රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

3184

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරව නිමා වූ 65 වැනි තරගය ලෙසින් ඉතිහාස ගත වෙද්දී ය.

පළමු දිනයේ තරගයේ සියලු ගෞරවයන් මහින්දයන් දිනා ගත්ත ද, දෙවැනි දිනයේ දී එකී ගෞරවය කිසිදු අඩුවකින් තොරව රිච්මන්ඩ්වරුන් සතු කර ගැනීමට සමත් වූයේ තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සව තෑගි මේසයේ සියලුම තෑගි ද තමන් සතු කර ගනිමිනි.

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය නිමා වන විට මහින්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියහ. අද දිනයේ දී මහින්දීයයන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118ක් පමණි.

පළමු දිනය නිමා වෙද්දී හංසික වැළිහිඳ (20) සමඟින් කවිඳු එදිරිවීර (00) නොදැවී පිටියේ රැඳී සිටිය ද, ඔවුන්ට දෙවැනි දිනයේ දී තමන්ට රිසි ගමනක් යෑමට රිච්මන්ඩ් ක්‍රීඩකයන් වෙතින් ඉඩ හසර ලැබුණේ නැත. සිව්වැනි කඩුල්ල ලෙසින් කවිඳු එදිරිවීර ලකුණු 4ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සඳුන් මෙන්ඩිස් සමත් වූයේ ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි. ඒ අනුව මහින්ද ලකුණු පුවරුව 80ක් ව තිබිය දී දිනයේ පළමු කඩුල්ල වැටි ගියේය.

කිශාන්ගේ හරඹයෙන් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ජයග්‍රාහී දිනයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර 43 වැනි වරටත් පවත්වනු ලැබූ මස්ටැන්ග් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන්…

එතෙක් වේලා කඩුල්ල ආරක්ෂා කර ගනිමින් අනෙකුත් පිතිකරුවන් ද ආරක්ෂිතව ඉදිරියට රැගෙන ගිය හංසික වැළිහිඳ ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් මහින්ද ඉනිමේ කොඳුනාරටිය බිඳ දැමීමට දිලුම් සුධීර සමත් විය. හංසික පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26කි. හංසිකගේ දැවී යෑමත් සමගින් මහින්ද ලකුණු පුවරුව 80 රැඳී තිබුණි.

එතැන් සිට තරගය සියතට ගැනීමට වමතින් දඟපන්දු යැවූ දිලුම් සුධීර සහ දකුණතින් දඟපන්දු යැවූ සඳුන් මෙන්ඩිස් සමත් වූහ. කිසිදු වග විභාගයකින් තොරව ඔවුන් මහින්ද ඉනිමේ කඩුලු එකින් එක බිඳ දමුවේ කතා කරගෙන කරන්නාක් සේය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා විසින් මහින්ද ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 38ක් ඇතුළත බිඳ දමමින් පිතිකරණයෙන් ගිලිහුණ තරගය පන්දු යැවීමෙන් තමන්ගේ කර ගත්හ.

5 වැනි කඩුල්ලෙන් අනතුරුව පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් ලකුණු 10 සීමා පසු කිරීමට සමත් වූයේ නිපුන් මාලිංග (13) සහ නායක රෙෂාන් කාවින්ද (11) පමණි. අනෙකුත් පිතිකරුවන් වූ අෂේන් කණ්ඩම්බි (01), පසන් පෙතන්ගොඩ (09), ප්‍රමිත් තෙවරප්පෙරුම (02) සහ සුභානු රාජපක්ෂ (නොදැවී 02) අඩු ලකුණුවලට සීමා කරමින් වමත් සහ දකුණත් දඟපන්දු යවන්නෝ 113 වැනි ආදරවන්තයන්ගේ සටන තනිකරම තමන්ගේ කර ගත්හ.

මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ මුහුණ දුන් පන්දුවාර 54න් පන්දුවාර 40ක්ම යැවුණේ දිලුම් සුධීර සහ සඳුන් මෙන්ඩිස් විසිනි. ඔවුන් දෙදෙනා විසින් මහින්දයේ කඩුලු 10 සමසේ බෙදා ගත් අතර දිලුම් සුධීරගේ නම ඉදිරියෙන් ලකුණු 29කට කඩුලු 5ක් ලෙසින් ද, සඳුන් මෙන්ඩිස්ගේ නම ඉදිරියෙන් ලකුණු 38කට කඩුලු 5ක් සේ ලියැවුණි.

