සමිත දුලාන් නව ලෝක වාර්තාවක් සමඟ රිදී පදක්කම දිනයි

Paris Paralympics 2024

1
Paris Paralympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමිත දුලාන් ඊයේ (02) රාත්‍රියේ දී සමත් වුනා.

ඊයේ පැවැත්වුණු F64 ඉසව්වට සහභාගී වූ සමිත විසින් සිය ඉසව්ව ආරම්භ කිරීමට මීටර් 63.14ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා.

ඔහු F44 කාණ්ඩය යටතේ තරග වැදුණු අතර, F64 කාණ්ඩයෙන් තරග වැදුණු ඉන්දීය ක්‍රීඩක Sumit සහ F44 කාණ්ඩයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Michal Burian සමිත සමඟ කරට කර සටනක් ලබා දෙමින් ඉසව්වට අවතීර්ණ වුනා.

ඉසව්වේ සිව්වැනි උත්සාහය දක්වා සමිත තරගකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් මීටර් 63 සීමාවේ රැඳී සිටි අතර, ඔහු එම සීමාව තරණය කිරීමට සිය පස් වැනි උත්සාහයේ දී සමත් වුනා.

F44 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර්තා කළ එකක් වූ අතර, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් එම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව සමිත ඉසව්වේ රිදී පදක්කම දක්වා ඉදිරියට පැමිණි අතර, ක්‍රීඩකයින් ලැබූ හය වැනි උත්සාහයේ දී වෙනත් කිසිවකු සමිතව අබිබවා යාමට සමත් නොවූ නිසා සමිතගේ රිදී පදක්කම ස්ථිර වුනා.

ඉන්දීය ක්‍රීඩක Sumit නව පැරා ඔලිම්පික් වාර්තාවක් (F64 කාණ්ඩයේ) සමඟ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, 2020 ටෝකියෝ පැරා ඔලිම්පික්  දී Sumit විසින් මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ටෝකියෝවේ දී ලෝකඩ පදක්කමින් සෑහීමට සිදු වූ සමිත මෙවර තවත් ඉදිරියට පැමිණීමට සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<