මෙවර ඔලිම්පික් පිහිනුම් ශූරයා ප්‍රංශයෙන්?

Paris Olympics 2024

176

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පස් වැනි දිනය නිමා වන විට රන් පදක්කම් 9ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට චීනය සමත් වී සිටියා. 

මීට අමතරව සත්කාරක ප්‍රංශය මේ වන විට පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයත්, ජපානය තෙවැනි ස්ථානයත් හිමි කර ගෙන තිබෙනවා. නමුත් තවමත් ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ රැඳී සිටින්නේ 7 වැනි ස්ථානයේ වීම විශේෂත්වයක්. 

Marta කඳුළු සලමින් පිටියෙන් ඉවත් වෙයි 

පාපන්දු ක්‍රීඩාවේ අග්‍රස්ථානය බඳු බ්‍රසීලය විසින් බිහි කළ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන Marta ඊයේ (31) දිනයේ ස්පාඤ්ඤය සමඟ පැවැත්වුණු මූලික වටයේ තරගය අතරතුර දී රතු කාඩ් පතක් ලබමින් කඳුළු සලමි පිටියෙන් ඉවත් වී ගියා. 

මෙවර ඔලිම්පික් උළෙලේ පාපන්දු වෙනුවෙන් බ්‍රසීලයට තිබු එකම බලාපොරොත්තුව වුනේ කාන්තා කණ්ඩායම පමණයි. නමුත් ජපානය හමුවේ ලද පරාජයෙන් පසුව බ්‍රසීලයේ ඉදිරි ගමන පිළිබඳ යම් ගැටලුවක් නිර්මාණය වුනා. මේ අනුව ඊයේ පැවැත්වුණු ස්පාඤ්ඤය සමඟ තරගය ඔවුන්ට අතිශය වැදගත් එකක් වුනා.  

මෙහි පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ගෝල වාර්තා නොවුනු අතර, පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය දී Marta විසින් එල්ල කළ පා පහරක් ස්පාඤ්ඤයේ Olga Carmonaගේ හිසේ වැදීමත් සමඟ Martaට රතු කාඩ් පතක් හිමි වුනා. මෙම තරගයෙන් ස්පාඤ්ඤය ගෝල 2-0ක ජයග්‍රහණයක් ලබා ගත් නමුත් බ්‍රසීලය ද කෙසේ හෝ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

මෙම වසරේ මුල භාගයේ දී Marta විසින් තමන් මෙවර ඔලිම්පික් උළෙලෙන් පසුව ක්‍රීඩාවට සමු දීමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබුණා. බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා වුනත් Marta ලද රතු කාඩ්පත නිසා ඇයට එම තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවනු ඇති. 

මේ නිසා Martaගේ ජාත්‍යන්තර ක්‍රීඩා සමුගැනීම පිළිබඳ මේ වන විට යම් කුතුහලයක් පැන නැගී තිබෙනවා. 

පාපන්දු අර්ධ අවසන් වටයේ කණ්ඩායම් තහවුරුයි 

ඔලිම්පික් පිරිමි පාපන්දු ඉසව්වේ අර්ධ අවසන් තරග ප්‍රංශය ආජන්ටිනාව, ඊජිප්තුව පැරගුවේ, මොරොක්කෝව ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය ස්පාඤ්ඤය අතර හෙට (02) පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම කාන්තා ඉසව්වේ අර්ධ අවසන් තරග ඇමරිකා එක්සත් ජනපදය ජපානය, ස්පාඤ්ඤය කොලොම්බියාව, කැනඩාව ජර්මනිය සහ ප්‍රංශය බ්‍රසීලය අතර පැවැත්වීමට නියමිතයි. 

NadalCaraz ගමන අවසන්, Nadal සුබ ගමන් කියාවිද? 

මේ අතර ඊයේ දිනයේ දී ටෙනිස් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් වටයේ තරග ක්‍රියාත්මක වුනා. මේ සඳහා මෙවර ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමි කරගත් ස්පාඤ්ඤයේ Rafael Nadal සහ Carlos Alcaraz යුගලය එසේ නැතිනම් NadalCaraz යුගලය ද සහභාගී වුනා. කෙසේ වෙතත් ඔවුන්ගේ ඔලිම්පික් ගමන ඇමරිකාව හමුවේ නතර වුනු අතර, මේ අනුව Nadalගේ ඔලිම්පික් සිහින එතෙකින් නිමාවට පත් වුනා. 

