පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

1922

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරමින් නිමා වූ පළමු දිනයේ (16) දී රිච්මන්ඩ් ක්‍රීඩකයන් අභිබවා මහින්ද ක්‍රීඩකයෝ දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. මහින්ද විද්‍යාලය ලැබූ එම ගෞරවයේ වැඩි ප්‍රමාණයක් හිමි කර ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක පසන් පෙතන්ගොඩ සමත් විය.

“ගාලු ආදරවන්තයන්ගේ සටන් කෙරුවාවේ පැටිකිරිය: එදා සහ අද “

දකුණුලක ගාලු පුරවරවරයට වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම කැඳවමින් පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය…

කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද එය එතරම්ම සාර්ථක තීරණයක් වූයේ නැත. දිනයේ තේ විවේකය වෙද්දී ඔවුන්ගේ ඉනිම කඩා වැටුණේ ලකුණු 170ක් ලෙසින් ලකුණු පුවරුව කියැවෙද්දීය. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මහින්ද විද්‍යාලය පළමු දිනයට කඩුල්ලේ බේල්ස් ඉවත් කෙරෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියේය. එය ද තරමක අවදානම් ලකුණු පුවරු කියැවීමකි.

තරගයේ පළමු දිනයේ දිවා විවේකය වන විට රිච්මන්ඩ්වරුන්ගේ පිතිකරු ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයන් සිව්දෙනාම ක්‍රීඩාගාරයේ විවේක ගැන්වීමට මහින්ද ක්‍රීඩකයෝ සමත් වූහ. එය ඔවුන්ගේ කඩා වැටීමේ පළමු ඇරඹුම විය. ඔවුන්ගේ පළමු ගොදුර වූයේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් වැඩි වගකීමක් දරතැයි විශ්වාස කළ කමිඳු මෙන්ඩිස් ය. රිච්මන්ඩ් ඉනිම ලකුණු 7ක් තිබිය දී කමිඳුගේ ඉනිම ලකුණු 4කට සීමා කිරීමට ප්‍රමිත් තෙවරප්පෙරුම සහ කඩුලු රකින ක්‍රීඩක විනුර දුල්සර සමත් වූහ. කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම පන්දු 13කට සීමා විය.

අනතුරුව අංක 1 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දෙන ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 10කට සීමා කරන්නට නවෝද් පරණවිතාන සමත් වූයේ පන්දුව කෙළින්ම කඩුල්ලේ තබමිනි. ඔහු ඒ වෙද්දී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගෙන සිටියේය.

අනෙක් පසින් එකින් එක කඩුලු දැවී යද්දී දිවා විවේකයට ප්‍රථමයෙන් යම් තරමකට හෝ හිස ඔසවා සිටියේ නායක ධනංජය ලක්ෂාන් ය. ධනංජය පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් ද සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී කවිඳු එදිරිවීරගේ පන්දුවකට ප්‍රමිත් තෙවරප්පෙරුම වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඔහු දැවී යන විට ලකුණු පුවරුව 58 නතර වී තිබුණි.

බෝයගොඩගේ මංගල අර්ධ ශතකය සමඟින් ත්‍රිත්වයින් ප්‍රථම ඉනිම ජය ගනී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වැනි කඳුරට නිල් මහා සටන මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ…

ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් වඩාත් විශ්වාසය දිනා සිටි තවීෂ අභිෂේක්ට ද වැඩි වේලා පිටියේ රැඳී සිටීමට මහින්ද ක්‍රීඩකයෝ ඉඩ සැලසුවේ නැත. පසන් පෙතන්ගොඩ ක්‍රියාත්මක වෙමින් කඩුලු රකින ක්‍රීඩක විනුර දුල්සරගේ ද සහාය ඇතිව අභිෂේක්ගේ ඉනිම ලකුණු 9කට සීමා කෙරුණි.

දිවා විවේකය වෙද්දී රිච්මන්ඩ් ඉනිමේ ලකුණු පුවරුව කියවුනේ කඩුලු 4කට ලකුණු 67ක් ලෙසිනි. ඒ වෙද්දී කඩුල්ලේ නොදැවී රැඳී සිටියේ දුවින් කළංසූරිය (09) සහ දිලුම් සුධීර (00) ය. ඒ වෙද්දී මහින්ද විද්‍යාලයීය නායකයා විසින් පන්දු යවන්නෝ 6 දෙනෙක් යොදා ගනිමින් පන්දුවාර 33ක් යවා තිබුණි.

රිච්මන්ඩ්වරුන්ට යම් තරමකින් හෝ සැනසීමක් ලැබුණේ දිවා විවේකයෙන් අනතුරුව ය. දුවින් කළංසූරිය සහ දිලුම් සුධීර එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 56ක් පන්දු 123ක් තුළ රැස් කරමින් ඒ සැනසීම ලබා දුන්හ. දුවින් කළංසූරිය පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටිය දී තම ඉනිම නිමා කර ගත්තේය.

