Ravichandran Ashwin ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි!

96

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොවට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකුම් ලබන Ravichandran Ashwin ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි Ashwin විසින් සිය තීරණය දැනුම් දුන් අතර, කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ මොහොතක ඔහු විසින් මෙම තීරණය ගැනීමත් විශේෂත්වයක්.

කෙසේ නමුත් මෙම ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ ඔහු ක්‍රීඩා කළ එකම තරගයේ දී එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට සමත් වූ අශ්වින්, ඊට පෙර ඉන්දියාවේ දී පැවැත්වුණු නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේ දී ද දවා ගැනීමට සමත් වුනේ කඩුලු 9ක් පමණයි.

මේ වන විට 38 හැවිරිදි වියේ පසු වන Ashwin බොහෝ විට ඉන්දියාවේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිවල දී කණ්ඩායමට තෝරා ගැනෙන අතර, නැවත වරක් ඔහුට එවැනි අවස්ථාවක් හිමි වන තෙක් වසරකට ආසන්න කාලයක් බලා හිඳීමට සිදු වනවා.

ගොඩක් සංවේදී අවස්ථාවක්, මම හිතන්නේ නැහැ අහන ප්‍රශ්නවලට හරි විදිහට මට පිළිතුරු දෙන්න පුළුවන් වෙයි කියලා. කරුණාකර මට සමාවෙන්න.

තම සමුගැනීමේ නිවේදනය නිකුත් කිරීමට පැමිණි Ravichandran Ashwin එසේ පවසමින් තම ක්‍රිකට් දිවිය වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියල්ලන්ට ම ස්තුතිය ද පුද කළා.

එමෙන්ම ඔහු සමඟ මෙම අවස්ථාවට එක් වූ ඉන්දීය නායක Rohit Sharma ද මෙහි දී Ashwinගේ තීරණය වෙනුවෙන් සිය එකඟතාව පළ කරමින් සඳහන් කළේ ක්‍රීඩකයකුගේ පෞද්ගලික තීරණ ප්‍රශ්න නොකල යුතු බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ඉතා හොඳ තීක්ෂණ බුද්ධියක් හිමි ක්‍රීඩකයකු ලෙස සැලකුම් ලබන Ashwin ටෙස්ට් තරග 106ක් ක්‍රීඩා කරමින් කඩුලු 537ක් දවා ගැනීමට සමත් වූ අතර, ටෙස්ට් ලකුණු 3503ක් ද රැස් කිරීමට සමත් වුනා. මෙහි දී ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ශතක 6ක් ද වාර්තා කිරීමට සමත් වී තිබීම විශේෂත්වයක්. එමෙන්ම ඔහු ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 11ක දී තරගාවලියේ වීරයා සම්මානය හිමි කර ගනිමින් මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම වරක් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවල වීරයා වීමේ වාර්තාවට ද හිමි කම් කීම විශේෂත්වයක්.

එමෙන්ම ඔහු ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 116ක දී කඩුලු 156ක් සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 65ක දී කඩුලු 72ක් දවා ගැනීමට ද සමත් වුනා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව ද ඔහු IPL තරග පිටියේ (Chennai Super Kings කණ්ඩායම සමඟ) සහ TNPL තරග පිටියේ (Dindigul Dragons) දී ක්‍රීඩා කරනු දක්නට ලැබෙනු ඇති.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<