කෙසේ වෙතත් Alcaraz පිරිමි ඒකල තරගයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එකේ රැඳෙන Novak Djokovic ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

බ්‍රසීලයට තියුණු පරාජයක් 

පිරිමි වොලිබෝල් තරග ඉසව්වේ දී බ්‍රසීලය සහ පෝලන්තය අතර පැවැත්වුණු මූලික වටයේ තරගයකින් බ්‍රසීලයට තරග වට 3-2ක පරාජයක් ලැබීමට සිදු වූ අතර, කණ්ඩායම් දෙක තරගවට පහේ දී ම ලබාගත් සමස්ත ලකුණු අතර පරතරය 2ක් තරම් ඉතා කුඩා අගයක පැවතීම විශේෂත්වයක්. මීට අමතරව ජපානය ද ආජන්ටිනාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුනා. 

ඇමරිකාව සුපිරි 8ට 

පිරිමි පැසිපන්දු ඉසව්වේ සුපිරි කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ඇමරිකා එක්සත් ජනපදය ඊයේ දිනයේ සමත් වුනේ දකුණු සුඩානයට එරෙහිව ලකුණු 103-86ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. 

ජපානයට ජිම්නාස්ටික් රන් පදක්කමක් 

ඊයේ පැවැත්වුණු පිරිමි All Around Gymnastic ඉසව්වේ දී රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ජපානයේ Oa Shinnosuke විසින් සමත් වූ අතර, ඔහුට තියුණු සටනක් ලබා දෙමින් රිදී පදක්කමින් සෑහීමට චීනයේ Zang Boheng හට සිදු වුනා. එමෙන්ම මෙම තරග ඉසව්වේ ම කාන්තා තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත අතර එයට ඇමරිකාවේ Simone Biles ද සහභාගී වීමට නියමිතයි. 

ඔලිම්පික් වාර්තා සහ ලෝක වාර්තා කිහිපයක් අලුත් වෙයි  

මේ අතර ඊයේ දිනයේ ද වැඩිම අවධානයක් දිනා ගනිමින් පැවැත්වුණු තරග ඉසව්ව ලෙස පිහිනුම් තරග හඳුන්වාදිය හැකි. 

මෙහි දී කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට වත්මන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන ස්වීඩනයේ Sarah Sjoestroem ට හැකි වුනා. 

මේ අතර ඊයේ දිනයේ දී ඔලිම්පික් පිහිනුම් තටාකයේ වඩාත් කැපී පේන තරුව බවට පත් වූ සත්කාරක ප්‍රංශයේ Leon Marchand විසින් පිරිමි මීටර් 200 සමනල ආර ඉසව්ව සහ පිරිමි මීටර් 200 ළය ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම ඔහු මේ ඉසව් ද්විත්වයේ ම ඔලිම්පික් වාර්තා අලුත් කිරීමට සමත් වීම ද විශේෂත්වයක්. 

මීට අමතරව කාන්තා මීටර් 1500 ඉසව්වේ ද ඔලිම්පික් වාර්තාව ඊයේ දිනයේ දී අලුත් වූ අතර, එහි පැරණි හිමිකාරිය වූ ඇමරිකාවේ Katie Ledecky විසින් මෙවර ද ඉසව්වේ රන් පදක්කම සමඟින් මෙම වාර්තාව වෙනස් කිරීමට සමත් වුනා. එමෙන්ම මෙය ඇයගේ 8 වැනි ඔලිම්පික් රන් පදක්කම වන අතර, එමෙන්ම එය ඇයගේ සමස්ත 12 වැනි ඔලිම්පික් පදක්කම ද වනවා. ඒ අනුව ඇය ඇමරිකාව වෙනුවෙන් පිහිනුම් ඉසව්වෙන් ඉහළම පදක්කම් ලාභීන් අතරේ සම ස්ථාන ගැනීමට සමත් වී ඇති අතර, මෙවර ඔලිම්පික් තරගාවලියේ දී මෙම ඉලක්කම් තවදුරටත් වෙනස් වීමට ද ඉඩකඩ තිබෙනවා. 

මේ අතර ඊයේ දිනයේ පැවැත්වුණු අවසන් පිහිනුම් ඉසව්ව වූ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව නව ලෝක වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට චීනයේ Pan Zhanle විසින් සමත් වූ අතර, මීට පෙර ද මෙම ඉසව්වේ ලෝක වාර්තාව ඔහු සතු වීම විශේෂත්වයක්. 

2024 පැරිස් ඔලිම්පික් තරග බිමේ තවත් තරග ඉසව් රැසක් අද (01) දිනයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අතර, වැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමි වන මලල ක්‍රීඩා තරග ඉසව් ද අද දිනයෙන් ආරම්භ වීමට නියමිතයි. 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>