ළිහිණි ගලට කොඩි ගසන්නට ගිය ආදරණීය රිච්මන්වරයෙක්ගේ මතකය

වාර්ෂික මහා ක්‍රිකට් තරග කැලැන්ඩරයේ දකුණුලක පුබුදු වන රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයේ සටන මාර්තු මස 16 සහ 17 දෙදින සුපුරුදු ගාල්ල ජාත්‍යන්තර…

ඔහුගේ දැවී යෑමත් සමඟින් දිලුම් සුධීර ද ඉතා ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීමට මහින්ද විද්‍යාලයීය පන්දු යවන්නෝ කටයුතු කළහ. දිලුම් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් ද සමඟින් ලකුණු 25කට දැවී ගියේ ලකුණු පුවරුව 134ක් වෙද්දීය.

අනතුරුව පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් ලකුණු අතරට පිවිසියේ අවිඳු තීක්ෂණ පමණි. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 22ක් ලබා ගත්තේය.

අනෙකුත් පිතිකරුවන් වූ සඳුන් මෙන්ඩිස් (04) විමුද් සප්නක (01) විශ්මිත විජේසිරි (08) සහ අම්ෂි ද සිල්වා (නොදැවී 02)  රිච්මන්ඩ් ඉනිම නිමා වෙද්දී තම දායකත්වය සපයා තිබුණි.

රිච්මන්ඩ් ඉනිමේ ප්‍රධානතම සතුරා බවට පත් වූයේ වමතින් මඳ වේගපන්දු යවන පසන් පෙතන්ගොඩ ය. ඉනිම අවසානයේ පන්දු යවන්නන් 7 දෙනෙක් මහින්දීයයන් යොදාගත් අතර ඔවුන් වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට පෙතන්ගොඩ සමත් වූයේ ලකුණු 46කට කඩුලු 5ක් දවා ගනිමිනි. ඔහු මේ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 76ක් පමණි.

වමතින් දඟපන්දු යවන නවෝද් පරණවිතාන පන්දුවාර 15ක් යමින් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් මහින්දයන්ගේ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනියා විය. ඊට අමතරව ප්‍රමිත් තෙවරප්පෙරුම සහ කවිඳු එදිරිවීර කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහින්දීයයන්ගේ කඩුලු 3ක් පන්දුවාර 32ක් තුළ හරවා යැවීමට රිච්මන්ඩ්වරුන් සමත් වූයේ ලකුණු 70ක් වෙද්දීය. මේ වෙනුවෙන් පන්දු යවන්නෝ 5 දෙනෙක් රිච්මන්ඩ් නායකයා උපයෝගී කර ගත්ත ද සාර්ථක ඵල නෙළා ගැනීමට සමත් වූයේ දිලුම් සුධීර සහ සඳුන් මෙන්ඩිස් පමණි. වමතින් දඟපන්දු යැවූ දිලුම් සුධීර පන්දුවාර 10ක් යවමින් ඉන් පන්දුවාර 5ක්ම නොයිඳුල් පන්දුවාර කර ගනිමින් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත්තේය. අනෙක් කඩුල්ලේ හිමිකාරිත්වය දකුණතින් දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස්ට හිමි විය.

මහින්ද ඉනිමේ වඩාත් ආරක්ෂිතයා වූයේ ආරම්භක පිතිකරු හංසික වැළිහිඳ ය. ඔහු දිනය අවසන් වන විට පන්දු 79කට මුහුණ දී නොදැවී ලකුණු 20ක් ලබා සිටියි. අනෙක් ආරම්භක පිතිකරු වූ නවෝද් පරණවිතාන සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවකට දැවී යද්දී ලකුණු 27ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිම පන්දු 58කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත්ව තිබුණි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 40කි.

අනතුරුව පිටියට පිවිසි විනුර දුල්සර (09) සහ කේ. කේ. කෙවින් (06) අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දිලුම් සුධීර සමත් වූයේ පන්දු 3ක් තුළය.

දිනය නිමා වෙද්දී හංසික වැළිහිඳ සමඟින් කවිඳු එදිරිවීර (00) නොදැවී පිටියේ රැඳී සිටී.

තරගය දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (62.4) දුවින් කලංසූරිය 42, ධනංජය ලක්ෂාන් 31, දිලුම් සුධීර 25, අවිඳු තීක්ෂණ 22, පසන් පෙතන්ගොඩ 5/46, නවෝද් පරණවිතාන 3/20

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 70 (32.0) නවෝද් පරණවිතාන 27, හංසික වැළිහිඳ නොදැවී 20, දිලුම් සුධීර 2/12

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<