ගාලු ජයග්‍රහණයට වර්ෂාවෙන් බාධා

Prima U15 Sri Lanka Youth League 2024

20
Prima U15 Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් (25) වැනිදා නිමා වූ අතර එම තරග ද්විත්වයට ම අයහපත් කාලගුණ තත්ත්වයන් බාධා එල්ල කළා.

ගාල්ල සහ කොළඹ උතුර අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේදී

පන්දුවාර 30කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 4ක් වෙද්දී දැවී ගියා. නමුත් 3 වැනි කඩුල්ලේ දී පන්දු 84කට ලකුණු 47ක සබඳතාවක් ගොඩ නැගීමට නායක කවිත් ද සිල්වා සහ උශාන් ආදිත්‍ය සමත් වුනා.

කවිත් ද සිල්වා පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිද්දී උශාන් ආදිත්‍ය පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

ඊට අමතර ව එම ඉනිම වෙනුවෙන් ශසිඳු සිල්වා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී හිරුක් අකලංක ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර මානිත රාජපක්ෂ කඩුලු 2ක් ද, තියෝන් හේලික, රවීන් සචින්ත සහ ඒශාන් බිම්සර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයන්ගේ ඉනිමට අයහපත් කාලගුණ තත්ත්වය කඩා වැදීම හේතුවෙන් තරගය පන්දුවාර 24කට සීමා වුනා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 89ක් ලබා සිටි අතර එය ඩක්වර්ත් ලුවිස් ගණනය කිරීමේ දී සම ලකුණු ප්‍රමාණයයි. ඒ අනුව එම තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් බවට පත් වුනා.

එතෙක් පැමිණි ගාල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූනේ ආරම්භක පිතිකරු චරණ චනුපති. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව යොමිරු සස්වින් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු ප්‍රමාණයකට ලඟා වීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව කඩුලු දවා ගැනීමේ දී ශනුක් ජයවර්ධන ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත් අතර ශසිඳු සිල්වා කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 117 (30.0) උශාන් ආදිත්‍ය 26, කවිත් ද සිල්වා 36, ශසිඳු සිල්වා 23, හිරුක් අකලංක 3/14, මානිත රාජපක්ෂ 2/22

ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 89 (24.0) චරණ චනුපති 30, යොමිරු සස්වින් නොදැවී 18, සනුක් ජයවර්ධන 2/18

තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත සමයි.

දඹුල්ල සහ මහනුවර අතර තරග කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී

දඹුල්ල කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 108ක් ලබා ගත්තා. එහි දී 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76ක දී ලකුණු 58ක් වාර්තා කිරීමට සනිතු ගුණතිලක සහ චනුල් කොඩිතුවක්කු සමත් වුනා.

ඒ අතුරින් සනිතු කොඩිතුවක්කු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා. නායක චනුල් කොඩිතුවක්කු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමෝද් ප්‍රබාශ ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මහීෂ ඉඳුරංග කඩුලු 2ක් ද, යුමාල් එගොඩගේ සහ දහම් සෙනෙවිරත්න කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දුවාර 13කට පමණක් සීමා වුනා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටි අතර තරගය අවසන් වුණේ විසඳුමකින් තොරවයි.

අතරමඟ නතර වූ දඹුලු ඉනිම වෙනුවෙන් අමල් පෙරේරා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සචින්ත ගුණතිලක ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත් අතර සනිතු ගුණතිලක කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 108 (22.5)

දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 44 (13.0) අමල් පෙරේරා නොදැවී 16, සචින්ත ගුණතිලක 2/21

තරගයේ විසඳුමක් නෑ.

අද නිමා වූ තරගවල දී කොළඹ දකුණ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වූ අතර මෙතෙක් තරගාවලියේ දී තමන් සහභාගී වූ 3 වැනි තරගයෙන් පරාජය වීමට ගාලු ක්‍රීඩකයන්ට සිදු වූවා.

තරගාවලියේ මීළඟ තරග හෙට (27) පැවැත්විමට නියමිතයි. එහි දී කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීත් කොළඹ දකුණු සහ ගාල්ල අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දීත් පැවැත්වේ.

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<