනයක් පමණක් වනු ඇත.

පිරිමි මීටර් 200 අවසන් තරගයේදී රන් පදක්කම අවිවාදයෙන්ම බෝල්ට් හට හිමිවෙද්දී බෝල්ට්ගේ සමුගැනීමෙන් පසු මීළඟ ඔලිම්පික් රන් පදක්කම සඳහා තමන්ද ප්‍රබල තරගකරුවෙක් බව ලොවට පෙන්වූ කැනඩාවේ යොවුන් ක්‍රීඩක අන්ඩ්‍රෙ ඩි ග්‍රාස් රිදී පදක්කම දිනා ගන්නා ලදී.

මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සමග තත්පරයෙන් 100න් එකක කාල පරතරයක් රඳවාගත් ප්‍රංශ ක්‍රීඩක ක්‍රිස්ටෝපර් ලෙමිට්‍රි ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදී.

කාන්තා 100×4 මූලික වටයේ පෙරලි රැසක්.

ඊයේ රාත්‍රියේ පැවති විශේෂ සිදුවීම් වලින් පිරුණු ඉසව්ව වූයේ කාන්තා මීටර් 100×4 සහාය ඉසව්වේ මූලික වටයේ තරගයි.

එහි පලමු මූලික තරගයේදී යුරෝපා ශූරියන් වන නෙදර්ලන්ත කණ්ඩායමේ පරාජය කැපී පෙනුනි. ඔවුන්ගේ පරාජයට හේතුව වූයේ පළමු යෂ්ටි හුවමාරුවේදී සිදුවූ ප්‍රමාදයකි.

rio 2
යෂ්ටි හුවමාරුවේදි එය වැටෙන අයුරු

කාන්තා මීටර් 200 ඉසව්වේ ලෝක ශූරිය මෙන්ම මෙවර ඔලිම්පික් උළෙලේ කන්තා මීටර් 100 සහ 200 රිදී පදක්කම් ලාභිනිය වන ඩැෆ්නි ශිපර්ස් නියමිත කාලයට පෙර දෙවන කොටසේ ධාවනය ආරම්භ කිරීම මෙම යෂ්ටි හුවමාරු දෝෂයට හේතුව වූ අතර ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවූයේ 6වන ස්ථානයයි.

කෙසේ වෙතත් කාන්තා මීටර් 100×4 සහය මූලික වටයේ විශාලම නාටකය දක්නට ලැබුනේ දෙවන තරගයෙදීයි. එහිදී මෙම ඉසව්වේ ලෝක ශූරියන් මෙන්ම ලෝක වාර්තා හිමිකාරියන්ද වන ඇමරිකානු කණ්ඩායම තරගයෙන් අවලංගු වීම (DISQUALIFY) ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මවිත කල සිදුවීමක් විය.

rio 3
තනිව තරග වදින අවස්ථාවේ ඡායාරූපයක්

ඔවුන්ගේ දෙවන යෂ්ටි හුවමාරුවේදී ඇලිසන් ෆෙලික්ස් අත තිබු යෂ්ටිය ඉංග්ලිෂ් ගාඩ්නර් වෙත භාරදීමේදී එය බිම වැටීම ඔවුන්ව තරගයෙන් අවලංගු කිරීමට හේතුව විය. සහාය ධාවන ඉසව්වකදී ඕනෑම අවස්තාවක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් අත රැඳි යෂ්ටිය බිම පතිත වුවහොත් එම කණ්ඩායම තරග නීති උල්ලංඝනය කළ  කණ්ඩායමක් ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් මෙම අවලංගු කිරීමට එරෙහිව තරග තීරකයන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කල ඇමරිකානු මලල ක්‍රීඩා බලධාරීන් පැවසුවේ යෂ්ටි හුවමාරු කලාපයේදී යාබද මංතීරුවේ ධාවනයේ යෙදුනු බ්‍රසීල ක්‍රීඩිකාවක් ෆෙලික්ස්ගේ ඇඟේ හැපීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් සිදුවූ බවයි.

rio 4පසුව රූපවාහිනී කැමරා පුනරූපණ දර්ශන ආධාරයෙන් මෙම සිදුවීම පිලිබඳ අධ්‍යනය කළ ඔලිම්පික් තරග තීරකයන් පියවර ගත්තේ ඇමරිකානු කණ්ඩායමට නැවත වරක් ධාවනයේ යෙදීමට අවසර ලබා දීමටයි. මේ අනුව ඔවුන්ට අද අලුයම තනිව තරග වදින්නට සිදුවිය.

එහිදී ඇමරිකානු කණ්ඩායමේ අභියෝගය වූයේ මූලික වටයේ 8වන හොඳම කාලය වාර්තා කල චීනය අභිබවා යාමයි. ඇමරිකානුවන් තනිව තරග වැදුනත් චීනය පමණක් නොව පළමු වටයේ අනෙකුත් සියලු කණ්ඩායම් වාර්තා කල කාලය ඉක්මවන්නට ඇමරිකානු කාන්තාවන් සමත් වුණේ අවසන් තරගයේදී ජැමෙයිකාවට සිතූ තරම් පහසු අභියෝගයක් නොලැබෙන බවට තහවුරු කරමිනුයි.

