යෙනුල, බිනෝද් සහ යුමාල් දක්ෂතා දක්වයි

Prima U15 Sri Lanka Youth League 2024

114

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ 2 වැනි දිනයේ තරග අද (22) නිමා වූ අතර ඒ අනුව පැවැති තරගවල දී යෙනුල හේවාවිතාරණ, බිනෝද් සංදිල් සහ යුමාල් එගොඩ ගේ සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුනා.  

එහි දී මහනුවර කණ්ඩායම නියෝජනය කරන මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ යෙනුල හේවාවිතාරණ මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීම කැපී පෙණුනා. ඊට පසු ඉනිමේ දී තරගාවලියේ 2 වැනි අර්ධ ශතකය ද වාර්තා වූ අතර එහි හිමිකාරීත්වය කොළඹ උතුර කණ්ඩායම නියෝජනය කරන කොළඹ වෙස්ලි විද්‍යාලයේ බිනෝද් සංදිල් සතු වුනා.   

මේ අතර දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ යුමාල් එගොඩගේ තම පන්දුවාර 10 ලකුණු 24කට සීමා කරමින් කඩුලු 5ක් දවා ගත්තා. එය මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් ලත් පළමු කඩුලු 5 ලෙසයි වාර්තා වූයේ. 

දඹුල්ල සහ කොළඹ දකුණු අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේදී 

කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 151ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ඉනිමට පිටියට පිවිසි දඹුලු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 75ක් පමණයි.  

කොළඹ දකුණ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 14ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 137ක දී ලකුණු 89ක සබඳතාවක් ගොඩ නැගීමට රෙශාන් සොලමන්ස් සහ දුශේන් උඩුවෙල සමත් වීම කැපී පෙණුනා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ දුශේන් උඩුවෙල ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.  

ඔහුගේ දැවී යෑමෙන් පන්දු 3කට පසුව රෙශාන් සොලමන්ස් ද තමන් මුහුණ දුන් 84 වැනි පන්දුවේ දී දැවී ගියා. ඒ වෙද්දී ඔහු ලකුණු 43ක් ලබා සිටි අතර තම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් එක් කර තිබුණා.  

අනතුරු ව එකින් එක දැවී ගිය ඉනිමට චමිත කංකානමගේ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් එක් කළා.   

කඩුලු දවා ගැනීමේ දී යුමාල් එගොඩගේ ලකුණු 24කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මහීෂ ඉඳුරංග ලකුණු 18කට කඩුලු 3ක් ද සහ චමෝද් ප්‍රබාශ කඩුල්ලක් ද දවා ගත්තා. 

ප්‍රතිවාදී දඹුලු ඉනිම අවසන් වීමට තවත් පන්දු 81ක් ඉතිරි ව තිබිය දී ඔවුන්ගේ ඉනිම අවසන් වන අතර එහි වැඩිම ලකුණුලාභියා වූයේ ටෙරන් සචින්. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.  

ඊට අමතර ව අමල් පෙරේරා ද පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට කොළඹ දකුණ පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.  

එම ඉනිම වෙනුවෙන් තාරුක සමිනජිත, චමිත කංකානමගේ සහ මෙතුම් ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් ලබා ගනිද්දී අදීශ ලක්ෂාන් සහ මෙතුක ගුණරත්න කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

කොළඹ දකුණු වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 151 (47.0) දුශේන් උඩුවෙල 43, රෙශාන් සොලමන්ස් 44, චමිත කංකානම්ගේ 17, මහීෂ ඉඳුරංග 3/18, යුමාල් එගොඩගේ 5/24 

 

දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 75 (36.3) ටෙරන් සචින් 19, අමල් පෙරේරා 15, චමිත කංකානමගේ 2/13, මෙතුම් ප්‍රනාන්දු 2/17, තාරුක සමින්ජිත 2/13 

 

කොළඹ දකුණු කණ්ඩායමට ලකුණු 76ක ජයක්.  

මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේදී 

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ උතුර කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 133ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් යෙනුල හේවාවිතාරණ අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනා. කඩුලු 4ක් දැවී ලකුණු 67ක් ලබා තිබිය දී පිටියට පිවිසි යෙනුල හේවාවිතාරණ 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඊට අමතර ව සනිතු ගුණතිලක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ශම්මා ජොනතන් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අබ්දුල් රහුමාන් කඩුලු 2ක් ද, ශසිදු සිල්වා, හිමිර කුඩාගම සහ ශනුක් ජයවර්ධන කඩුල්ල බැගින් ද දවා ගත්තා.   

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායම ආරම්භක කඩුලු ත්‍රිත්වයේ දී ලකුණු 67ක් ලබා ගනිමින් තරගකාරී තරගයකට පිවිසීමට සමත් වුනා. එහි දී බිනෝද් සංදිල් වැඩි වැඩ කොටසක් කිරීම කැපී පෙණුනා. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.   

ඊට අමතර ව මිනුක දිම්සර පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 16ක් ලබා ගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.  

ප්‍රතිවාදී ඉනිම තවත් පන්දු 89ක් ඉතිරි ව තිබිය දී දවා ගනිද්දී සනිතු ගුණතිලක, කුසල් බණ්ඩාර සහ විහඟ නෙතුසර කඩුලු 3 බැගින් දවා ගත්තා. ඊට අමතර ව සහන් විමුක්ති ට ද කඩුල්ලක් හිමි වුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 147 (50.0) සනිතු ගුණතිලක 15, යෙනුල හේවාවිතාරණ 50, ශම්මා ජොනතන් 4/28, අබ්දුල් රහුමාන් 2/12 

 

කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 133 (35.1) බිනොද් සංදිල් 67, මිනුක දිම්සර 16, සනිතු ගුණතිලක 3/17, විහඟ නෙතුසර 3/27, කුසල් බණ්ඩාර 3/19 

 

මහනුවර කණ්ඩායමට ලකුණු 14ක ජයක්.  

තරගාවලියේ මීළඟ තරග මේ මස 24 වැනි ඉරිදා පැවැත්විමට නියමිතයි. එහි දී කොළඹ දකුණු සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේදීත් සහ  ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.  

ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලිය  පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<