ඇමරිකාව සහ චීනය පළමු තැන වෙනුවෙන් තියුණු සටනක

Paris Olympics 2024

2
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් 11 වැනි දිනය නිමා වන විට ද පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී  සිටීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වී සිටියා.

මේ වන විට ඔවුන් රන් පදක්කම් 24ක් ලබ ගැනීමට සමත් වී ඇති අතර, ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන චීනය රන් 22ක් සමඟ දෙවැනි තැන රැඳෙනවා.

ඊයේ (06) දිනය තුළ ද ක්‍රීඩා ඉසව් රැසක පදක්කම් බෙදී ගිය අතර, ඊට අමතරව තවත් ක්‍රීඩා ඉසව් රැසක අවසන් වටයේ තරග සඳහා කණ්ඩායම් තේරී පත් වීමට සමත් වුනා.

මේ ඊයේ දිනයේ පැරිස් ඔලිම්පික් උළෙලේ තොරතුරු පිළිබඳ සාරාංශ කිරීමක්;

කාන්තා පාපන්දු අවසන් තරගය ස්ථීරයි

ඊයේ පැවැත්වුණු කාන්තා පාපන්දු අවසන් පූර්ව තරග වල දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජර්මනියට එරෙහිව ගෝල 1-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් සහ බ්‍රසීලය ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 4-2ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබාගැනීමට සමත් වුන.

පිරිමි හොකී අවසන් තරගය ස්ථීරයි

පිරිමි හොකී ඉසව්වේ ඊයේ පැවැත්වුණු පිරිමි අවසන් පූර්ව තරගවලින් නෙදර්ලන්තය විසින් ස්පාඤ්ඤයත්, ජර්මනිය විසින් ඉන්දියාවත් පරාජය කරමින් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.

Mijaín López Núñez පස් වැනි රන් පදක්කමත් දිනයි

කියුබානු ජාතික Mijaín López විසින් ඊයේ දිනයේ දී පිරිමි 130Kg බර පන්තියේ මල්ලව පොර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මෙය ඔහුගේ පස් වැනි රන් පදක්කම ලෙසයි සටහන් වුනේ. 2008 වසරේ සිට පැවැත්වුණු සෑම ඔලිම්පික් උළෙලක දී ම තම ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ Lopez එවන් දස්කමක් දැක්වූ ලොව පළමුවැනියා බවට පත් වීමට ද සමත් වුනා.

වොලිබෝල් අවසන් පූර්ව තරග ස්ථිරයි

පිරිමි වොලිබෝල් අවසන් පූර්ව තරග සඳහා පෝලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයත්, ඉතාලිය සහ ප්‍රංශයත් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර කාන්තා වොලිබෝල් අංශයෙන් බ්‍රසීලය සහ ඇමරිකාවත්, තුර්කිය සහ ඉතාලියත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

Kipyegon ද, Tesgay ද?

කාන්තා මීටර් 1500 ඉසව්වේ මූලික වටයේ තරග ඊයේ ක්‍රියාත්මක වූ අතර, එම වටයේ හොඳම කාලය වාර්තා කිරීමට මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන ඉතියෝපියාවේ Gudaf Tsegay ට හැකියාව ලැබුණා. මේ අතර මෙම ඉසව්වේ ඔලිම්පික් සහ ලෝක වාර්තාවලට හිමි කම් කියන කෙන්යාවේ Faith Kipyegon සමස්ත තරගාරිනියන් අතර 12 වැනි ස්ථානයේ රැඳීමට සමත් වුනා. මෙවර මීටර් 5000 ඉසව්වේ දී මෙම දෙදෙනා අතර සිදු වූ ගැටීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මෙම මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් තියුණු තරගයක නිරත වෙනු ඇති බව අනුමාන කළ හැකි.

Neeraj Chopra මීටර් 90ට ලන් වෙයි

මේ අතර පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ මූලික වටයේ තරග ද ඊයේ සවස් වරුවේ ක්‍රියාත්මක වූ අතර, එහි දී වත්මන් ඔලිම්පික් ශූර ඉන්දියාවේ Neeraj Chopra මීටර් 89.34ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වීම විශේෂත්වයක්. මේත් සමඟම මෙවර ඔලිම්පික් උළෙලේ ඔහුගේ රන් බලාපොරොත්තුවට අමතරව ඇති මීටර් 90 සිහිනය ද ඔහුට සැබෑ  කර ගැනීමට විශාල ඉඩක් විවර වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සදාකාලික ප්‍රතිවාදියා වන පාකිස්තානය නියෝජනය කරමින් මෙම ඉසව්වට සහභාගී වූ පාකිස්තානයේ Arshad Nadeem මීටර් 86.59ක දුරක් හෙල්ල විසිකරමින් සමස්ත තරගකරුවන් හතර සිව්වැනි ස්ථානයට පත් වුනා. මේ අනුව මෙම ඉසව්වේ අවසන් මහා තරගයේ දී මෙම දෙදෙනා අතර තියුණු තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.