ලකුණු 52ක් පිටුපස සිට දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එම ඉනිමේ දී පන්දු 79ක දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගැනීමට දකුණත් පිතිකරු තවීෂ අභිශේක් සමත් විය.

දෙවැනි ඉනිමේ දී ද ආරම්භක කඩුල්ලට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ට සහ ආදිත්‍ය සිරිවර්ධනට ස්ථාවර ලකුණු ප්‍රමාණයකට යෑමට ඉඩ සැලසුණේ නැත. කමිඳුගේ ඉනිම ලකුණු 09 දීත්, ආදිත්‍යගේ ඉනිම ලකුණු 20 දීත් නිමා කෙරුණි. නායක ධනංජය ලක්ෂාන්ට ද ලබා ගත හැකි වූයේ ලකුණු 6ක් පමණි.

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම පිටියට පිවිසිය ද රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 45ක් වෙද්දී බිඳ දැමීමට මහින්ද විද්‍යාලය සමත් විය. අනතුරුව පිටියේ නැංගුරම් ලූ තවීෂ අභිශේක් සහ දුවින් කලංසූරිය (17) සිව්වැනි කඩුල්ලට ලකුණු 35ක් එක් කළහ.

පන්දුවෙන් දක්ෂතා දැක්වූ දිලුම් සුධීර 5 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසෙමින් තවීෂ සමඟ එක්වූ අතර ඔවුන් දෙදෙනා විසින් එම කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 70කි. දිලුම් සුධීර පන්දු 32කට මුහුණ දෙමින් ඉනිම අත්හිටුවන විට නොදැවී ලකුණු 16ක් ලබා සිටියේය.

පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ…

පන්දු යැවීමේ දී දකුණතින් ආරම්භක වේගපන්දු යැවූ නිපුන් මාලිංග ලකුණු 50කට කඩුලු 2ක් ලබා ගත් අතර කවිඳු එදිරිවීර සහ පසන් පෙතන්ගොඩ කඩුල්ල බැගින් දවා ගත්හ.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 203ක ඉලක්කයක් වෙනුවෙන් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 20ක් ලබා සිටියහ.

එම ඉනිම ආරම්භ කළ වමත් පිතිකරු නවෝද් පරණවිතාන තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අවිඳු තීක්ෂණ සමත් විය. ඒ සුනංගුවෙන්ම දෙවැනි කඩුල්ල ලෙසින් විනුර දුල්සර (02) ගේ ඉනිම නිමා කිරීමට අවිඳු සමඟින් එක්වූ අම්ෂි ද සිල්වා සමත් වූහ. තරගය නිමා වන විට හංසික වැළිහිඳ (13), කවිඳු එදිරිවීර (02) නොදැවී කඩුලු ආරක්ෂා කරගෙන සිටියහ.

පන්දු යැවීමේ දී අවිඳු ලකුණු 05කට දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරීත්වය ලබා ගත් අතර දිලුම් සුධීර, සඳුන් මෙන්ඩිස් සහ කවිඳු මෙන්ඩිස් ද පන්දු යැවීමට කැඳවූව ද, ඔවුන්ට යහපත් ප්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි විය.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ කඩුලු රැකි ක්‍රීඩක විමුද් සප්නක නම් කෙරුණ අතර දක්ෂතම පිතිකරු ලෙසින් අවසන් ඉනිමේ දී නොදැවී ලකුණු 71ක් ලබා ගත් තවීෂ අභිශේක් ද, තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් දකුණතින් දඟපන්දු යවමින් මහින්දීයයන් අමාරුවේ දැමූ සඳුන් මෙන්ඩිස් ද නම් කෙරුණි. තම මංගල ආදරවන්තයන්ගේ තරගයට සහභාගී වෙමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ දිලුම් සුධීර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.   

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (62.4) දුවින් කලංසූරිය 42, ධනංජය ලක්ෂාන් 31, දිලුම් සුධීර 25, අවිඳු තීක්ෂණ 22, පසන් පෙතන්ගොඩ 5/46, නවෝද් පරණවිතාන 3/20

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (53.4) නවෝද් පරණවිතාන 27, හංසික වැළිහිඳ 26, දිලුම් සුධීර 5/29, සඳුන් මෙන්ඩිස් 5/38

රිච්මන්ඩ් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 150 (33.0) තවීෂ අභිශේක් නොදැවී 71, ආදිත්‍ය සිරිවර්ධන 20, නිපුන් මාලිංග 2/50

මහින්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 20 (15.0) අවිඳු තීක්ෂණ 2/05

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<