ඇමරිකාව සහය ඉසව් ජයග්‍රහණය කරනා අතරේ, Kipyegon විශිෂ්ටත්වය කරා ළඟා වෙයි

Paris Olympics 2024

14

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ 15 වැනි දිනය නිමා වන විට නැවතත් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට චීනය සමත් වුනා. 

මේ වන විට චීනය රන් පදක්කම් 39ක් ලබාගෙන ඇති අතර, දින ගණනාවක් තිස්සේ පළමු තැන රැඳුණු ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 38ක් සමඟින් සටහනේ දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. 

මේ අතර ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක් සමඟින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්. මෙය ඔවුන් මෑතකාලීනව ඔලිම්පික් උළෙලක දැක්වූ විශිෂ්ට දක්ෂතාවක් ලෙස හඳුනාගත හැකි. 

ඊයේ (10) දිනය තුළ බොහෝ ක්‍රීඩා ඉසව් අවසන් වෙමින් පදක්කම් බෙදී යාම නිම වූ අතර, මෙහි දී උණුසුම් තරඟ රැසක් ක්‍රියාත්මක වුනා. 

මේ ඒ පිළිබඳ නැවත හැරී බැලීමක්; 

පිරිමි මැරතන් ඉසව්වේ ජය ඉතියෝපියාවට 

ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි මැරතන් ඉසව්වේ ජයග්‍රහණය ඉතියෝපියාවේ Tamirat Tola විසින් ජයග්‍රහණය කළ අතර, එහි රිදී පදක්කම බෙල්ජියමටත්, ලෝකඩ පදක්කම කෙන්යාවටත් හිමි වුනා. 

කාන්තා Handball 

කාන්තා Handball ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ස්වීඩනය ලකුණු 30-25ක් ලෙස පරාජය කළ ඩෙන්මාර්කය සමත් වුනා. 

මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් නෝර්වේ සහ ප්‍රංශය තරග වැදුණු අතර, එහි දී නෝර්වේ දේශය විසින් ලකුණු 29-21ක් ලෙස ප්‍රංශයට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුනා. 

කාන්තා මේස පන්දු 

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැත්වුණු තරගයෙන් ජර්මනියට එරෙහිව තරග වට 3-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වුනා. 

මේ අතර මෙම ඉසව්වේ රන් පදක්කම සඳහා සටන ජපානය සහ චීනය අතර ඊයේ සවස් වරුවේ දී ක්‍රියාත්මක වුනා. එහි දී ජපානයට එරෙහිව තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට චීනය සමත් වුනත්, මෙම සෑම තරග වටයක දී ම ජපානයෙන් චීනයට ප්‍රබල අභියෝගයක් එල්ල වීම විශේෂත්වයක්. 

කාන්තා Water Polo ඉසව්ව 

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය තරග වැදුණු අතර, එහි දී ලකුණු 11-10ක් ලෙස තියුණු ජයක් කරා යාමට නෙදර්ලන්තය සමත් වීම විශේෂත්වයක්. 

එමෙන්ම මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ස්පාඤ්ඤය සහ ඕස්ට්‍රේලියාව තරග වැදුණු අතර, එහි දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 11-9ක් ලෙස රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකියාව ලැබුණා. 

පිරිමි පැසිපන්දු ඉසව්ව 

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් සර්බියාව සහ ජර්මනිය තරග වැදුණු අතර, එහි දී සර්බියාව විසින් ලකුණු 93-83ක් ලෙස ජර්මනිය පරාජය කිරීමට සමත් වෙමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා. 

මේ අතර ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ප්‍රබල ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය අද අලුයම තරග බිමට පිවිසුණා. මෙහි දී ඇමරිකාව විසින් ප්‍රංශයට එරෙහිව ලකුණු 98-87ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් රන් පදක්කම ස්ථිර කර ගත්තා. 

පිරිමි වොලිබෝල් රන් පදක්කම ප්‍රංශයට 

මෙම තරගයේ දී ලොව අංක එකේ කණ්ඩායම වන පෝලන්තය විසින් ප්‍රංශයට ප්‍රබල අභියෝගයක් ලබා දෙනු ඇතැයි අනුමාන කළත්, තරගයේ අවසන් තීරණය ලෙස තරග වට 3-0ක් ලෙස ප්‍රංශය රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

Martaට කණගාටුදායක සමු ගැනීමක් 

කාන්තා පාපන්දු ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය තරග වැදුණු අතර, මෙය බ්‍රසීල සුපිරි ක්‍රීඩිකා Martaගේ අවසන් පාපන්දු තරගය වන බවයි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.  

