“ආසියාවේ දක්ෂයින් සිටින්නේ ශ්‍රී ලංකාවේ” – ජිනදාස

354

ශ්‍රී ලංකාව තුළ දක්‍ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩිකාවන් රාශියක් සිටියත්, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දැල්පන්දු ක්‍රීඩාවට අත්වී ඇති ඉරණමට ඉවහල් වී ඇත්තේ දුර්වල පරිපාලනය සහ කළමනාකරණය බව ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය පවසයි.

දැල්පන්දුවේ පුහුණුකාරිත්වයට නව මුහුණක්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය නිල වශයෙන්..

“අපි 2009 වසරේ දී ආසියානු දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කළත් එතකොට අපි ශ්‍රේණිගත කිරීම්වල හිටියේ 3 වන ස්ථානයේ. අපි 3 වන ස්ථානයට පත්වුණේ 2005 වසරේ දී. 2009 වසරෙන් පස්සේ අපි ජයග්‍රහණය කරන්න ආසන්නයට පැමිණියත්, අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනේ නැහැ. එහි දී අපිට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වෙන්න සිදු වුනා. හැබැයි ගොඩක් අය කියන විදිහේ තත්වෙකට අපි පහළ බැහැලා කියලා මම හිතන්නේ නැහැ. මම හිතන විදිහට අපි මේ තත්ත්වේ ඉන්න හේතුවෙලා තියෙන්නේ දුර්වල පරිපාලනය සහ කළමනාකරණය.”

ThePapare.com සමඟ සාකච්ඡාව අරඹමින් තිලකා ජිනදාස මහත්මිය පැවසීය.

“අපිට පැහැදිලි ඉලක්කයක් හෝ අරමුණක් නැහැ. අනෙක් රටවල්වල එහෙම නැහැ. බෘෘනායි ගත්තොත්, එහේ අපි හැමෝම වැඩ කරන්නේ පොදු ඉලක්කයක් වෙනුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව සහ බෘෘනායි ගත්තම මම ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී. බෘෘනායි වල අපිට ක්‍රීඩිකාවන් 12 දෙනෙක් තෝරගන්න ඉන්නේ ක්‍රීඩිකාවන් 20 දෙනෙක් වගේ ප්‍රමාණයක්. නමුත් මම ශ්‍රී ලංකාව දිහා බැලුවම, ශ්‍රී ලංකාවේ ඉන්න දක්‍ෂ ක්‍රීඩිකාවන් ගොන්න දැකලා මම පුදුමයට පත්වුනා. ඒ නිසා ක්‍රීඩිකාවන් 12 දෙනෙක් තෝරාගන්නවා කියන්නේ ගොඩක් අපහසු කටයුත්තක්. ඒ නිසා අපේ මේ තත්වයට හේතුවෙලා තියෙන්නේ දක්‍ෂතාවයන් මදිකම නෙමෙයි. දුර්වල පරිපාලනය සහ කළමනාකරණය.”

ශ්‍රී ලංකාව තුළ ඇති දක්‍ෂතාවයන් අගය කරමින් තිලකා ජිනදාස මහත්මිය පැවසීය.

එමෙන්ම මෙහි දී ඇය, ඉලක්කයක් සපුරා ගැනීම සඳහා අවශ්‍ය කෙටිකාලීන හෝ දිගුකාලීන සැලසුම්වල අවශ්‍යතාවය පිළිබඳව ද පවසා සිටියාය. ඒ සඳහා හොඳම උදාහරණය වූයේ ඇය බෘෘනායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ වසර 7ක කාලය තුළ, තරමක් දුර්වල තත්වයක පැවති බෘෘනායි දැල්පන්දු කණ්ඩායම ගිණිකොනදිග ආසියානු තරගවල ලෝකඩ පදක්කම් 2ක් සහ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ 5 වන සහ 7 වන (කණ්ඩායම් 10ක් අතුරින්) ස්ථාන කරා මෙහෙය වූ ආකාරය යි.        

ඇය 2011 වසරේ දී බෘෘනායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස වැඩ බාරගන්නා විට, ඊට පෙර බෘනායි දැල්පන්දු කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී වී තිබුණේ 1993 වසරේ දී පැවති ‘Arafura’ තරගාවලියේ දී වන අතර එහි දී ද ඔවුන්ට දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවී ඇත.

