ඇමරිකාව සහ චීනය අතර පරතරය අවම වෙයි, තරගය තියුණු වෙයි

Paris Olympics 2024

29
Paris Olympics 2024 09th August Roundup

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ 14 වැනි දිනය නිමා වන විටත් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වී සිටියා. 

කෙසේ වෙතත් මේ වන විට ඇමරිකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන චීනය ඇමරිකාව හා සම රන් පදක්කම් ප්‍රමාණයක් (33) ලබා ගැනීමට සමත් වී සිටින අතර, රිදී පදක්කම් ප්‍රමාණය නිසා ඇමරිකාව පෙරමුණේ පසු වනවා. 

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය ඉදිරි දින දෙකේ දී කුමන හෝ ආකාරයකින් විසඳී යනු ඇති. 

ඊයේ (09) දිනයේ ද ඉසව් රැසක අවසන් තරග ක්‍රියාත්මක වූ අතර, කාන්තා මීටර් 400 ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් ද බිහි වුනා. මේ අතර මෙවර පිරිමි පාපන්දු ඉසව්වේ රන් පදක්කම ස්පාඤ්ඤය විසින් හිමි කර ගැනීමට ද සමත් වුනා. 

මේ ඊයේ දිනයේ ඔලිම්පික් ක්‍රීඩා පිටියේ සිදු වූ දෑ පිළිබඳ සාරාංශ ගත කිරීමක්. 

පිරිමි මැරතන් පිහිනුම් ඉසව්වේ ජය හංගේරියාවට 

ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි 10Km මැරතන් පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කිරීමට හංගේරියාවේ Kristof Rasovszky විසින් සමත් වූ අතර ජර්මනිය රිදී පදක්කම දිනා ගනිද්දී හංගේරියාවට ම එහි ලෝකඩ පදක්කමත් හිමි වුනා. 

පිරිමි මේස පන්දු  

පිරිමි මේස පන්දු කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ප්‍රංශය විසින් සමත් වූ අතර, එහි දී ඔවුන් හමුවේ ජපානය පරාජය වුනා. 

මේ අතර මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් චීනය සහ ස්වීඩනය තරග වැදුණු අතර, එහි දී චීනය ඉතා පහසුවෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුනා. 

කාන්තා හොකී  

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැත්වුණු තරගයෙන් බෙල්ජියම පරාජය කල ආජන්ටිනාව තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. 

කාන්තා පාපන්දු  

පාපන්දු ලොව ප්‍රබල රටවල් ද්විත්වයක් වන ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර පැවැත්වුණු ලෝකඩ පදක්කම සඳහා වූ තරගයෙන් ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 1-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජර්මනිය විසින් සමත් වුනා. 

වොලිබෝල්  

පිරිමි ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැත්වුණු තරගයෙන් ඉතාලියට එරෙහිව තරග වට 3-0ක පහසු ජයක් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුනා. 

පිරිමි පාපන්දු රන් පදක්කම ස්පාඤ්ඤයට 

මෙවර ඔලිම්පික් උළෙලේ තවත් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් යොමු වූ පිරිමි පාපන්දු අවසන් තරගයට ප්‍රබල ප්‍රංශය සහ ස්පාඤ්ඤය සහභාගී වුනා. පළමුව මෙම තරගයේ වාසිය ප්‍රංශය සතු වුනත් පසුව ස්පාඤ්ඤය ද හොඳින් තරගයට පිවිසුණා. ඒ අනුව නියමිත කාලය තුළ තරගය ගෝල 3-3ක් ලෙස සම මට්ටමින් අවසන් වූ අතර, තරගයේ තීරණය දඬුවම් පහර මත තීරණය කිරීමට සිදු වුනා. 

මෙහි දී ස්පාඤ්ඤය විසින් 5-3ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කාන්තා හොකී රන් පදක්කම නෙදර්ලන්තයට 

චීනය සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණු මෙම අවසන් තරගයේ නියමිත කාලය තුළ දෙපිළම එක් ගෝලය බැගින් වාර්තා කිරීමට සමත් වූ අතර, පසුව තරගයේ තීරණයක් ගැනීම වෙනුවෙන් දඬුවම් පහර ක්‍රියාත්මක කළා. මෙහි දී නෙදර්ලන්තය 3-1ක් ලෙස දඬුවම් පහර සාර්ථක කර ගනිමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කාන්තා Beach Volleyball 

ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැත්වුණු කාන්තා Beach Volleyball තරගයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වට 2-0 ජයක් ලබා ගැනීමට ස්විට්සර්ලන්තය සමත් වුනා. 

මේ අතර මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් පැවැත්වුණු අවසන් තරගයෙන් කැනඩාවට එරෙහිව තරග වට 2-1ක තියුණු ජයක් කබා ගැනීමට බ්‍රසීලයට හැකියාව ලැබුණා. 

පිරිමි Water Polo අවසන් තරගය සර්බියාව සහ ක්‍රොඒශියාව අතර 

ඊයේ දිනයේ පැවැත්වුණු පිරිමි Water Polo අවසන් පූර්ව තරගවල දී ඇමරිකාව සහ හංගේරියාව පරාජය කළ සර්බියාව සහ ක්‍රොඒශියාව ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

Sha’Carri Richardson පළමු ඔලිම්පික් රන් පදක්කම දිනයි 

ඊයේ දිනයේ දී කාන්තා මීටර් 100 සහය දිවීමේ ඉසව්ව ක්‍රියාත්මක වූ අතර, එයට සහභාගී වූ ඇමරිකානු කණ්ඩායම ඉතා පහසුවෙන් ම රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙහි දී මීටර් 200 රන් පදක්කම ජයග්‍රහණය කළ Gabriel Thomas මෙන්ම මීටර් 100 රිදී පදක්කම ජයග්‍රහණය කළ Sha’Carri Richardson ඇමරිකානු කණ්ඩායම නියෝජනය කළ අතර, ඒ අනුව Sha’Carri විසින් තම මංගල ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. මෙම ඉසව්වෙ රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යය දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම ජර්මනිය විසින් දිනා ගත්තා.