කෙසේ වෙතත් මෙම තරගයේ දී Martaට සුන්දර මතකයක් එක් කර ගැනීමට ඇමරිකාව ඉඩ ලබා දුන්නේ නැහැ. තරගයේ දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෝල 1-0ක් ලෙස ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කාන්තා වොලිබෝල් ඉසව්ව 

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් බ්‍රසීලය සහ තුර්කිය තරඟ වැදුණු අතර, එහි දී තුර්කියට එරෙහිව තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත් වුනා. 

පිරිමි Beach Volleyball  

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් කටාර් සහ නෝර්වේ දේශය තරග බිමට පිවිසුණා. එහි දී තරග වට 2-0ක් ලෙස කටාර් පරාජය කරමින් ලෝකඩ පදක්කම වෙත යාමට නෝර්වේ කණ්ඩායමට හැකියාව ලැබුණා. 

එමෙන්ම ඉසව්වෙ රන් පදක්කම වෙනුවෙන් ස්වීඩනය සහ ජර්මනිය අද අලුයම තරග බිමට පිවිසුණා. එහි දී ස්වීඩනය විසින් තරග වට 2-0ක් ලෙස ජර්මනිය පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මෙවර රන් බෙදා ගැනීම අත් හරී 

පිරිමි උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට නවසීලන්තයේ Hamish Kerr විසින් සමත් වූ අතර, එහි රිදී පදක්කම ඇමරිකාවේ Shelby Mcewen සමත් වුනා. මොවුන් දෙදෙනා ම මීටර් 2.36ක උසක් තරණය කිරීමෙන් පසුව සම මට්ටමකට පිවිසි අතර, එහි දී 2021 ඔලිම්පික් උළෙලේ මෙන්ම  රන් පදක්කම බෙදා ගැනීමේ අවස්ථාවක් ද ඔවුන්ට නිර්මාණය වුනා. කෙසේ වෙතත් මෙවර එවන් තීරණයක් වෙත යාමට මෙම ක්‍රීඩකයින් එකඟ නොවූ අතර, ඒ අනුව තරගය ඉදිරියට ඇදී ගියා. මින් ටික මොහොතකට පසුව Kerr විසින් ඉසව්වේ රන් පදක්කම තහවුරු කර ගත්තා.  

මේ අතර ඉසව්වේ ලෝකඩ පදක්කම කටාර් දේශය Mutaz Essa Barshim විසින් ජයග්‍රහණය කරනා අතරේ, ඔහු සමඟ ටෝකියෝ රන් පදක්කම බෙදා ගත් ඉතාලියේ Gianmarco Tamberi තරගයේ 11 වැනි ස්ථානයට පත් වුනා. ඊයේ දිනයේ Tamberi තරමක් අසනීප තත්වයක පසු වූ බවයි වාර්තා වුනේ 

විශිෂ්ට මීටර් 800 තරගයක් 

පිරිමි මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කිරීමට කෙන්යානු යොවුන් ක්‍රීඩක Emmanuel Wanyongi සමත් වූ අතර, එහි රිදී පදක්කම කැනඩාවටත්, ලෝකඩ පදක්කම ඇල්ජීරියාවටත් හිමි වුනා. මෙම ඉසව්වේ පදක්කම් ලාභීන් තිදෙනා ම තත්පර 0.31ක් තුළ තරගය නිම කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

ජපානයට හෙල්ල විසි කිරීමෙන් රන් පදක්කමක් 

ජපන් ක්‍රීඩිකා Kitaguchi Haruka විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එය ජපානය විසින් එම ඉසව්වෙන් ලබා ගත් පළමු රන් පදක්කම ලෙස ඉතිහාස ගත වුනා. මේ අතර ඉසව්වේ රිදී පදක්කම දකුණු අප්‍රිකාව විසින් දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම චෙක් රාජ්‍යයට හිමි වුනා. 

ඔලිම්පික් ශූරිය තෙවැනි ස්ථානයට 

කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ටෝකියෝ ඔලිම්පික් ශූරිය වූ Camacho-Quinn හට මෙවර ලෝකඩ පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු වුනා. ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ Masai Russell විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, රිදී පදක්කම ප්‍රංශයේ Samba Mayela හට හිමි වීම විශේෂත්වයක් 

Jakob Ingebrigtsen රන් දිනයි 

පිරිමි මීටර් 1500 ඉසව්වේ දී ලද අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව නැවතත් තරග බිමට පිවිසි නෝර්වේ ක්‍රීඩක Jakob Ingebrigtsen ඊයේ පිරිමි මීටර් 5000 ඉසව්වට සහභාගී වුනා. කෙසේ වෙතත් මෙවර පෙර තරගයේ දී මෙන් කිසිදු කලබල වීමකින් තොරව ධාවනයේ යෙදුණු Ingebrigtsen ඉසව්වේ රන් පදක්කම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එහි රිදී පදක්කම කෙන්යාවටත්, ලෝකඩ පදක්කම ඇමරිකාවටත් හිමි වුනා. 