ඒ අනුව බෘෘනායි හි අදාළ බලධාරීන්, ක්‍රීඩකයින් සහ දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වී සිටි සැවොම දේශීය තරගාවලිවලින් සෑහීමකට පත්වී සිටි අතර එමනිසා ඔවුන්ට ජාත්‍යන්තර තලය තුළ ද අනාගතයක් ඇති බව වටහා දීමට ද ජිනදාස මහත්මියට සිදු විය. එහි දී ආරම්භක සමයේ දී ඇයට කණ්ඩායම නඟා සිටුවීම සඳහා තනි වෑයමක් දැරීමට සිදුවූ අතර ඇයගේ දැඩි උත්සාහය සහ කැපවීම හරහා කණ්ඩායම ඉහළ තත්වයකට ගෙන එන්නට ඇය සමත් විය.

“මාස කිහිපයක් පමණක් පුහුණුවීම් කටයුතු කරලා අපිට ජාත්‍යන්තර තරගයකට යන්න බැහැ. 2017 වසරේ පැවති ගිණිකොනදිග ආසියානු තරගාවලිය සඳහා බෘෘනායි කණ්ඩායම පුහුණු කිරීම මම ආරම්භ කළේ 2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ. මම මගේ වැඩසටහන සහ දැක්ම නම් කළේ ‘The Road to the Podium’ කියලා. මොකද ඒ හරහා ක්‍රීඩකයින්, පරිපාලනය සහ සම්බන්ධ හැමෝටම ඔවුන්ගේ කාර්යභාරය සහ ඉලක්කය පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් අපිට දිගු කාලීන සැලැස්මක් අත්‍යාවශ්‍ය යි. අඩුම තරමේ වසර 2ක කාලයකට වත්. නමුත් අපිට 2018 වසරේ ආසියානු ශූරතාවලිය තව මාස කිහිපයකින් පැවැත්වෙනවා. 2019 වසරේ ලිවර්පූල් හිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්න නම් අපිට ආසියානු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්න වෙනවා.”

ඇය සතුව ඇති දැවැන්තම වගකීම පිළිබඳව මතක් කරමින් ජිනදාස මහත්මිය පැවසීය.

“ශ්‍රී ලංකාවට වසරක පමණ කාලයක් පුහුණුවීම් කටයුතු කරලා පුරුද්දක් නැහැ. නමුත් අඩුම තරමේ මාස 8, 9ක් වත් පුහුණුවීම් කටයුතු කරන්න ඕනේ. 2009 වසරේ දී මම කණ්ඩායම පුහුණු කළේ මාස 6ක කාලයක් විතරයි. මම විශ්වාස කරන විදිහට අපිට ක්‍රීඩිකාවන් වෙනස් කරන්න හෝ ඔවුන්ගේ හැකියාවන් ගොඩක් වර්ධනය කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ නැහැ. නමුත් ඔවුන්ගේ දක්‍ෂතාවයන් හඳුනා ගනිමින් ඔවුන්ව හොඳ තත්වයකට ගෙන එම අවශ්‍ය යි. ඒක ක්‍රීඩාව හරහා සිදු විය යුතුයි. නමුත් මම දැකලා නැහැ ඒක වෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉහළ තැනකට ගෙන ඒමට කළ යුතු දේ පිළිබඳව අදහස් දක්වමින් ජිනදාස මහත්මිය පැවසීය.  

“ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන කොට විශාල, උස ක්‍රීඩකයින් සිටීම වාසියක්. නමුත් පිටිය තුළ ඔවුන්ගේ හැසිරීම සහ දුර ප්‍රමාණය සීමා සහිතයි. ඒ නිසා තමයි අර වෙනස්කම් සිදුවෙන්න ඕනේ.”

ජිනදාස මහත්මිය ශ්‍රී ලංකාවේ යොවුන් සංචිතය පිළිබඳව දැඩි සතුටකින් පසුවන අතර එය හා ජාතික සංචිතය අතර දැඩි වෙනසක් ද නොදකියි. නමුත්,

“ඔවුන්ගේ ශක්තිය වර්ධනය කරලා ඔවුන්ව හොඳ තත්වයකට ගෙන ඒම අවශ්‍ය යි. ඔවුන් සමඟ දිගුකාලීන සැලැස්මක් සහිතව කටයුතු කළොත් අනාගතයේ දී ඉතා දක්‍ෂ ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමට දායක වෙයි. සමහරු තාම වයස අවුරුදු 16 හා 17 වගේ. නමුත් ඔවුන්ගේ සැකසුම ජාත්‍යන්තර තලයට හොඳින් ගැළපෙනවා. උඩ පැනීම සහ පතිත වීමේ දී ක්‍රීඩිකාවන්ගේ දණහිසට සහ වළලුකර ප්‍රදේශයට දැඩි ආතතියක් එල්ල වන නිසා ඔවුන්ට ශක්තිය සහ සවි පුහුණුවීම ලබාදෙන එක ගොඩක් වැදගත්. ඒක හරියට සිදුවුණේ නැත්නම් ක්‍රීඩිකාවන්ට ආබාධ ඇතිවෙනවා. සමහරවිට ඒවගෙන් ඔවුන්ගේ ක්‍රීඩා දිවියම අනතුරට ලක්වෙන්න පුළුවන්.”

ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවේ පසුබෑමට ඉවහල් වී ඇති තවත් කරුණක් වන්නේ තරගාවලි නොමැතිකම සහ ක්‍රීඩිකාවන් හදිසියේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය යි.

“දැල්පන්දු ක්‍රීඩාවෙන් ගොඩක් ඉහළට ගිය රටවල්වල තරගාවලි තිබෙනවා. ඒවා හරහා ක්‍රීඩිකාවන් නිරන්තර ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒ වගේම ජාතික සංචිතය තෝරගන්නේ ඒ තරගාවලිවල ක්‍රීඩිකාවන් දක්‍ෂතා සැලකිල්ලට අරගෙන. නමුත් ශ්‍රී ලංකාවේ දී සිදුවෙන්නේ තේරීම් කටයුතුවලට කතා කරලා ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කරන්න පැයක්, මිනිත්තු 15ක් වගේ කාලයක් ලබාදෙන එක. සමහර විට ඒ දවස යම් ක්‍රීඩිකාවකගේ දවසක් නොවෙන්න පුළුවන්. ඒ වගේම එදාට හොඳ ක්‍රීඩිකාවෝ දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව ගත්තොත් ඔවුන්ගේ ජාතික සංචිතය නම් කරන්නේ ඔවුන්ගේ ජාතික ලීග් තරගාවලිය අවසානයේ. අපිටත් ඒ වගේ විධිමත් සංයුතියක් හදාගන්න පුළුවන් නම් මම විශ්වාස කරනාවා අපිට තව ගොඩක් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙයි කියලා.”

ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට වැදගත්ම පැතිකඩක් පිළිබඳව අදහස් දක්වමින් ඇය පැවසීය.

පසුගිය වසර කිහිපයක කාලය තුළ ඇයව දෙවරක් ප්‍රතික්‍ෂේප කළ ආකාරය පිළිබඳව ඇය කණස්සල්ලෙන් පසු වුවත් මෙය පුහුණුකාර වගකීම බාර ගැනීමට හොඳම කාලය බව ඇය විශ්වාස කරයි.

“නව පරිපාලනයේ ඉන්න වත්මන් සභාපති (ට්‍රික්සි නානායක්කාර) සහ ලේකම් (සෝමසේකරම්) දෙන්නා සමඟම මම කලින් වැඩ කරලා තියෙනවා. 2009 වසරේ දී ට්‍රික්සි තමයි ජාතික කණ්ඩායමේ කළමනාකාරිණිය විදිහට කටයුතු කළේ. ජාතික තේරීම් කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළේ ජයන්ති.”

“ඔවුන් දෙදෙනාටම ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔවුන් දෙදෙනාම හිටපු ක්‍රීඩිකාවන් සහ නායිකාවන් දෙදෙනෙක් වන නිසා මම විශ්වාස කරනවා ඔවුන්ට පැහැදිලි දැක්මක් ඇති කියලා. ඔවුන් දෙදෙනා ක්‍රීඩාවට ආදරය කරන දෙන්නෙක් නිසා මට ඔවුන් සමඟ පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වෙයි. මොවුන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව නඟා සිටුවන්න බැරි නම්, මම හිතන් නැහැ වෙන කාටවත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා.”

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපති තුමියට සහ ලේකම් තුමියට ඇය සමඟ එක්ව කළ හැකි කාර්ය භාරය පිළිබඳව අදහස් දක්වමින් ජිනදාස මහත්මිය පැවසීය.

“අනිසි පක්ෂපාතීත්වය හරහා වෙන්නේ ක්‍රීඩාව පහතට යන එක විතරයි. පුහුණුකරුවන් ස්වාධීන විය යුතුයි. ඒ වගේම දැනුම යාවත්කාලීන විය යුතුයි. තවදුරටත් ඒ හරහා ක්‍රීඩකයින් පාලනය කරන්න සමත් විය යුතුයි. ශ්‍රී ලංකාව, ආසියාවේ තිබෙන ඉහළම දැල්පන්දු දක්‍ෂතාවලින් සමන්විත රටක්. ඒ ගැන කිසිම සැකයක් නැහැ.”

ඇය අප සමඟ කළ සාකච්ඡාව ඒ අයුරින් අවසන් කළාය.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<