Simone Biles සිය රන් සිහිනයේ පළමු කඩඉම තරණය කරයි

Paris Olympics 2024

3
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සිව් වැනි දිනය නිමා වන විට රන් පදක්කම් හතක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටි ජපානය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී සිටීමට සමත් වුනා.

ඊයේ (30) දිනය තුළ පැරිස් ඔලිම්පික් ගම්මානයේ පදක්කම් බෙදී යාමට අමතරව තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් ම වාර්තා වූ අතර මේ ඒ පිළිබඳ සාරාංශ ගත වාර්තා කිරීමක්.

ජිම්නාස්ටික්

ඊයේ දිනයේ දී කාන්තා Artistic Gymnastic තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට Simone Biles ප්‍රමුඛ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙය Simone විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ පස් වැනි ඔලිම්පික් රන් පදක්කම වූ අතර, මෙවර ඔලිම්පික් උළෙලේ දී ඇය විසින් තබා ඇති ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු අතුරින් පළමුවැන්න ලෙස ද සටහන් වුනා.

ඉසව්වේ රිදී පදක්කම ඉතාලිය විසින් ජයග්‍රහණය කරනා අතරේ, බ්‍රසීලයට එහි ලෝකඩ පදක්කම හිමි වුනා.

සත් සාමාජික රග්බි

ඊයේ දිනයේ දී කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ පදක්කම් සඳහා තරග පැවැත්වුණු අතර එහි දී නොකඩවා දෙවැනි වරටත් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නවසීලන්තයට හැකියාව ලැබුණා.

මෙහි දී නවසීලන්තය විසින් කැනඩාවට එරෙහිව ලකුණු 19-12ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වන අතරේ, ඉසව්වේ ලෝකඩ පදක්කම ඇමරිකා එක්සත් ජනපදය විසින් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

එහි දී ඇමරිකාව විසින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 14-12ක් තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

පාපන්දු

ඊයේ දිනයේ දී පිරිමි පාපන්දු ඉසව්වල මූලික වටයේ අවසන් වටයේ තරග කිහිපයක් පැවැත්වුණු අතර ඒවායින් පසුව මූලික වටයේ දැක්වූ දක්ෂතා අනුව මොරොක්කොව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ස්පාඤ්ඤය, ඊජිප්තුව, පැරගුවේ, ප්‍රංශය සහ ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවැත්වුණු තරග අතුරින් ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස ඊජිප්තුව හමුවේ පරාජයට පත් වීම විශේෂ සිදුවීමක්.

මේ අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් සත්කාරක ප්‍රංශය සහ ප්‍රබල ආජන්ටිනාව අතර පැවැත්වීමට නියමිත වී තිබීමත් විශේෂ අවධානයක් දිනා ගත්තා.

NadalCaraz නොනැවතී ඉදිරියට

මෙවර ඔලිම්පික් උළෙලත් සමඟම ටෙනිස් ලොවේ වඩාත් ප්‍රචලිත වූ යුගල නාමයක් ලෙස NadalCaraz හඳුන්වා දිය හැකි. ස්පාඤ්ඤයේ Rafael Nadal සහ Carlos Alcaraz විසින් එක්ව මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි ටෙනිස් යුගල ඉසව්වට සහභාගී වන අතර, ඔවුන් ඊයේ දිනයේ දී නෙදර්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකුට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

මේ අතර මහා බ්‍රිතාන්‍යයේ Andy Murray සහ Dan Evans යුගලය ද මෙම ඉසව්වේ අර්ධ අවසන් වටය වෙත සුදුසුකම් ලබා ගත්තා.

Manu Bhaker ඉතිහාසගත වෙයි

පසුගිය දා ඉලක්කයට වෙඩි තැබීමේ කාන්තා කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ඉන්දියාවේ Manu Bhaker විසින් ඊයේ දිනයේ එම ඉසව්වේ යුගල ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් වුනේ (Sarabjot Singh සමඟ) මෙතෙක් ඉතිහාසයේ එක් ඔලිම්පික් උළෙලක පදක්කම් ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වූ එකම ඉන්දියානුවා බවට පත් වෙමිනුයි.

උතුරු කොරියාව වසර 8කට පසු ඔලිම්පික් පදක්කමක් දිනයි

මේස පන්දු මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් තරගය සඳහා ඊයේ චීනය සහ උතුරු කොරියාව ක්‍රීඩා කළ අතර, මෙහි දී චීනය විසින් තරග වට 4-2ක් ලෙස ඉසව්ව ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මේත් සමඟම උතුරු කොරියාවට ඉසව්වේ රිදී පදක්කම උරුම වූ අතර, එය ඔවුන් 2016 රියෝ ඔලිම්පික් උළෙලින් පසුව ඔවුන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ පළමු අවස්ථාව ලෙස වාර්තා වුනා.

අයර්ලන්තයට ඉතිහාසගත රැයක්

මේ අතර ඊයේ දිනයේ ද සුපුරුදු පරිදි පිහිනුම් ඉසව් කිහිපයක ම අවසන් තරග පැවැත්වුණු අතර, එහි දී පිරිමි නිදහස් ආර මීටර් 800 ඉසව්වට විශේෂ අවධානයක් යොමු වුනා.

මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට අයර්ලන්තයේ Daniel Wiffen විසින් සමත් වූ අතර, එය පිරිමි පිහිනුම් ඉසව්වකින් අයර්ලන්තය විසින් ජයග්‍රහණය කළ පළමු පදක්කම ලෙස ඉතිහාසගත වුනා.

“මම සාමාන්‍යයෙන් නම් අඬන්නේ නැහැ, ඒ නිසා මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා කවුරුවත් ඒක දකින එකක් නැහැ කියලා. නමුත් මට ඒක (කඳුළු) නවත්ත ගන්නත් බැහැ. ඇත්තටම ඒක විශේෂ අවස්ථාවක් වෙනුවෙන්. මම කවදාවත් මීට කලින් ඔලිම්පික්වල දී මගේ රටේ ජාතික ගීය වාදනය වෙනවා අහලා තිබුණේ නැහැ.”

තම ඔලිම්පික් පදක්කම වෙනුවෙන් සතුටු කඳුළු හෙළමින් Wiffen එසේ සඳහන් කළා. එමෙන්ම ඔහුගේ මෙම තරග නිමි කාලය ඔලිම්පික් වාර්තාවක් ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.

මේ අතර ඊයේ පැවැත්වුණු පිහිනුම් ඉසව් අතරින් තවත් විශේෂ අවධානයක් යොමු වූ ඉසව්වක් වූ කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown විසින් සමත් වුනා. එහි දී ඇය විසින් මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඇමරිකාවේ Regan Smithව අබිබවා යාමට සමත් වීමත් විශේෂත්වයක්. එමෙන්ම මෙය Kaylee විසින් මෙම ඉසව්ව වෙනුවෙන් නොකඩවා ලබා ගත් දෙවැනි රන් පදක්කම ලෙස ද වාර්තා අතරට එක් වුනා.

මේ අතර ඊයේ පැවැත්වුණු පිරිමි මීටර් 200×4 නිදහස් ආර ඉසව්වේ ජයග්‍රහණය 2020 ඔලිම්පික් ශූරයින් වූ මහා බ්‍රිතාන්‍ය විසින් නැවතත් හිමි කර ගැනීමට සමත් වූ අතර, ඉසව්වේ රිදී පදක්කම ඇමරිකාවටත්, ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවටත් හිමි වුනා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<