කාන්තා මිටිය විසිකිරීම

මෙම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට කැනඩාවේ Camryn Rogers විසින් සමත් වූ අතර, ඇමරිකාවට රිදී පදක්කමත් චීනයට ලෝකඩ පදක්කමත් හිමි වුනා.

ලෝක ශූරයා නම්බුව රැක ගනී

පිරිමි දුර පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක සහ ඔලිම්පික් ශූරයා වන ග්‍රීසියේ Miltiadas Tentoglou විසින් නැවතත් වරක් ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ නමුත් ඔහුට ඊයේ දිනයේ දී තම පෞද්ගලික හොඳම දක්ෂතා අතරට පිවිසීමට නම් නොහැකි වුනා. මේ අතර ඉසව්වේ රිදී පදක්කම ජැමෙයිකාවේ Wayne Pinnock විසින් ජයග්‍රහණය කළ අතර, ඉතාලියේ Mittia Furlani විසින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. Furlani තවමත් වයස අවුරුදු 19ක් පමණක් වන යෞවනයකු වීම විශේෂත්වයක්.

සියලු අනාවැකි සුනුවිසුනු කළ මීටර් 1500

පිරිමි මීටර් 1500 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen සහ මහා බ්‍රිතාන්‍යයේ Josh Kerr අතර තියුණු සටනක් නිර්මාණය වනු ඇති බව බොහෝ දෙනෙකු අනුමාන කළා. මේ නිසාම ඉසව්වේ අනෙක් ක්‍රීඩකයින් පිළිබඳ ව ජාත්‍යන්තර මට්ටමින් පවා ඇති වුනේ අවම කතා බහක්. කෙසේ වෙතත් කිසිවකු හෝ අපේක්ෂා නොකල පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ Cole Hocker විසින් මෙම ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් ද සමගින් ම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Kerr දෙවැනි තැනට ඇද දමමිනුයි. මේ අතර Ingebrigtsen හට හිමි වුනේ ඉසව්වේ සිව් වැනි ස්ථානය වීමත් විශේෂත්වයක්.

තවත් ඔලිම්පික් වාර්තාවක්

කාන්තා මීටර් 3000 බාධක දිවීම ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට බහරේනයේ Yavi Winfred සමත් වූ අතර මෙහි දී ඉසව්ව නියෝජනය කළ තරගකාරිනියන් සිව් දෙනෙකු ම පැරණි ඔලිම්පික් වාර්තාව අබිබවා යමින් ධාවනයේ යෙදීමට සමත් වීම විශේෂත්වයක්.

St.Lucia දේශය දෙවැනි ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරයි

දිනයේ අවසන් මලල ක්‍රීඩා ඉසව්ව ලෙස ක්‍රියාත්මක වූ කාන්තා මීටර් 200 අවසන් තරගයේ දී රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකාවේ Gabriel Thomas සමත් වූ අතර, එහි රිදී පදක්කම St.Lucia දේශයේ Julien Alfred විසින් දිනා ගත්තා.

මීට දින කිහිපයකට පෙර Alfred විසින් මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත් ම ක්‍රීඩිකාව ලෙස තම රට වෙනුවෙන් පළමු ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, දැන් ඇය විසින් ම එම පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ දැමීමට සමත් වී තිබෙනවා.

අරුණගේ හීන බොඳ වූ මීටර් 400

ඊයේ පැවැත්වුණු ඉසව් අතුරින් ශ්‍රී ලාංකිකයින්ගේ වැඩිම අවධානයක් යොමු වූ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන තත්පර 44.75ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ සමස්ත තරගකරුවන් අතර 13 වැනි ස්ථානයට පැමිණියත් පසුව ඔහුගේ ධාවනය අවලංගු කෙරුණා.

ඒ අනුව අරුණට මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වීමේ අවකාශය අහිමි වූ නමුත්, ග්‍රැනේඩාවේ Kirani James, ඇමරිකාවේ Quincy Hall, මහා බ්‍රිතාන්‍යයේ Matthew Hudson Smith වැනි ලෝ පතල ක්‍රීඩකයින් රැසක් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

Bol සහ Sydney ද්වන්ද සටනකට සැරසෙයි

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් පූර්ව තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි දී වත්මන් ඔලිම්පික් සහ ලෝක වාර්තාවල හිමිකාරිනිය වන ඇමරිකාවේ Sydney McLaughlin-Levrone හොඳම කාලය වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර ඇයට පමණක් දෙවැනි වෙමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්තයේ Femke Bol ද සමත් වූ අතර, ඔවුන් දෙදෙනා අතර මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කමක් වෙනුවෙන් නිර්මාණය වූ දැවැන්ත ම සටන නිර්මාණය වනු ඇති.

මේ අයුරින් ඊයේ දිනයට නියමිත ඔලිම්පික් තරග ඉසව් නිමා වූ අතර, අද (07) දිනයේ දී ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව වන නදීශා ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයට සහභාගී වීමට සූදානමින් පසුවනවා.

ඇය සහභාගී වන තරග ඉසව්ව අද දහවල් 1.55ට ආරම්භ වීමට නියමිතයි.

එම තරගයේ ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<