Lyles නැති ඇමරිකාව අසරණ වෙයි 

මේ අතර පිරිමි මීටර් 100 සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට Andre de Grasse ප්‍රමුඛ කැනඩා කණ්ඩායම විසින් සමත් වුනා. එමෙන්ම ඉසව්වේ රිදී පදක්කම Akani Simbine ප්‍රමුඛ දකුණු අප්‍රිකාවට හිමි වූ අතර, එම පදක්කම දකුණු අප්‍රිකාව මෙන්ම Akani Simbine ද විසින් කලක පටන් ම බලාපොරොත්තු තබා සිටි පදක්කමක් ලෙස හඳුන්වා දිය හැකි. ඉසව්වේ ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යයට හිමි වන අතරේ ප්‍රබල ඇමරිකා කණ්ඩායම තරගය නිසි පරිදි සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා පදක්කමක් කරා යාමට තිබූ අවස්ථාව අහිමි වුනා. 

මෙහි දී ලොව වේගවත් ම මිනිසා වන Noah Lyles ඉසව්වට සහභාගී නොවීම විශේෂත්වයක්. එමෙන්ම Christian Coleman සහ Kenneth Bednarek අතර යෂ්ටි හුවමාරුවත් ඉතා දුර්වල මට්ටමක පැවතීම ඇමරිකාවේ මෙම පසු බැසීමට හේතුව බව වටහ ගත හැකි. 

කාන්තා යගුලිය විසිකිරීමේ රන් පදක්කම ජර්මනියට  

මේ අතර කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම ජර්මනියේ Yenisi Ogunleye විසින් දිනා ගැනීමට සමත් වුනා. ඉසව්වේ රිදී පදක්කම නවසීලන්තයේ Maddison Lee Wesche හට හිමි වූ අතර ඔවුන් දෙදෙනා විසින් රන් පදක්කම වෙනුවෙන් තියුණු සටනක නිරත වීමත්විශේෂත්වයක්. 

Paulinoට නව ඔලිම්පික් වාර්තාවක් 

කාන්තා මීටර් 400 ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් සමඟින් ජයග්‍රහණය කිරීමට Dominica Republic රාජ්‍යයේ Marileidy Paulino හට හැකියාව ලැබුණා. එම ඉසව්වේ රිදී පදක්කම බහරේනයටත්, ලෝකඩ පදක්කම පෝලන්තයටත් හිමි වුනා. 

යුරෝපා ශූරයා ඔලිම්පික් ශූරයා ද වෙයි 

පසුගිය යුරෝපා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි තුන් පිම්ම ඉසව්වේ ලොව මෙතෙක් වාර්තා වූ තෙවැනි හොඳම දුර සටහන් කිරීමට සමත් වූ ස්පාඤ්ඤයේ Jordan Alejandro ඊයේ ඔලිම්පික් තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්    වුනා. මෙහි රිදී පදක්කම ටෝකියෝ ඔලිම්පික් රන් පදක්කම දිනූ පෘතුගාලයේ Pedro Pichardo හිමි කර ගනිද්දී, ලෝකඩ පදක්කම ඉතාලියට හිමි වුනා. 

කාන්තා සත්ප්‍රයාම ඉසව්ව 

මෙම ඉසව්ව ජයග්‍රහණය කරතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි මහා බ්‍රිතාන්‍යයේ Katarina Johnson Thompson දෙවැනි තැනට ඇද දැමූ බෙල්ජියමේ Thiam Nafissatou ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කාන්තා මීටර් 10,000 

මෙම ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන කෙන්යාවේ Beatrice Chebet රන් පදක්කම හිමි කර ගනිද්දී, ඉතාලියට රිදී පදක්කම හිමි වුනා. එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා දිගු දුර ධාවනයේ යෙදෙන්නියන් අතර ඉහළ අවධානයක් හිමි වී ඇති නෙදර්ලන්තයේ Sifan Hassan ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ඔලිම්පික් ශූරයා පසු බසී 

දිනයේ අවසන් මලල ක්‍රීඩා ඉසව්ව ලෙස ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාව ද සමඟ ටෝකියෝ ඔලිම්පික් ඉසව්ව ජයගත් නෝර්වේ දේශයේ Karsten Warholm දෙවැනි තැනට ඇද දැමූ ඇමරිකාවේ Rai Benjamin ඉතා පහසුවෙන් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මේ අතර බ්‍රසීලයේ Alison Dos Santos හට ලෝකඩ පදක්කමින් සෑහීමට සිදු වුනා. 

මේ අයුරින් ඊයේ දිනයට නියමිත ඔලිම්පික් තරග ඉසව් අවසන් වූ අතර, අද (10) දිනයේ ද තවත් ක්‍රීඩා ඉසව් රැසක පදක්කම් බෙදී යාමට නියමිත ව තිබෙනවා. 

එම තරග සියල්ල තොරතුරු ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>