පළමු දිනයේදී ඉන්දියානුවන් පසුකළ පිමි

277
Dhawan & Pujara

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අරඹමින් ගාල්ලේදී ඇරඹුණු ටෙස්ට් තරගයේ පළමු දිනය (26), ඉන්දියානුවන් විසින් තමන්ගේම වාර්තාවන් අලුත් කළ දිනයක් විය. ඒ වාර්තා මොනවා ද?

දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 399ක් ලබා සිටි ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ශිඛර් ධවාන් ලකුණු 190කුත් චේතේශ්වර් පුජාරා නොදැවී ලකුණු 144කුත් ලබා තිබුණි. එක් තරග සැසියකදී ශිඛර් ධවාන් ලකුණු 126ක් වාර්තා කළ අතර එය තරග සැසියකදී  ඉන්දියානුවෙකු රැස්කළ දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයයි. එහි වාර්තාවේ හිමිකරු විරෙන්දර් ෂෙවාග් ය. 2009/10 තරග වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිවම ඔහු එක් සැසියකදී ලකුණු 133ක් ලබා ගත්තේය.

ඉන්දියානුවෙකු එක් දිනයක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 228කි. එහි හිමිකරුද විරේන්දර් ෂෙවාග් වන අතර දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයද ඔහු විසින්ම වාර්තා කළ ලකුණු 195කි. මීළඟ ස්ථානය වසීම් ජෆාර්ගේ ලකුණු 192ට හිමිවී තිබියදී ශිඛර් ධවාන් විසින් ඊයේ (26) ලබාගත් ලකුණු 190 එහි සිව්වැනි ස්ථානයට පත්විය.

ශිඛර් ධවාන් ලබාගත් ශතකයට වැයවූයේ පන්දු 110ක් පමණි. ශ්‍රී ලංකාවට එරෙහි වේගවත් ටෙස්ට් ශතකවලින් ඔහුට ඉදිරිව සිටින්නේ විරේන්දර් ෂෙවාග් පමණි.

දෙවන කඩුල්ල වෙනුවෙන් පුජාරා සහ ධවාන් වාර්තා කළ සම්බන්ධතාවය ලකුණු 253කි. ඉන් පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියානු පිතිකරුවන් දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2009/10 තරග වාරයේදී විරේන්දර් ෂෙවාග් සහ රාහුල් ද්‍රාවිඩ් රැස්කළ ලකුණු 237යි.

courtesy – cricketcountry.com
courtesy – cricketcountry.com

ටෙස්ට් තරගයක පළමු දිනයේදී ඉන්දියානු කණ්ඩායමක් විසින් රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවද ඊයේ වාර්තා වූයේ ලකුණු 399ක් ලෙසයි. ඉන් ඉදිරියේ පවතින්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් කාන්පූර් හිදී ලබාගත් ලකුණු 417යි.

ඉන්දියානු පිතිකරුවන් දෙදෙනෙකු විසින් ටෙස්ට් තරගයක පළමු දිනයේදී ශතක වාර්තා කළ තෙවන අවස්ථාවද ඊයේ වාර්තා විය. ඊට ඇතුළත් වුණේ ධවාන් සහ පුජාරා වාර්තා කළ ශතක දෙකයි. ඉන් පෙර සදගෝපන් රමේෂ් සහ රාහුල් ද්‍රාවිඩ්, සචින් ටෙන්ඩුල්කාර් සහ විරේන්දර් ෂෙවාග් යන පිතිකරුවන් එම දස්කම කර තිබුණි.

තරගය තවමත් ක්‍රියාත්මක ය. තවත් වාර්තා බිඳවැටේද?

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<