Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!

Paris Olympics 2024

4
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ නිල වශයෙන් ක්‍රියාත්මක වූ තෙවැනි දිනය වූ ඊයේ (29) දිනය අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට ජපානය විසින් සමත් වුනා.

ඊයේ දිනය තුළ ද පදක්කම් රැසක් බෙදී ගිය අතර, මෙහි දී පිරිමි රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ දී තියුණු සහ විශිෂ්ට ජයක් ලබා ගැනීමට ජපානය සමත් වීම ඔවුන් මෙම පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට විශාලතම හේතුව වුනා.

එම ඉසව්වේ දී ජපානයේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට රිදී සහ ලෝකඩ පදක්කම්වලින් සෑහීමට සිදු වුනා.

මේ අතර ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක Rafael Nadal සර්බියාවේ Novak Djokovic හමුවේ පරාජයට පත් වීමත් සුවිශේෂී සිදුවීමක්. කෙසේ වෙතත් Nadalගේ යුගල සහායක Carlos Alcaraz නම් තවමත් අපරාජිත ව පිරිමි කේවල ටෙනිස් ඉසව්වේ ඉදිරියට ඇදෙනවා.

මේ අතර පිරිමි හොකී ඉසව්වේ තරගවල දී අයර්ලන්තයට එරෙහිව ගෝල 2-1ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූ අතරේ, ඉන්දියාව සහ ආජන්ටිනාව අතර තරගය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් වුනා.

මේ අතර කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ද ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ අතර, ඒවායින් ජයග්‍රහණ වාර්තා කළ කැනඩාව සහ ඕස්ට්‍රේලියාවත්, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයත් අවසන් පූර්ව වටයේ දී තරගවදිනු ඇති.

කාන්තා වොලිබෝල් ඉසව්වල දී සර්බියාව, චීනය, තුර්කිය සහ බ්‍රසීලය පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර පිහිනුම් ඉසව්වලට අදාළ අවසන් තරග කිහිපයක් ද ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී කාන්තා මීටර් 400 මිශ්‍ර පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කිරීමට කැනඩාවේ Summer Mcintosh විසින් සමත් වූ අතර පිරිමි මීටර් 200 නිදහස් ආර ඉසව්ව රුමේනියාවේ David Popovici විසින් ජයග්‍රහණය කළා.

එය රුමේනියානු ක්‍රීඩකයකු විසින් ඔලිම්පික් ඉතිහාසයේ පිහිනුම් ඉසව්වකින් ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම ලෙස ඉතිහාසයට එක් වුනා.

මේ අතර පිරිමි මීටර් 100 පසුපස ආර ඉසව්වේ රන් පදක්කම ඉතාලියේ Thomas Ceccon විසින් ජයග්‍රහණය කරනා අතරේ, කාන්තා මීටර් 200 නිදහස් ආර ඉසව්ව ඕස්ට්‍රේලියාවේ Mollie O’Callaghan විසින් ජයග්‍රහණය කළා. ඇය එහි දී ඉසව්වේ වත්මන් ලෝක වාර්තාව හිමි තම සහෝදර ක්‍රීඩිකා Ariarne Titmus පරාජය කිරීමට සමත් වූ අතර, ඇයගේ තරග නිමි කාලය නව ඔලිම්පික් වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

මේ අතර කාන්තා මීටර් 100 ළය ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවේ Tatjana Smith විසින් සමත් වූ අතර, ඇය ඉසව්වේ අවසන් මීටර කිහිපයේ දී ඉතා විශිෂ්ට පිහිනීමක යෙදෙමින් නොතිබූ ජයක් ලබා ගැනීමට සමත් වීම ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිනා ගත්තා.

මේ අතර විරේන් නෙත්තසිංහ විසින් අද දහවල් 12ට ස්පාඤ්ඤයේ Pablo Abian සමඟින් සිය දෙවැනි බැඩ්මින්ටන් මූලික වටයේ තරගයට සහභාගී වීමට සූදානමින් සිටිනවා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<