ඊයේ (18) නිමාව දුටු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක් වූ දස්කම් හේතුවෙන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි ඔහු මෙතෙක් ලද ඉහළ ම ස්ථානය සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අයර්ලන්තට එරෙහි ව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ අතර එහි දී ප්‍රභාත් ජයසූරිය විසින් අයර්ලන්තය ක්‍රීඩා කළ ඉනිම දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම එම තරගයේ දී නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේශ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම යන පිතිකරුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කිරීමට ද සමත් වුනා.
එම දස්කම් නිසා මීට පෙර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි 32වැනි ස්ථානයේ රැඳී සිටි ජයසූරිය ස්ථානය 13ක් ඉදිරියට පැමිණෙමින් 19වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙන්නේ ලකුණු 699ක් ද සමඟයි.
ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස් විසින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 32 වැනි ස්ථානයට ද, විශ්ව ප්‍රනාන්දු විසින් 59 වැනි ස්ථානයට ද පත් වී තිබෙනවා.
එමෙන් ම මීට පෙර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි ස්ථානයේ රැඳී සිටි දිමුත් කරුණාරත්න එක් ස්ථානයක් ඉදිරියට එමින් 9 වැනි ස්ථානයට ද, දිනේශ් චන්දිමාල් ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානයට ද, කුසල් මෙන්ඩිස් ස්ථාන 9ක් ඉදිරියට පැමිණෙමින් 42 වැනි ස්ථානයට ද පත්වීමට සමත් වී තිබෙනවා.
මේ අතර එම ටෙස්ට් තරගයේ දී අයර්ලන්තය වෙනුවෙන් පිතිකරණයෙන් සාර්ථක වූ Harry Tector ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 21ක් ඉදිරියට පැමිණෙමින් 69 වැනි ස්ථානය තෙක් ඉදිරියට ඒමට සමත් වී තිබෙනවා.
- Sirajට තරග පාවා දෙන්න ඇරයුම් ලැබිලා
- වාර්තා අතරට ගිය රමේෂ්ගේ කඩුලු දඩයම
- ශ්‍රී ලංකාව වසර 42ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට
- චන්දිමාල් – සදීර වාර්තාගත සබඳතාවයකට යද්දී, ප්‍රභාත් කඩුලු දඩයමක
- දිමුත් – කුසල් යෝධ සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී
මේ අතර මේ දින වල පාකිස්තානයේ දී පැවැත්වෙන නවසීලන්ත – පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මඟින් ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වලට සුළු බලපෑම් වී ඇතත් ඒවායේ මුල් ස්ථාන නම් තවමත් නොවෙනස් ව පවතිනවා.
එම තරගාවලියේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් වූ Babar Azam පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල තෙවන ස්ථානයේ දැනට පසු වන අතර තවමත් Mohommad Rizwanගේ දෙවැනි ස්ථානයට අභියෝග කිරීමට සමත් වී නැහැ.
එමෙන් ම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයේ ද කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර, එහි සිව් වන සහ පස් වන ස්ථාන පිළිවලින් වනිඳු හසරංගට සහ මහීශ් තීක්ශණට හිමි ව තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සඳුදා (24) ආරම්භ වීමට නියමිතයි. එම තරගයේ ප්‍රතිඵල අනුව ඉහත ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් තවදුරටත් වෙනස් වීමට ලක් වේ යැයි අනුමාන කළ හැකියි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<