ඉතිහාසයේ විශිෂ්ටතම මීටර් 1500 ක්‍රීඩිකාව තහවුරුයි  

කෙන්යාවේ Faith Kipyegon විසින් ඊයේ දිනයේ දී කාන්තා මීටර් 1500 ඉසව්ව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ අනුව ඇය විසින් නොකඩවා ඔලිම්පික් උළෙල තුනක දී මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, ඊට අමතරව ඉසව්වේ ලෝක සහ ඔලිම්පික් වාර්තා ද ඇය සතුවයි පවතින්නේ. මේ හේතුවෙන් ඇය මෙතෙක් මෙම ඉසව්වේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස කිසිදු සැකයකින් තොරව හඳුන්වා දිය හැකි. මේ අතර ඉසව්වේ රිදී පදක්කම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරද්දී, ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යයට හිමි වුනා. 

ඇමරිකාවට නව ඔලිම්පික් වාර්තාවක් 

මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වල නිමාව සංඥා කරමින් මීටර් 400×4 ඉසව්වල අවසන් තරග ද ඊයේ ක්‍රියාත්මක වුනා. 

මෙහි දී පිරිමි මීටර් 400 සහය ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟ ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වූ අතර, එහි දී ඔවුන්ට බොට්ස්වානා කණ්ඩායමෙන් තියුණු සටනක් හිමි වුනා. ඉසව්වේ අවසන් තරග වටයේ දී ඇමරිකාව වෙනුවෙන් මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේ ඔලිම්පික් ශුරයා වන Rai Benjamin ධාවනයේ යෙදුණු අතර, බොට්ස්වානා කණ්ඩායම වෙනුවෙන් මීටර් 200 ඔලිම්පික් ශූරයා වන Letsile Tebogo ධාවනයේ යෙදුණා. මොවුන් දෙදෙනා විසින් තරගය ඉතා තියුණු ස්වභාවයකට ගෙන ඒමට සමත් වූ අතර, අවසානයේ තත්පර 0.10කින් ඉසව්වේ ජය ඇමරිකාවට හිමි වුනා. මෙහි ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යය විසින් දිනා ගත්තා. 

Bol සහ Sydney නැවත ගැටෙයි 

මේ අතර කාන්තා මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ඇමරිකා එක්සත් ජනපදය විසින් ජයග්‍රහණය කළා. එහි දී ඇමරිකාව වෙනුවෙන් මීටර් 400 කඩුලු පැන දිවීමේ ශූරිය වූ Sydney McLaughlin-Levrone සහ මීටර් 200 ශූරිය වූ Gabriel Thomas සහභාගී වූ අතර ඔවුන් විසින් අනෙක් සියලු කණ්ඩායම්වලට වඩා විශාල පරතරයක් තබා ගනිමින් තරගය නිමා කිරීමට සමත් වුනා. ඔවුන්ගේ තරග නිමි කාලය මිනිත්තු 3.15.27ක් ලෙස සටහන් වූ අතර, ඔවුන්ට ඉසව්වේ වසර 36ක් ඉපැරණි ලෝක වාර්තාව තත්පර 0.10කින් අහිමි වුනා. මේ අතර ඉසව්වේ රිදී පදක්කම නෙදර්ලන්තය විසින් ජයග්‍රහණය කළ අතර, ඔවුන් සහ ඇමරිකාව අතර තත්පර 04ක පරතරයක් තිබීම විශේෂත්වයක්. නෙදර්ලන්තයේ රිදී පදක්කම සම්පූර්ණයෙන්ම Femke Bol මත රැඳුණු අතර, ඇමරිකාවේ Sydney McLaughlin-Levrone නොවන්නට Bol විසින් බොහෝ විට මෙම පරතරය තවත් අවම කිරීමට ද ඉඩ තිබුණා. මෙම ඉසව්වේ ද ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යයට හිමි වීම විශේෂත්වයක්. 

මේ අනුව මෙවර ඔලිම්පික් උළෙලේ 15 වැනි දිනයත් නිමා වී යනවා. අද (11) උළෙලේ අවසන් දිනය වන අතර, හෙට අලුයම (12) උළෙලේ සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතයි. අද දිනයේ දී පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගන්නේ ඇමරිකාව ද නැතහොත් චීනය ද ගැටලුවට ද නිසි පිළිතුරක් ලැබෙනු ඇති. 

අද පැවැත්වීමට නියමිත තරග ඉසව් සියල්ලේ තොරතුරු ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<