මේ අනුව කාන්තා මීටර් 100×4 සහය ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙසේයි.

  • ඇමරිකාව
  • ජැමෙයිකාව
  • මහා බ්‍රිතාන්‍යය
  • ජර්මනිය
  • යුක්රේනය
  • නයිජීරියාව
  • ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ
  • කැනඩාව

පිරිමි මීටර් 100×4 මූලික වටයේ තරග වලදී විශේෂ සිදුවීම් කිසිවක් වාර්තා නොවූ අතර බොහෝදෙනා බලාපොරොත්තු වූ අයුරින්ම ජැමෙයිකාව, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු රටවල් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ජපානය, චීනය, ට්‍රිනිඩෑඩ් සහ ටුබාගෝ කණ්ඩායම සහ සත්කාරක බ්‍රසීලය පිරිමි මීටර් 100×4 අවසන් තරගයේ අනෙක් තරගකරුවන් ලෙස සුදුසුකම් ලැබීය.

හොකී රන් පදක්කම ආර්ජන්ටිනාවට

rio 5ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් පිරිමි හොකී රන් පදක්කම දිනා ගන්නට ආර්ජන්ටිනාව සමත් විය. ඒ අවසන් මහා තරගයේදී බෙල්ජියම් කණ්ඩායම ගෝල 4 – 2 ක් ලෙස පරාජය කරමිනුයි.

බෙල්ජියම මේ තරගයේ පළමු කාර්තුවේම ගෝල ලබා ගැනීම ආරම්භ කලත්, ආර්ජන්ටිනා ක්‍රීඩකයන් වැඩි කාලයක් ගත වන්නට පෙර තම ගෝල වර්ෂාව ආරම්භ කලේ තරගය අවසන් වන තුරුම එම ග්‍රහණය ගිලිහී යන්නට ඉඩ ලබා නොදෙමිනුයි. කෙසේ වෙතත් රන් පදක්කම දිනූ ආර්ජන්ටිනා කණ්ඩායම මූලික වටයේ තරගයකදී ඉන්දියාව හමුවේ පරාජය වූ කණ්ඩායමක් වීම විශේෂත්වයක්.

පිරිමි හොකී ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජර්මානු කණ්ඩායමයි. ඔවුන් හමුවේ නෙදර්ලන්තය දඬුවම් පහර 4-3ක් ලෙස පරාජය විය.

ඇමරිකානුවන් බොරු කිව්වාද?

rio 6
ඔලිම්පික් ගම්මානයට ඔවුන් ඇතුළුවෙමින්

රියෝ නුවර සංචාරයකින් පසු පෙරලා ඔලිම්පික් ගම්මානය වෙත එමින් සිටියදී අවිගත් මංකොල්ල කරුවෙක් විසින් තම වටිනා භාණ්ඩ සොරා ගත් බවට පැමිණිලි කළ ඇමරිකානු පිහිනුම් ක්‍රීඩකයන් දෙදෙනෙක් නැවත සිය රට බලා යාමට ගුවන් යානයට ඇතුළුවීමෙන් පසු යලි තම භාරයට ගන්නට බ්‍රසීල පොලීසිය කටයුතු කරන ලදී.

ඒ අදාළ පැමිණිල්ලේ ඔවුන් සඳහන් කල කරුණු පරස්පර විරෝධී බව හෙළිවීමත් සමගයි. බ්‍රසීල අධිකරණය මෙම සිදුවීමට සම්බන්ධ ඇමරිකානු පිහිනුම් පදක්කම් ලාභියෙක් ද වන රයන් ලොක්ටි හටද බ්‍රසීලයෙන් පිට නොවීමේ නියෝගයක් ලබා දුන්නද ඔහු ඒ වන විටත් ඇමරිකාව බලා පිටත්ව ගොස් අවසන්.

rio 8
ඉන්ධන පිරවුම් හලක් අසල දර්ශන

මංකොල්ලකරුවෙක් තම වටිනා භාණ්ඩ සොරකම් කල බවට ඔවුන් සඳහන් කලද, අදාළ ඇමරිකානු ක්‍රීඩකයන් එම පැමිණිල්ල කල දින ඔලිම්පික් ගම්මානය වෙත පැමිණෙන අවස්ථාවේ CCTV දර්ශන වලට අනුව ඔවුන් මංකොල්ලකෑමකට ලක්ව ඇතිබවක් නොපෙනෙන බවයි බ්‍රසීල පොලීසිය පවසන්නේ.

මෙම පැමිණිල්ල බ්‍රසීලයේ කීර්ති නාමයට හානි කිරීම සඳහා ගෙතූ සාවධ්‍ය ප්‍රකාශයක්ද? යන්න පිලිබඳ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මකයි.

වසර 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් මෞලි මංගල්‍යයේ, 2016 රියෝ ඔලිම්පික් උළෙල නිමාවට ඇත්තේ තවත් දවස් දෙකක් තරම් කාලයකි. හෙටත් හමුවෙමු තවත් රියෝ උණුසුම සපිරි ලිපියකින්. ඔබට ක්‍රීඩාශීලි දවසක්!

— අද දිනය නිමාවන විට පදක්කම් සටහන —

rio 10

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට