ඔලිම්පික් මූලික වටයේ තරග කිහිපයක් ආරම්භ වෙයි

Paris Olympics 2024

6
Paris Olympics 2024 july 24

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මූලික වටයේ තරග කිහිපයක් ඊයේ (24) දිනයෙන් ආරම්භ වුනා. 

2024 පැරිස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් ආරම්භ වීම හෙට (26) දිනයට යෙදී තිබුනත් පාපන්දු සහ සත් සාමාජික රග්බි තරග ඉසව්වල මූලික වටයේ තරග කිහිපයක් ඊයේ දිනයේ පැවැත්වුණු අතර, ඒත් සමඟින් 2024 ඔලිම්පික් තරග ඉසව් ද ආරම්භ වුනා. 

පාපන්දු  

මෙවර ඔලිම්පික් උළෙලේ පළමු විශේෂ සිදුවීමට පාර කපමින් ඊයේ පැවැත්වුණු මොරොක්කොව සහ ආජන්ටිනාව අතර තරගයෙන් ගෝල 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් වුනා. 

මීට අමතරව ස්පාඤ්ඤය, නවසීලන්තය, ඉරාකය සහ  ජපානය ද ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා. 

මෙහි දී ජපානය විසින් පැරගුවේ දේශයට එරෙහිව ගෝල 5-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

සත් සාමාජික රග්බි 

පාපන්දු පිටියේ දී පරාජයක් ලැබීමට සිදු වුවත් ආජන්ටිනාව විසින් සත් සාමාජික රග්බි ඉසව්ව සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් කෙන්යාවට එරෙහිව ලකුණු 31-12ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, පසුව ඔවුන් සැමෝවා දේශයට එරෙහිව ද ජයග්‍රහණයක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියාව සහ ෆීජී දේශය ද ඊයේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. 

එමෙන්ම ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිව අයර්ලන්තය විසින් ලකුණු 10-5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වීම ද විශේෂත්වයක්. 

මීට අමතරව ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද ඊයේ දිනයේ දී සත් සාමාජික රග්බි මූලික වටයේ තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. 

ඔලිම්පික් උළෙලේ පළමු දිනය නිල නොවන වශයෙන් එසේ අවසන් වන අතරේ, දෙවැනි දිනය අද (25) ක්‍රියාත්මක වීමට නියමිතයි. අද දිනයේ දී ද පාපන්දු සහ රග්බි මූලික වටයේ තරග මෙන්ම, ඊට අමතරව Handball සහ දුනු විදීම මූලික වටයේ තරග ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>