ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණට

Paris Olympics 2024

4

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනට පදක්කම් කිහිපයක් ම එක් වෙමින් ඊයේ (27) දිනය සාර්ථකව නිමාව දුටුවා. 

මෙහි දී සත්කාරක ප්‍රංශය තම පළමු රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, සත් සාමාජික රග්බි ඉසව්වේ අවසන් තරගයේ දී ඔවුන් විසින් ෆීජි දේශයට එරෙහිව ලකුණු 28-7ක් ලෙස ජය ලබා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව ඉසව්වේ රිදී පදක්කම ෆීජි දේශයට හිමි වූ අතර, ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 26-19ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ දකුණු අප්‍රිකාව එම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මේ අතර පාපැදි ධාවන ඉසව්වල දී ඊයේ දිනයේ රන් පදක්කම් ද්විත්වයක් බෙදී ගිය අතර, ඒවා ඕස්ට්‍රේලියාව සහ බෙල්ජියම අතරේ බෙදී ගියා. 

ඊයේ දිනයේ වඩාත් වැඩි අවධානයක් හිමි කරගත් ඉසව් ලෙස පිහිනුම් ඉසව් හඳුන්වා දිය හැකි අතර, මෙහි දී ඊයේ ක්‍රියාත්මක වූ පිහිනුම් ඉසව් අතරින් පිරිමි මීටර් 400 නිදහස් ආර ඉසව්වේ ජය ජර්මනියට හිමි වූ අතර, කාන්තා මීටර් 400 නිදහස් ආරේ ජය ඕස්ට්‍රේලියාව විසින් හිමි කර ගැනීමට සමත් වුනා. 

එමෙන්ම ඊයේ දිනය ඕස්ට්‍රේලියාවට ඉතා සුබදායී එකක් කරමින් කාන්තා මීටර් 100 සහය පිහිනුම් ඉසව්වේ ජයත් ඕස්ට්‍රේලියාව සතු වූ අතර, පිරිමි මීටර් 100 සහය ඉසව්වේ ජය ඇමරිකා එක්සත් ජනපදය විසින් හිමි කර ගැනීමට සමත් වුනා. 

මේ අතර ඊයේ දිනයේ දී ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු ලෙස සැලකෙන ස්පාඤ්ඤයේ Rafael Nadal සහ වත්මන් ටෙනිස් ලොව දක්ෂතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන Carlos Alcaraz ස්පාඤ්ඤය වෙනුවෙන් පිරිමි යුගල ටෙනිස් ඉසව්වට සහභාගී වූ අතර, එහි දී ඔවුන් මුහුණ දුන් මූලික වටයේ තරගයේ දී පහසුවෙන් ම ආර්ජන්ටිනාවට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. 

ඒ අනුව මේ වන විට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී තිබෙන්නේ රන් පදක්කම් ත්‍රිත්වයක් සමඟිනුයි. චීනය එහි දෙවැනි ස්ථානයට පත් වන අතරේ, ඇමරිකා එක්සත් ජනපදය තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. අද දිනයේ දී බෙදී යාමට නියමිත පදක්කම් සමඟින් මෙම සටහන තවත් වෙනස් වනු ඇති බව අනුමාන කළ හැකි. 

මේ අතරේ ශ්‍රී ලංකාවේ පළමු ඔලිම්පික් බලාපොරොත්තුව වන විරේන් නෙත්තසිංහ අද දහවල් තරග බිමට පිවිසීමට නියමිතයි. එහි දී ඔහුට මැලේසියාවේ Zi Jia Lee සමඟින් තරග වැදීමට සිදු වනු ඇති. 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<