Real Madrid නැවතත් Champions League ශූරතාව දිනාගනී!

Champions League 2023/24

99

ස්පාඤ්ඤ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන Real Madrid විසින් 2023/24 Champions League ශූරතාව ජයග්‍රහණය කිරීමට අද (02) උදෑසන සමත් වුනා.

ජර්මානු ප්‍රකට පාපන්දු කණ්ඩායමක් වන Borussia Dortmund සමඟ අද අලුයම එංගලන්තයේ Wembley ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ දී ගෝල 2-0ක පහසු ජයක් ලබාගැනීමට Madrid ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, මෙය Real Madrid විසින් යුරෝපානු ශූරතාව ජයග්‍රහණය කළ 15 වැනි අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක් වුනේ.

තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම ගෝල රැස් කිරීමට සමත් නොවූ අතර, දෙවැනි අර්ධයේ මුල් කොටසේ ද දෙපිළෙන් ම ගෝල වාර්තා වුනේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ 74 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Dani Carvajal විසින් සිය හිසෙන් Real Madrid පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් මිනිත්තු 9ක් ගෙවී යන මොහොතේ බ්‍රසීල ක්‍රීඩක Viniscius jr විසින් තරගයේ දෙවැනි ගෝලය ද Madrid වෙනුවෙන් වාර්තා කිරීමට සමත් වුනේ මෙවර ද තම කණ්ඩායමේ ආධිපත්‍යය බිඳ හෙළීමට තරම් සමතකු නොවන බව තහවුරු කරමිනුයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී Real Madrid විසින් Manchester City කණ්ඩායම ද, Borussia Dortmund විසින් PSG කණ්ඩායම ද පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසුණු අතර, මෙම තරගය Madrid කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක Toni Kroosගේ මෙන්ම, Dortmund ක්‍රීඩක Marco Reus තම කණ්ඩායම නියෝජනය කරන අවසන් තරගය ද ලෙස සටහන් වුනා. මේ හේතුවෙන් දෙපිළේ රසිකයින් මෙන්ම, මුලු මහත් පාපන්දු රසික ප්‍රජාව ඔවුන් දෙදෙනාගෙන් කුමන ක්‍රීඩකයා වඩාත් ගෞරවාන්විත සමුගැනීමකට යොමු වේ ද යන්න බලා සිටි අතර, අවසානයේ Toni Kroos විසින් සිය හය වැනි Champions League ශූරතාව ද සමඟ Real Madrid කණ්ඩායමට සමු දීමට සමත් වුනා. එමෙන්ම එළඹෙන යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ දී ජර්මනිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මෙම 34 වියැති ක්‍රීඩකයා පාපන්දු ක්‍රීඩාවට සමුදීමට සූදානමින් පසු වනවා.

එමෙන්ම Real Madrid කණ්ඩායම යුරෝපානු පාපන්දු ශූරයින් වීමට පෙර මීට මසකට පමණ පෙර ස්පාඤ්ඤ පාපන්දු ශූරයින් බවට ද පත් වීමට සමත් වීම තවත් විශේෂත්වයක්.

ලෝක පාපන්දු පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<